වෘත්තිය පුහුණු අධිකාරියේ සේවකයාගේ ඝාතනයට නාකොටික් නිලධාරීන් ජූලි 07 වැනිදා දක්වා රිමාන්ඩ්

වෘත්තිය පුහුණු අධිකාරියේ සේවකයාගේ ඝාතනයට නාකොටික් නිලධාරීන් ජූලි 07 වැනිදා දක්වා රිමාන්ඩ්


වෘත්තිය පුහුණු අධිකාරියේ සේවකයාගේ ඝාතනයට නාකොටික් නිලධාරීන් ජූලි 07 වැනිදා දක්වා රිමාන්ඩ්

(23.06.2023 – 16:09 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අත් අඩංගුවට ගත් පසු වෘත්තිය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු මරණයට පත් වීම සම්බන්ධ චෝදනා එල්ලවූ නාකොටික් නිලධාරීන් 7 දෙනා ජූලි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඊට අදාළ නඩුව අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම සිදුවීම සම්බන්ධ ප්‍රබල සාක්ෂි කිහිපයක් ද අධිකරණයට ඉද්රිපත් කළා.

පසුගිය ජනවාරි 10 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෘත්තිය පුහුණු අධිකාරියේ කළමණාකාර සහකාරවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 15 ක් තිබූ බවට චෝදනා කරමින්.

ඉන් අනතුරුව ඇති වූ සිද්ධියකින් පසු කළමානාකර සහකාරවරයා ජාතික රෝහලට ඇතුළත් කළ අතර අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේ අදාල තරුණයාගේ ඥාතීන් සිදුකළ චෝදනාවකින් පසුවයි.

ඊට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ නාකොටික් නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (23) යළිත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ සහ මනූෂ ඝාතන විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන 90% ක් පමණ මේ වන විට අවසන් බවයි.

ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සිදුවූ දින අදාළ නිලධාරීන්ගේ ජංගම දුරකතන වාර්තා පරීක්ෂා කළ බවත් එහිදී ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වූ බවයි.

අදාළ කළමනාකාර සහකාරවරයා අත්අඩංගුවට ගෙන පහර දී ඝාතනය කිරීම දක්වා සිදුවීම් මාලාව සඳහා පැය 4 කුත් මිනිත්තු 25 ක් ගතවී ඇති බවටත් සාක්ෂිවලින් තහවුරු වන අතර ඔවුන් අදාළ සිදුවීම සිදු වූ ස්ථානය වෙනස් කිරීමට උත්සහ කර ඇති බවත් අනාවරණය කරගත් බවයි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අධිකරණයට පවසා සිටියේ.

එමෙන්ම සැකකරුවන්ගේ DNA වාර්තාද මේ වන විට ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව නීතිපතිවරයාට සැකකරුවන් වෙත අධි චෝදනා පත්‍ර භාර දී ඔවුන්ට එරෙහිව මහධිකරණයේ නඩු පැවරිය හැකි බවත් මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ඒ අනුව අදාළ සැකකරුවන් 7 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ ෴


වෙඩි වැදීමෙන් හමුදා සෙබළෙකු රෝහල්ගත කරයි

(23.06.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

අත්වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී එයින් පිටවූ උණ්ඩයෙන් තුවාල ලැබූ යුද හමුදා සෙබළකු මන්නාරම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

වෙඩිතලතිව් කමාන්ඩෝ සංග්‍රාමික යුද හමුදා පුහුණු පාසලේ පාඨමාලාවක් හදාරන හමුදා සෙබළකු අතින් මෙම ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වී තිබේ. එම අවස්ථාවේ එතැන සිටි හමුදා සෙබලෙකු ගේ පාදයට වෙඩි වැදී තිබෙනවා.

අඩම්පන් පොලීසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සිදු කරනවා ෴


USAID මෙරටට දුන් ආධාර ඩොලර් බිලියන 2 ක ඉක්මවයි

(23.06.2023 – 14:02 +0530 – hirunews.lk/sinhala)

1956 සිට මේ දක්වා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් ‘යූ.එස්. එයිඩ්’ ආයතනය හරහා ඩොලර් බිලියන 2 ඉක්ම වූ ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති බව අමෙරිකාව පවසනවා.

එම අරමුදල් පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, මානව හිමිකම් සහ පාලනය, ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පරිසරය ඇතුළු විවිධ අංශ ඔස්සේ ලැබී ඇති බව සඳහන්.

අමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ අමෙරිකා, ශ්‍රී ලංකා අතර සබඳතාවයේ 75 වන සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

ඒ නිමිත්තෙන් මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ (22) උත්සවයක් පැවැත්වුණු අතර, එම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යි ෴


යුක්‍රේන් තරුණියට අතවර කළ 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

(23.06.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

බුදුන් වැඳීමට විහාරස්ථානයකට ගිය යුක්රේන ජාතික කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දහ නම (19) හැවිරිදි උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


රන් මිල පහළට

(23.06.2023 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) දිනට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (23) දින රන් මිල මෙන්න :

  • රන් අවුන්ස (Gold Ounce) Rs. 588,016
  • කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.20,750
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams) (1 Pawn) Rs.165,950
  • කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.19,030
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams) (1 Pawn) Rs.152,200
  • කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.18,160
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams) (1 Pawn) Rs.145,250

මධ්‍යම පළාතේ ගුරුවරු පිළිතුරු පත්‍ර ඇගයීම වර්ජනය කරති

(23.06.2023 – 15:39 +0530 – hirunews.lk/sinhala)

පොරොන්දු වූ පරිදි සිය අත්තිකාරම් මුදල් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන නැතැයි චෝදනා කරමින් මධ්‍යම පළාතේ පාසල් කිහිපයක ගුරුවරු පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරත වුණා.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය ද අදහස් පළ කොට තිබුණා ෴


විශ්වවිද්‍යාල සිසුන් සඳහා ණය වැඩසටහන නැවත ඇරඹීමට සූදානම්

(23.06.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශකර සිටියා.

මෙම ණය වැඩසටහනට මුදල් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරගෙන යන බවයි අමාත්‍යවරයා මෙහෙදී ප්‍රකාශකර සිටියේ ෴


ලංකා ගමනා ගමන මණ්ඩලයට නව රියැදුරන් සහ කොන්දොස්තරයන් බඳවා ගනී

(23.06.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනා ගමන මණ්ඩලයට රියැදුරන් සහ කොන්දොස්තරයන් බඳවා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

ලංකා ගමනා ගමන මණ්ඩලයට රියැදුරන් 520 ක් සහ කොන්දොස්තරයන් 170 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

රියැදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු හේතුවෙන් බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුවී ඇත ෴


මිය ගිය පුද්ගලයකුගේ දේහය නිවෙසේ තිබියදී ගවයකු මරා මස් කරලා

(23.06.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයකු දීයේ ගිලි මිය ගොස් ඇති අතර මිය ගිය තැනැත්තාගේ දේහය නිවෙසේ තිබියදීම ඔහුගේ නිවෙස අසල බැඳ තිබු ගවයකු නිවෙස පිටුපස මරා මස් කර තිබෙනවා.

ගව ඝාතනයේ සොරුන් සොයා පොලිස් නිල සුනඛයන් යොදාගෙන ගලෙන්බිදුණුවැව පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.

පසුගිය 18 වන දින ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ වෙම්බුවැව ගම්මානයේ වෙම්බුවැවට ජලස්නානය කිරිමට ගිය මෙම පුද්ගලයා ජලයේ ගිලි සිටියදී ගම්වාසින් විසින් ඔහු වැවෙන් ගොඩට ගෙන යකල්ල හුරුළුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් තිබුණේ වෙම්බුවැව ගම්මානයේම පදිංචි වයස අවුරුදු 80 ක පුද්ගලයෙක්.

මේ අතර මිය ගිය අයගේ දේහය නිවෙසට රැගෙන විත් තැන්පත් කොට තිබියදී එම නිවෙස පිටුපස වත්තෙහි ගැට ගසා සිටි ගවයකු මරා මස් කර මිය ගිය ගවයාගේ ඉවතලන කොටස් ඒ අසල තිබු කුඩා දිය කඩිත්තකට විසි කර තිබෙනවා.

මේ සම්බන්ධව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය විසින් පරික්ෂණ ආරම්භ කර තිබෙන අතර මේ සදහා මැදවච්චිය පොලිස් නිල සුනඛයින් ද යොදා ගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මේ වන තෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුරටත් පරික්ෂණ සිදු කරමින් පවතින බව‍යි වාර්තා වන්නේ ෴


කුලී වැඩක් නොමැතිව සිත්තැවුලට පත්වූ පුද්ගලයකු සිය දිවි හානි කර ගනී

(23.06.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කුලී රැකියාවක් නොමැති වීම නිසා සිත් තැවුලට පත් වූ පුද්ගලයෙකු සිය නිවස තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කර තිබෙන බව මාතලේ පොලිසිය පවසයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 34 හැවිරිදි මාතලේ අළුවිහාර ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි. එදිනෙදා කුලී වැඩට යමින් ජීවත් වූ පුද්ගලයා මාතලේ නගරයට ගොස් කුලී රැකියාවක් සෙවුවද සොයා ගැනීමට නොහැකි වී තිබේ. පසුව ඔහු නිවසට පැමිණ බිරිඳට පවසා ඇත්තේ කෙසේ හෝ රුපියල් දාහක් (1000) සොයාගෙන එන ලෙසටය.

බිරිඳ යාබද නිවසට ගිය ද එය ඉටුකර ගැනීමට නොහැකි වී තිබේ. දෙවන වරටද සැමියා පවසා ඇත්තේ තවත් එක් සැරයක් උත්සහ කර මුදල් සොයාගෙන එන ලෙස ටයි. ඒ අනුව ඇය නිවසින් පිටව ගොස් මුදල් සොයාගෙන එන අතරතුර සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ තිබී ඇත.

මාතලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *