කළුතර උපකාරක පන්ති ගුරුවරයා සහ කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනා ජුලි 07 දක්වා රිමාන්ඩ්

කළුතර උපකාරක පන්ති ගුරුවරයා සහ කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනා ජුලි 07 දක්වා රිමාන්ඩ්


කළුතර උපකාරක පන්ති ගුරුවරයා සහ කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනා ජුලි 07 දක්වා රිමාන්ඩ්

(23.06.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තුන්දෙනෙකු (3) ලබන මස 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (23) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම, පාසල් සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බවට වන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි කළුතර ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා ද අද (23) යළි අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ද ලබන මස 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ ෴


හරක් කටාගේ තුර්කියේ නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනේ

(23.06.2023 – 17:18 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම් නියෝග ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව අපරාධ රැසකට යොදා ගත් බවට සැකකෙරෙන තුර්කියේ නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා .

‘හරක් කටා’ නමැත්තා ලබාදුන් තොරතුරු අනුව යකඩ එකතු කරන පුද්ගලයෙකු මාතර රෝහල අසලදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනි අවිය සොයා ගැනුණා.

32 හැවිරිදි එම සැකකරුගේ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුප වැසිකිළි වල අසළ තිබි මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයා ගෙන තිබෙනවා ෴


මැලේසියානු සිහින මවා මුදල් ගැරූ 19 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

(23.06.2023 – 17:19 +0530 – hirunews.lk/sinhala)

මැලේසියා රටේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ 19 හැවිරිදි තරුණියක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට මැලේසියාවේ සිටින මෙම තරුණියගේ මව විසින් මෙම රැකියා ජාවාරම මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මීගමුව ප්‍රදේශයේ අයෙකුගෙන් මැලේසියා රටේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගත් බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර මෙම තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේ දී රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් සංසරණය වී තිබූ බව පොලීසිය පවසයි ෴


බාටා ක්‍රමයට තෙල් මිල දී ගැනීමට සූදානමක්

(23.06.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ලබන මාසයේදී ඉරාණයට තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවට තේ හුවමාරු කිරීම ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

2012 දී ආනයනය කරන ලද තෙල් සඳහා භාණ්ඩ හුවමාරු ක්‍රමයට 2021 දී එකඟ ව් තිබෙනවා.

එහෙත් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ඩොලර් හිඟය දශක හතකට (7) වැඩි කාලයක් තුළ ඇති වුණ ආර්ථිකයේ දරුණුතම මූල්‍ය අර්බුදය වෙනවා. මේ නිසා භාණ්ඩ හුවමාරුව ද ප්‍රමාද වුණ බවයි වාර්තා වන්නේ.

“මෙය අපට ඉතා කාලෝචිත වන්නේ අපට වැදගත් වෙළෙඳපළකට ප්‍රවේශය ඉන් ලැබෙන නිසාත් ඉරාණයට සහ ශ්‍රී ලංකාවට ඩොලර් මත යැපීමෙන් තොරව වෙළෙඳාම් කළ හැකි නිසාත්” යැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

නිරාජ් ද මෙල් වැඩිදුරටත් පවසා තිබුණේ, ගිවිසුම තිබුණේ මාස 48 කට බවත් සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 5 ක් වටිනා තේ යැවීමට මුත් මසකට ඩොලර් මිලියන 2 කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

ගෝලීය වශයෙන් ජනප්‍රිය Ceylon Tea යනු ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන භෝගය වන අතර, රජයේ දත්තවලට අනුව පසුගිය වසරේ මුදල් හිඟ රට සඳහා වන අමෙරිකානු ඩොලර් බිලියන 1.25 ක් ලැබී තිබෙනවා.

ඉරාණය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන් ගෙන් එකක් වූ නමුත් ඉරාණයට එරෙහි එක්සත් ජනපද සම්බාධක නිසා තේ අපනයනය 2018 දී අමෙරිකානු ඩොලර් මිලියන 128 සිට පසුගිය වසරේ ඩොලර් මිලියන 70 දක්වා ක්‍රමයෙන් පහත වැටී ඇති බව වර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ තේ වලින් සැලකිය යුතු කොටසක් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ඉරාණයට නැව්ගත කර ඇති බව නිල දත්ත පෙන්වා දෙනවා.

භාණ්ඩ හුවමාරු වැඩසටහන යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිල දී ගෙන ශ්‍රී ලංකා අපනයනකරුවන් හරහා තේ නැව්ගත කිරීම සඳහා තේ මණ්ඩලයට රුපියල් ලබා දෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ඉරාන තේ ආනයනකරුවන් විසින් ජාතික ඉරාන තෙල් සමාගමට රියාල් ගෙවන බව ද සඳනන් ෴


කඹුරුපිටියේ සිසුවෙකුට පහරදුන් පොලිස් සැරයන්වරියක් වන්දි මුදල් ගෙවයි

(23.06.2023 – 18:43 +0530 – hirunews.lk/sinhala)

තම දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන 16 හැවිරිදි සිසුවෙකුට පහරදී මහමග දමා ගිය බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මාතර – කඹුරුපිටියේ පොලිස් සැරයන්වරිය අදාළ සිද්ධිය සමතයකට පත් කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් එම සිසුවාට වන්දි ලෙස ලබාදී ඇතැයි වාර්තා වුණා.

කෙසේ වෙතත් එලෙස සිද්ධිය සමතයකට පත් කර ගෙන දින 3 කට පමණ පසු අදාළ සිසුවා කඹුරුපිටිය මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත්වීමත් සමගයි ඒ පිළිබඳ කරුණු අනාවරණ වුණේ.

16 හැවිරිදි අදාළ සිසුවා පසුගිය දිනෙක පාසල් අවසන් වී පිටතට පැමිණි අවස්ථාවේ ඔහු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන යන අදාළ සිසුවියගේ සහෝදරයා පැමිණ ඔහු සමග කතා කිරීමට අවශ්‍ය බව පවසා මෝටර් රථයකට නංවාගෙන තිබෙනවා.

එම මෝටර් රථය තුල සිසුවියගේ මව වන කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරිය ද සිට ඇති අතර, සිසුවා මෝටර් රථයෙන් රැගෙන යන අතරතුර ඔහුට පහරදී මහමග දමාගිය බවටයි සිසුවා පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ ඔවුන් සිද්ධිය සමතයකට පත් කර ගත් බැවින් ඒ පිළිබඳ විමර්ශන මේ වනවිට අවසන් කර ඇති බවයි.

මේ අතර, මුහුණු පොතේ ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් 14 හැවිරිදි සිසුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වාගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවාගේ පියා පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, අවුරුදු 4 ක් වයසැති දැරියකගේ මුඛයට දුම්කොළයක් ඔබා මුහුණ වතුර බාල්දියක ඔබා පහරදීමේ සිද්ධියකට අදාළව එම දැරියගේ කුඩම්මා අගුරුවාතොට පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

නෑබොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ දැරියට කුඩම්මා විසින් හිරිහැර කරන බවට අගුරුවාතොට පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි පොලීසිය ඒ පිළිබද විමර්ශන ආරම්භ කර තිබුණේ.

මේ අතර, සමාජය තුල අපරාධකාරි චර්යාවන් වර්ධනය වීමට පොලිසිය, අධිකරණය සහ බන්ධනාගාර පද්ධතිය ආදි ආයතන කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීමද හේතුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පෙන්වා දෙනවා.

+


කරුවලගස්වැව වනයක තිබී අස්ථි කොටස් සොයා ගනී

(23.06.2023 – 18:47 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පුත්තලම මාර්ගයේ මී ඔය පාලම අසල කැලෑවක තිබී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

මී වද කැඩිමට වනයට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) හට මෙම අස්ථි කොටස් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔවුන් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා. ඒ අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී පිලිස්සී ගිය මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක්, උල් පිහියක් සොයාගෙන තිබෙනවා. යාබද ගසක එල්ලෙමින් තිබූ තොණ්ඩුවක් ද පොලිස් නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබුණා.

මෙය සියදිවි හානි කරගැනීමක් ද මිනී මැරුමක් ද යන වග සෙවීමට කරුවලගස්වැව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


මත්ද්‍රව්‍ය සමඟ ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට

(23.06.2023 – 18:59 +0530 – hirunews.lk/sinhala)

‘ඊසි කෑෂ්’ ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම්කරුවකු සම්බන්ධ විමර්ශන සිදු කිරීමේ දී මත්ද්‍රව්‍ය සමඟ ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොග්ගල ගුවන්හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා සෙබළෙකි.

‘ඊසි කෑෂ්’ ක්‍රමයට මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති මෙම සැකකාර සෙබළා ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා ෴


අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට පහර දෙන්න හැදූ පුද්ගලයකුට වෙඩි

(23.06.2023 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කළ සැකකරුවකුට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

තුවාල ලැබූ සැකකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


පාසල් සිසුන්ට මත් ගුලි අලෙවි කළ ජාවාරම්කරුවන් 2 ක් දැලේ

(23.06.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව නගරය හා ඒ අවට පාසල් ළමයින් හා උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් කලක් තිස්සේ මත් ගුලි අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) මත් ගුලි තොගයක් ද සමග කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්
විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් විශේෂ කාර්යංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කැකිරාව නගරයේදී අදාළ වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කැකිරාව බස් නැවතුම්පළ ආශ්‍රිත ව්‍යාපාරික ස්ථානයක මත් ගුලි තොගයක් අලෙවියට සූදානම් කර තිබියදීයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් අනුව එලෙස අලෙවිය සදහා බෙදා හැරීමට රැගෙන විත් තිබූ තවත් මත් ගුලි තොගයක් තවත් ව්‍යාපාරික ස්ථානයක රථ ගාලක ගාල්කර තිබූ රථයක තිබියදී සොයා ගැනීමට පොලිසිය හැකි වී තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මත් ගුලි තොගයේ වටිනාකම රුපියල් විසිදහසක් (20,000) පමණ වන බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මෙම මත්ගුලි තොගය ආයුර්වේද නිෂ්පාදන සමාගමක වෙළෙද නාමයක් යටතේ නිෂ්පාදනය කර නිසි බලපත්‍රයක් හෝ වෛද්‍ය නිර්දේශවලින් තොරව පාසල් දරුවන්ට හා උපකාරක පන්ති සිසුන්ට අලෙවි කර ඇති බව‍යි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 හා 29 වයස්වල පසුවන්නන්.

මොවුන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *