අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වෙයි

අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වෙයි


අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වෙයි

(23.06.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හරහා සැබෑ අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වී ඇති බවට ‘සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය’ චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනතාවට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා හඳුන්වාදුන් 1924 ක්‍ෂණික ඇමතුම් අංකය ද අක්‍රිය තත්ත්වයේ පවතින බවයි.

සමෘද්ධිය වෙනුවට ලබන මස පළවැනිදා (01.07.2023) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යේජනා ක්‍රමය’ යටතේ ගෙවීම් ලේඛනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය තාවකාලිකව අත්හිටුවන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර අද (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

ඒ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.

එහිදී වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ මෙම වැඩසටහන අත්හිටුවීමේ හැකියාවක් නොමැති බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මෙම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් ද ඉල්ලා සිටියා ෴

++++++++++

‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අක්‍රමිකතා සිදු වෙලා

(23.06.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි සහනාධාරය වෙනුවට ක්‍රියාත්මක කිරීමට නියමිත ‘අස්වැසුම’ වැඩසටහන යටතේ ප්‍රතිලභීන් තෝරාගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වෙනවා.

පවුල් ලක්ෂ 20 ක් සඳහා හඳුන්වා දී ඇති ‘අස්වැසුම’ වැඩසටහන ජූලි මස පළමුවන (01) දා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

සමෘද්ධි සහනාධාරය ලබා දීමේදී සිදු වූ බවට චෝදනා එල්ල වූ අක්‍රමිකතා ‘අස්වැසුම’ ව්‍යාපෘතිය යටතේ අවම කර ගන්නා බවයි රජය මීට පෙර අවධාරණය කළේ.

‘අස්වැසුම’ සුභසාධන ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 20 ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට අනුමත කර ඇති බව වාර්තා වෙනවා.

නමුත් ඉන් සංක්‍රාන්තික ප්‍රතිලාභී පවුල් ලක්ෂ 4 ක් සඳහා මාස 5 ක් සහ අවදානමට ලක් වූ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 4 ක් සඳහා මාස 8 ක් ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.

දිළිදු ප්‍රතිලාභී පවුල් ලක්ෂ 8 ක් සඳහා සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා වසර 03 ක කාලයක් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

ඒ අනුව මේ වන විට ලංකාවේ දිළිදු පවුල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති පසුබිමක වුවත් පවුල් 16,55,000 කට පමණ හිමිව තිබූ පූර්ණ කාලීන ‘සමෘද්ධි සහනාධාරය’ ‘අස්වැසුම’ තුළින් පූර්ණකාලීන ප්‍රතිලාභී පවුල් 12,000 ක් දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත් සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් බිලියන 60 ක පමණ මුදලක් වෙන් කර තිබූ අතර ‘අස්වැසුම’ සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 200 කට ආසන්නයි.

මේ අතර ‘සමෘද්ධි එකමුතුව’ පවසන්නේ අස්වැසුම හරහා ආණ්ඩුව සිදුකරනු ලබන්නේ ‘සමෘද්ධිය’ අකර්මණ්‍ය කිරීමක් බවයි.

මේ අතර ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දී නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශ රැසකදී විරෝධතා ද සංවිධානය කර තිබුණා ෴


අතුරුදන් සිසුවියන් දෙදෙනා භිරු අනාවරණයෙන් සොයා ගනී

(23.06.2023 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ඉඟිනියාගල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) සතියක පමණ කාලයක් සිට අතුරුදන්ව සිටින බව හිරු ප්‍රවෘත්ති පසුගිය දා අනාවරණය කළා.

මෙම අනාවරණයත් සමඟ කැලණිය මීගහවත්ත ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටියදී සිසුවියන් දෙදෙනා (2) සොයා ගෙන තිබෙනවා.

එක් සිසුවියක් ප්‍රෙම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයකු සමඟ ඔවුන් පැමිණ ඇති අතර මිතුරකුගේ නිවසේ සිසුවියන් රැඳී සිට තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) නිවෙසින් පැමිණ තිබුණේ උපකාරක පන්ති යන බව පවසමින්.

+


සහල් ආනයනයෙන් සතොසට සිදු වූ පාඩුව රුපියල් බිලියන 06 යි

(23.06.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala)

2014 සහ 2015 වසරවලදී සහල් ආනයනය කිරීමට සිදුවීම නිසා ‘ලංකා සතොස’ ආයතනයට රුපියල් බිලියන 06 ක පාඩුවක් සිදු වූ බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වුණා.

කෙසේ වෙතත් කෝප් කමිටු සාමාජිකයින් එහිදී චෝදනා කළේ එවැනි පාඩුවක් තිබියදීත් 2017 හා 2018 වසරවලදීත් යළිත් සහල් ආනයනය කර ඇති බවටයි.

+


‘හිරු CIA’ දැලට හසුවුණු කප්පම් කරුවන්

(23.06.2023 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයින් බියවද්දා ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ‘හිරු CIA’ වෙත අනාවරණ වුණා.

ඒ අනුව ‘හිරු CIA’ කණ්ඩායම පොලිසියද සමග එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම කප්පම්කරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකිවුණා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරක් ‘හිරු CIA’ වෙත අනාවරණ වුණා.

ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළි වුණේ ව්‍යාපාරිකයින් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනින් මෙම කප්පම් ගැනීමේ ජාවාරම සිදුවන බවයි.

ඒ සම්බන්ධයෙන් මීගොඩ ප්‍රදේශයේ ඖෂධ ව්‍යාපාරිකයෙකු ‘හිරු CIA’ සහාය පැතුවේ එම කප්පම්කරුවන්ගේ බලපෑම දරාගත නොහැකි වූ පසුබිමකයි.

එම ව්‍යාපාරිකයාට පසුගියදා දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඔහු විසින් වෙළෙඳපොළට සපයන ඖෂධ ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින්.

එම ප්‍රචාර වළක්වාගැනීමට නම් තමන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් අවශ්‍ය බවයි ඇමතුම ලබාදුන් පුද්ගලයා ව්‍යාපාරිකයා හට පවසන්නේ.

අවස්ථා ගණනාවකදී එලෙස ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ඉල්ලූ බව සනාථ කෙරෙන දුරකතන ඇමතුම් කිහිපයක් මේ.

මෙම කප්පම් ලබාගැනීමේ ජාවාරමට තවත් පුද්ගලයින් කණ්ඩායමක් සම්බන්ධ වී සිටින අතර ඉන් දැඩි බලපෑමට ලක්වූ අදාළ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් ‘හිරු CIA’ වෙත තොරතුරු හෙළි කළා.

ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කිරිමෙන් අනතුරුව මෙම කප්පම් කල්ලිය නීතියේ රැහැනට හසුකර ගැනීමේ අරමුණින් මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ රහසිගත මෙහෙයුමකට ‘හිරු CIA’ එක්වුණේ මෙලෙසින්.

කප්පම්කරුවන් ව්‍යාපාරිකයාට බලපෑම් කර තිබුණේ මුදල්ද රැගෙන බණ්ඩාරගම ප්‍රදේශයට පැමිණෙන ලෙසයි.

ව්‍යාපාරිකයා මුදල් රැගෙන පැමිණෙන බව කප්පම්කරුවන් සනාථ කර ගත්තේ මෙලෙසින්.

‘හිරු CIA’ කණ්ඩායම බණ්ඩාරගම ප්‍රදේශයට ළඟාවන විටත් කප්පම් කල්ලියේ කිහිප දෙනෙක් යතුරුපැදි ආධාරයෙන් අවට ප්‍රදේශයේ සැරිසරන ආකාරය මෙලෙස නිරීක්ෂණය වුණා.

අනතුරුව කප්පම්කරුවන් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගැනීම සඳහා මීගොඩ ප්‍රදේශයේ පැවති බැංකුවක් සමීපයට පැමිණෙනවාත් සමඟම පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ මෙලෙසින්.

අනතුරුව කප්පම්කරුවන් වැඩිදුර විමර්ශන සඳහා මීගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙවැනි කප්පම් ගැනීමේ ජාවාරම් නීතියේ රැහැනට හසුකර දීම සඳහා ‘හිරු CIA’ ඉදිරියටත් සූදානම්.

+


ගුවන්යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක්

(23.06.2023 – 22:36 +0530 – hirunews.lk/sinhala)

ගුවන්යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගියදා පලාලි කඳවුරේදී ආරම්භ කළා.

මේ සඳහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන ආයතනයේ විශේෂඥ කණ්ඩායමකගේ සහායද ලැබී තිබෙනවා ෴


එළවළු සහ මාළු මිල ඉහළට

(23.06.2023 – 22:51 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

මේ අතර වෙළෙඳපළේ මත්ස්‍ය මිල ගනන් ද පවතින්නේ ඉතා ඉහළ අගයකයි.

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූ ආකාරයයි මේ.

ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 300 ත් 310 ත් අතර මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල්200 ත් 280 ත් අතර මිලකටත් අලෙවි කෙරුණා.

එමෙන්ම අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 600 ත් 650 ත් අතර අගයකටත් වම්බටු කිලෝවක් රුපියල් 150 ත් 200 ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.

මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොගමිලද අද උදෑසන ඉහළ මට්ටමක පැවතියා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග සැපයුම අඩුවීම මෙලෙස එළවළු මිල යළිත් වරක් ඉහළ යාමට හේතුව බවයි වෙළෙඳුන් පවසන්නේ.

ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ඉහළ යාම හමුවේ සිල්ලරව අලෙවි කෙරෙන එළවලු මිලද ඉහළ ගොස් ඇත්තේඉතා ඉහළ අගයක් දක්වායි.

මේ අතර වෙළෙඳපොළේ මාලු මිලද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සදහා රජය විසින් කුකුළු මස් කිලෝවකට අය කරන රුපියල් 240 ක සහ බිත්තරයක් සඳහා අය කරන රුපියල් 6 ක (බදු) මුදල අඩු කරන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා ෴


සිව් (4) හැවිරිදි දියණියට අමානුෂික ලෙස හිංසා කළ සුළුමව අත්අඩංගුවට

(23.06.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) හැවිරිදි කුඩා දැරියකගේ කටට දුම්කොළයක් ඔබා මූණ වතුර බාල්දියක ද ඔබා වේවැලකින් පහරදී කෲරත්වයට පත් කළ බව කියන පියාගේ දෙවැනි (2) බිරිඳ අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.

සැකකාරිය විසින් දැරියගේ කටට දුම්කොළය එබිම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට පවා අපහසු තත්ත්වයෙන් මත් ගතියෙන් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දැරිය මේ වන විට කිරිඅම්මා භාරයේ හොරණ මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර දැරියට පහර දීමට යොදා ගත් වේවැලද පොලිස් බාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකාරිය පහර දුන් බව කියන සලකුණු කිහිපයක් වම් අතේ බැලූ බැල්මට දක්නට ලැබෙන අතර ‘දැරිය කියන දේ අහන්නෙ නැහැ හිතුවක්කාරයි. ඒ නිසා පහර දුන්’ බව සැකකාරිය පොලිස් නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව සඳහන්.

දැරියගේ මව වෙනත් පුරුෂයෙක් සමග දැරිය හා දැරියගේ පියා තනිකර මීට වසරකට (1) පමණ පෙර පිටවී යාමෙන් අනතුරුව දැරියගේ පියා විසින් දැරියත් රැගෙන සැකකාරියගේ නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴

මෙම දැරිය පිළිබඳ පොලිසියට ලද තොරතුරක් සමඟ පොලිසිය මෙම නිවෙසට යන අවස්ථාවේදී ඇයගේ මුඛයට දුම් කොළ එබීම නිසා කතා කිරීමට පවා නොහැකි මත් ගතියකින් සිට ඇති අතර, ඇය හඬා වැටෙමින් නිරුවත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩඟුවට ගත් සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය සුදුසු භාරකත්වයට පත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටින බව පැවසුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *