මිනුවන්ගොඩ පුද්ගලයන් දෙදෙනෙකුට (2) වෙඩි තැබූ සැකකරු STF වෙඩි පහරින් මරුට

මිනුවන්ගොඩ පුද්ගලයන් දෙදෙනෙකුට (2) වෙඩි තැබූ සැකකරු STF වෙඩි පහරින් මරුට


මිනුවන්ගොඩ පුද්ගලයන් දෙදෙනෙකුට (2) වෙඩි තැබූ සැකකරු STF වෙඩි පහරින් මරුට

(24.06.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට (2) වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.

ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (24) අලුයම මෙහෙයුමක් සිදුකර තිබුණා.

එම අවස්ථාවේදී සැකකරු විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩි ප්‍රහාර තුනක් (3) එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද පෙරළා සැකකරුට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබූ අතර, එහිදී 22 හැවිරිදි මොහු මියගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ‘ගණිඳු’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙක්.

ඔහු සේවය අතහැර ගොස් සිටි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ ඝාතනයට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ද කිඹුලාපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පසුගිය 17 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා තිබුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ ‘නිහාල් හරිස්චන්ද්‍ර’ හෙවත් ‘බාප්පා’ සහ ‘විස්මින් මදූ’ හෙවත් ‘චප්පා’ නැමති දෙදෙනා (2) මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මොවුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ කප්පම් ගැනීම් ඇතුලු චෝදනා රැසක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම, දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ‘වරුණ, රසල්, ප්‍රියන්ත’ යන අය විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය පසුව තොරතුරු අනාවරණ කරගත්තා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයායි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවේදී මියගොස් ඇත්තේ.

මේ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ‘ධනුක සොයිසා’ට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ අද (24) මියගිය සැකකරු, අපරාධ සඳහා එක්ව කටයුතු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිනුවන්ගොඩ වෙඩි තැබීම සඳහා අම්බලන්ගොඩ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබූ සැකකරු ද පැමිණ ඇති අතර, ඔහු එම අවස්ථාවේ මෝටර් රථය පදවා ඇති බවටද හෙළිවුණා.

එම සැකකරුද කුලියාපිටිය ප්‍රදේශයේදී පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

‘සමන් කුමාර ජයතිලක’ හෙවත් ‘මාමා’ ලෙස හඳුන්වන ඔහු, මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා (2) ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ‘ගණිඳු’ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘මානික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න’ හෙවත් ‘හීනටියන මහේෂ් මල්ලි’ යන අයගේ ප්‍රධාන ගෝලයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඊට අමතරව මොහු පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදා කටුනායක ඇවරිවත්ත මහජන බැංකුව ඉදිරිපිටදී ‘ධනුෂ්ක මධුෂාන් නවරත්න’ හෙවත් ‘කාඩ්බෝඩ් සුරංග’ යන අයට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරුද වනවා.

මේ අතර වසරේ මේ දක්වා වෙඩි තැබීම් 43 ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තවත් 17දෙනෙකු තුවාල ලැබුවා ෴


අනියම් සබඳතාවක් මත නීතිඥවරියකට පිහිපාර එල්ල කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(24.06.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala)

රජයේ නීතීඥවරියකට පිහි පහර එල්ල කළ හමුදා සෙබළෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනියම් ප්‍රේම සබඳතාවයක් මත මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හමුදා සෙබළෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම නීතීඥවරිය සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබූ අතර ඇය කලක පටන් එය මෙම සබඳතාවය මඟහැර ඇති අතර එයට උරණ වී මෙම පුද්ගලයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

නීතිඥවරිය වැඩ නිමවී පානදුර දුම්රියෙන් බැස නිවස කරා යමින් සිටියදී ඇගේ අතට සහ පිට ප්‍රදේශයට මෙම පහරදීම සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ නීතිඥවරිය රෝහලට ඇතුළත් කොට ඇති අතර සැකකරු අත් අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


රියදුරුට පහර දි ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාමට පැමිණි සැකකරුවන් සොයා මෙහෙයුම්

(24.06.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

කුලී රථ ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට ගොඩ වී අතරමගදී රියදුරුට පහර දී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙක් (3) අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් නගරයේ ත්‍රිරෝද රථ ගාලක් වෙත පැමිණ ඇති පුද්ගලයෙකු තමන්ට හැටන් සිට වටවල දක්වා යැමට අවශ්‍ය බව පවසා ත්‍රිරෝද රථයට පසුගිය 22 වැනි දා දින පස්වරු 04 ට පමණ ගොඩ වී තිබෙනවා.

ත්‍රිරෝද රථ හැටන් සිට වටවල දක්වා ධාවනය කරන අතරතුරදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය පසුපසින් පැමිණි තවත් ත්‍රිරෝද රථයක් ධාවනය වෙමින් තිබු මෙම ත්‍රිරෝද රථය හරස් කර තිබෙනවා.

එම අවස්ථාවේ කුලී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් සැකකරු ත්‍රිරෝද රථ රියදුරා සමග පෙර බැදිම නිසා ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය අභියස පෙරලි යාමත් සමග තම ත්‍රිරෝද රථයේ යතුර පැහැරගත් සැකකරු සමග දෙවන ත්‍රිරෝද රථයේ පැමිණි සැකකරුවන් දෙදෙනා දෙවන ත්‍රිරෝද රථයෙන් පලාගිය බව සිද්ධිය මුහුණ දුන් කුලි ත්‍රිරෝද රථයේ රියදුරා කියා සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.

පලාගිය සැකකරුවන් තිදෙනා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ශනයකදී අනාවරණය වී ඇති අතර, ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් පලාගිය ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


සිමෙන්ති මිල අඩුවන ලකුණු

(24.06.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති මිල රුපියල් 300 ත් 400 ත් අතර මිලකින් ඉදිරියේ දී අඩුවනු ඇති බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා ෴


රට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(24.06.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ චොකලට් නිෂ්පාදන ආයතනයක රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යාංශය සඳහන් කළේ, මෙම ජාවාරම විවාහක යුවලක් විසින් මෙහෙයවා ඇතිබවයි.

එක් පුද්ගලයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස්දහස (7,50,000) බැගින් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් මොවුන් මුදල් ලබාගෙන තිබෙනවා.

ජාවාරමේ ප්‍රධාන සැකකාරිය වන අත්අඩංගුවට ගත් කාන්තාව මරදන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක සේවය කර ඇති අතර ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාවාරමට සම්බන්ධ ඇයගේ සැමියාද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මකයි ෴


ගාලු මුවදොරදී තරුණයෙක් පැහැරගෙන කප්පම් ඉල්ලූ තුන්දෙනෙකු (3) රිමාන්ඩ්

(24.06.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ගාලු‍මුවදොර දී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහරදී මුදල් ඉල්ලූ සිද්ධියකට අත්අඩංගුට ගත් තුන්දෙනෙකු (3) ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ ඔවුන් ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පානදුර පදිංචිකරුවන් තුන්දෙනෙක් (3).

ඔවුන් විසින් බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 21 වනදායි.

තම පුත්‍රයා ගාලු‍ මුවදොරට ගෙන්වා පැහැරගෙන ගොස් ඇති බවත් ඔහු මුදා හැරීමට රුපියල් දස ලක්ෂයක (10,00,000) මුදලක් සැකකරුවන් ඉල්ලූ බවට ඔහුගේ පියා සිදු කළ පැමිණිල්ලක් අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ ෴


ලලිත් කොතලාවලට අතුරු තහනම් නියෝගයක්

(24.06.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දැරීම වළක්වමින් ‘ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ලලිත් කොතලාවල’ට අතුරු තහනම් නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (23) නිකුත් කළා.

‘එස්. ඇන්ඩ්. එල්. ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ’ කොටස් අනීතිකව හා වංචනිකව පවරා ගෙන ඇති බවට සඳහන් කරමින් පැවරූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා.

සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් එම අතුරු නියෝගය නිකුත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකාර ලලිත් කොතලාවල විසින් සමාගමට අයත් වටිනා ඉඩමක ඔප්පුවක් අනීතිකව සකස් කර සමාගමේ කොටස් පවරා ගෙන ඇති බවයි ෴


‘අස්වැසුම’ අහිමිවූවන් විරෝධතාවල

(24.06.2023 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි සහනාධාරය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදී නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශ රැසකදී ඊයේ (23) විරෝධතා සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අසාධාරණයට ලක්වූවන් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලා කටයුතු කරන බවයි.

පවුල් ලක්ෂ 20 ක් සඳහා හඳුන්වා දී ඇති අස්වැසුම වැඩසටහන ලබන පළමුවනදා (01) සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් මාතර, රාගම, ත්‍රිකුණාමලය, බෙලිඅත්ත ආදි ප්‍රදේශ රැසක ජනතාව ඊයේ (23) ප්‍රාදේශීය ලේකම්කාර්යාල ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබුණේ තමන්ට මෙම සහනාධාරය අහිමිවී ඇති බවට චෝදනා කරමින් ෴


කොළඹට පැය 16 ක ජල කප්පාදුවක්

(24.06.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) පෙරවරු අටේ රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති බවයි ෴


කැරැල්ලක අවදානමෙන් මොස්කව් ආරක්ෂාව තර කෙරේ

(24.06.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

කැරැල්ලක අවදානමක් හේතුවෙන් මොස්කව් අගනුවර ආරක්ෂාව තරකර තිබෙනවා.

රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීමට යන බවට ලද තොරතුරක් හේතුවෙන් මෙලෙස මොස්කව් හි ආරක්ෂාව තර කර ඇත්තේ.

තම කඳවුරට ගුවන් ප්‍රහාරයක් එල්ල කර සිය සඟයන් විශාල පිරිසක් ඝාතනය කර ඇති බවට වැග්නර් කණ්ඩායමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුක්රේන ආක්‍රමණයේදී රුසියානු හමුදා සහයට මෙම කුලී හේවා කණ්ඩායම යොදවා තිබූ අතර, පසුව ඔවුන් අතර මතභේදයක් හටගෙන තිබුණා.

වැග්නර් කණ්ඩායමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් පසුව වීඩියෝ පටයක් ද නිකුත් කරමින් රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළාදැක තිබුණා.

මේ අතර රුසියාවේ තත්වය ඇමරිකානු ජනාධිපති විසින් නිරීක්ෂණය කරමින් සිටින බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා ෴

++++++++

වැග්නර් සටන්කාමීන් යුක්රේනයේ සිට රුසියාවට දේශසීමාව හරහා ඇතුළුවෙයි

(24.06.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව මේ වනවිට අතුරු හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට විදෙස් වාර්තා පවසනවා.

රුසියානු රජය විසින් යුක්රේනය ආක්‍රමණයේදී යොදවා තිබූ කුළී හමුදාවක් වන වැග්නර් කණ්ඩායම විසින් මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බවටයි වාර්තාවන්නේ.

ඒ සමඟ සිවිල් යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීමටද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මොස්කව් අගනුවර ආරක්ෂාවද තර කර ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් වැග්නර් කණ්ඩාමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කර ඇත්තේ තමන් රොස්තොව් නුවර බලය අල්ලාගෙන ඇති බවටයි.

මෙම නගරය පිහිටා ඇත්තේ නැගෙනහිර යුක්රේනයට මායිම්ව මොස්කව් අගනුවර සිට සැතපුම් දහසක් පමණ දුරකින්.

කෙසේ වෙතත් රොස්තොව් නගරයේ ආණ්ඩුකාරවරයා තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ නිවෙස්වලින් පිටව නොයන ලෙසටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *