පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරිය තම දරුවන්ට පහර දුන් බවට දෙමාපියන්ගෙන් චෝදනා

පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරිය තම දරුවන්ට පහර දුන් බවට දෙමාපියන්ගෙන් චෝදනා


පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරිය තම දරුවන්ට පහර දුන් බවට දෙමාපියන්ගෙන් චෝදනා

(24.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – කටුගස්තොට, මාතලේ මාර්ගයේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික පෙර පාසලක සිසුන්ට එම පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරියක පහර දුන් බවට දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරන බව අප වාර්තාකරු පවසනවා.

මේ සම්බන්ධයෙන් එක් දරුවකුගේ මවක විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පොලීසිය විසින් සිදු කරනු ලබන බවයි සඳහන්.

අප වාර්තාකරු පවසන්නේ මෙම පෙර පාසැල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ආරම්භ කර ඇති බවත් එයට ඇතුලත් කිරිම සඳහා ඇතුලත් විමේ ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් සහ මාසික ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක් අය කරන බවත් එ තරම් විශාල මුදලක් අයකර ගෙනත් දරුවන්ට අමානුෂික ලෙස පහර දී හිරිහැර සිදු කිරිම තමන්ට දරා ගත නොහැකි බවත් මව්වරුන් ප්‍රකාශ කරන බවයි ෴


බටපොල අවන්හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

(24.06.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – බටපොල – බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මියගිය පුද්ගලයා අවන්හල තුළ ඇතිවූ ගැටුම වළක්වා පසුව ඔහු එහි සිට මත්පැන් පානය කර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණී තියුණු ආයුධ රැගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) මෙම පුද්ගලයාට පහරදී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා (2) ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴


පියාගේ අපරික්ෂාකාරී ධාවනයෙන් කුඩා පුතු මරුට

(24.06.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

රිදීමාලියද්ද ප්‍රදේශයේ දී ඊයේ(23) දහවල් දිරියගම සිට දෙමෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයක ඩී-01 ඇල ප්‍රදේශයේ දී කිනිහිරිවැල්ල දෙස සිට දෙමෝදර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු, ඔහුගේ බිරිඳ හා කුඩා දරුවා බිබිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කුඩා දරුවා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක් (2½) වූ කිනිහිරිවැල්ල ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


අල්ලස් ගැනීමේ චෝදනාවට සීතාවක නගර සභාවේ ලේකම් සහ ආදායම් පරීක්ෂක අත්අඩංගුවට

(24.06.2023 – 10:07 +0530 – hirunews.lk/sinhala)

සීතාවක නගර සභාවේ ලේකම් සහ ආදායම් පරීක්ෂක රුපියල් ලක්ෂ 4 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදු ගිවිසුමක් අලුත් කිරීම සඳහා ඔවුන් මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ ෴


STF බව පවසමින් වැලිපැන්නේ පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(24.06.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ නිවසකට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන් බියගන්වා දේපළ කොල්ලකෑමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව 42 හැවිරිදි පස්ගොඩ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ රොටුඹ ප්‍රදේශයේදීයි.

එහිදී ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 හේ ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මොරටුව, පානදුර සහ දොඩංගොඩ ප්‍රදේශවලදී සැකකරුවන් තුන්දෙනෙකු (3) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා ෴


මේ වසරේ ශ්‍රමිකයන් ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවකට විදෙස් රැකියා

(24.06.2023 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුන (3) කට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පූර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශකර සිටියේ.

නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශගතකිරීමට විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවයි මනූෂ නානායක්කාර වැඩි දුරටත් සඳහන් කර සිටියේ ෴


රත්තරන් මිල ඉහළට

(24.06.2023 – 10:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසුවා.

ඩොලරයේ අගය දෙපසට දෝලනය වෙමින් තිබෙන මේ දිනවල කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ත් 156,000 අතර මිලක පවතින බවත් කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 170,000 ත් අතර මිලක පවතින බවයි වාර්තා වෙන්නේ.

ඩොලරයේ අගය අඩු වෙමින් පැවැති පසුගිය සති දෙකකට (2) පමණ පෙර කැරට් 22 ක රත්තරන් පවුමක මිල සටහන් වූයේ 147,000 ක් ලෙසයි.

එමෙන් ම කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිල අඩු වීමක් දක්නට ලැබුණි ෴


මියගිය පියා හීනෙන් කියූ මැණික් මුට්ටිය ගන්න කැණීම් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(24.06.2023 – 11:33 +0530 – hirunews.lk/sinhala)

මැණික් මුට්ටියක් සොයා කැනීම් කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගලිගමුවේ දී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු සහ විදුලි කාර්මිකයකු ය. වඩු කාර්මිකයාගේ මියගිය පියා හීනෙන් පැමිණ කියූ මැණික් මුට්ටියක් ගැනීමට මෙලෙස කැණීම් කටයුතු කළ බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී කළුගල් පිපිරවීමට යොදාගන්නා ඇමෝනියා ග්‍රෑම් දෙසිය හැත්තෑවක් (270), ජෙලට්නයිට් කූරක් (1), කොම්ප්‍රෙසර් යන්ත්‍රයක් (1) සහ පූජා භාණ්ඩ රැසක් සොයා ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


හම්බන්තොට වරාය පොලිසියේ සිර මැදිරියක් තුළ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මරුට

(24.06.2023 – 11:45 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය පොලිසියේ සිරමැදිරියක් තුළදී පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි පුද්ගලයෙකුයි මෙලෙස අද (24) සියදිවි හානිකරගෙන ඇත්තේ.

මොහු 45 හැවිරිදි හම්බන්තොට – මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර අණ නොතකා ධාවනය කරන ලද ත්‍රිරෝද රථයකට පෙරේදා (22) වෙඩි තැබූ අවස්ථාවේදී වෙඩි පහර කා පලාගිය ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයෙකු අද (24) අලුයම ගිංතොට දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හපුගල මවුන්ටන් ප්‍රසන්ට් වත්තේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු තවත් පුද්ගලයෙකු සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී බෝගහවේල්ල මාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් එය නැවතත් පරීක්ෂා කර තිබුණා.

එහිදී ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනෙකු (2) අනන්‍යතාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ පොරබැද අත්විලංගු ද විසිකර දමා ත්‍රිරෝද රථය පණ ගන්වාගෙන ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරික්ෂකවරයෙකු එම ත්‍රිරෝද රථයට වෙඩි තබනු ලැබුවා.

ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කරන අවස්ථාවේදී විරුද්ධ දෙසින් පැමිණි තවත් ත්‍රිරෝද රථයක ගැටී තිබුණා.

එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ නිවසකට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන් බියගන්වා දේපළ කොල්ලකෑමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව 42 හැවිරිදි පස්ගොඩ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ රොටුඹ ප්‍රදේශයේදීයි.

එහිදී ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 හේ ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මොරටුව, පානදුර සහ දොඩංගොඩ ප්‍රදේශවලදී සැකකරුවන් තුන්දෙනෙකු (3) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර අම්බලන්ගොඩ – බටපොල – බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ‘නුවන් සම්පත්’ හෙවත් ‘ලොකු නුවන්’ නැමති කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයට සැකපිට සිටින අයෙකු බවද වාර්තාවනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා (2) ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කාන්තාවක් දූෂණය කර රන් භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට

(24.06.2023 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කළ කේන්තියට නිවසකට පැන විවාහක කාන්තාවක් දූෂණය කර රන් භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙකු (2) කුච්චවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) අළුයම් කාලයේ කාන්තාව පදිංචි නිවසේ ජනේලයකින් ඇතුළු වූ මෙම පුද්ගලයින් දෙදෙනා (2) ඇතුළු පිරිසක් එම කාන්තාවගේ සැමියාට පහර දී කාන්තාව දූෂණය කර තිබෙනවා. පසුව ඔවුන් ඇය සතුව තිබූ රන් මාලයද කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි ෴


කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට ඩොලර් මිලියන 35 ක ලොතරැයි දිනුමක්

(24.06.2023 – 12:33 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලංකාවේ ජේ. ජයසිංහ නම් පුද්ගලයෙක් ලොතරැයි දිනුම් ඇදීමකින් ඩොලර් මිලියන 35 ක මුදලක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව (OLG) විසින් ජුනි 06 දින සිදුකළ දිනුම් ඇදීමෙන් ඉහළම Lotto Max ත්‍යාගය හිමිකර ගනිමින් ඔහු මේ ජයග්‍රාහණයට හිමිකම් කියනු ලබනවා.

ටොරොන්ටෝ හි OLG හි ත්‍යාග මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ජයසිංහ ප්‍රකාශ කළේ, “මගේ අවස්ථාව ලැබෙනු ඇතැයි මම නිතරම බලාපොරොත්තු වුණා. මගේ දුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා හරියටම සතියකට පසුව මම මේ ත්‍යාගය දිනා ගත්තා – එය ජයග්‍රහණ දෙකක් ලෙස දැනුණා.” යන්නයි.

ජයසිංහ සහ ඔහුගේ බිරිඳ සිය ජයහ්‍රාහණය පිළිබඳව දැනගෙන ඇත්තේ දිනුම්පත් ඇද දිනකට පසුවයි.

මෙම ජයග්‍රාහී මුදල සිය නිවස සාදා ගැනීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *