කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 100 ක හිඟයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 100 ක හිඟයක්


කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 100 ක හිඟයක්

(23.06.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රධාන පෙළේ රජයේ රෝහලක් වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරුන් 460 දෙනෙකු වන අතර මෙම වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකළ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය යූ.එම්. රංග ප්‍රකාශ කළේ දැනට වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බවයි.

එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම තමයි මෙම තත්ත්වයට හේතුවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ ෴


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(23.06.2023 – 09:33 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර, දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද (23) උදෑසන පීලිපැනීමට ලක්ව ඇති බවයි ෴


කොඩිකාමම් ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය සොයාගනී

(23.06.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

කොඩිකාමම් ප්‍රදේශයේ කැලෑවක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන බව පොලීසිය පවසයි.

කොඩිකාමම් පොලීසියට ලද තොරතුරක් මත අත්බෝම්බ 6 ක්, හෑන්ඩ් පැරා 2 ක්, දුම් බෝම්බ 1 ක්, පිපිරවීමට යොදා ගන්නා ස්විච් 3 ක්, ඩෙට් කෝඩ් මීටර් 2 ක්, ටී56 උන්ඩ 1 ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම පුපුරනද්‍රව්‍ය පසුගිය යුද සමයේ අතහැර ගිය ඒවා බවට පොලිසිය පොලීසිය සැක පළ කරයි ෴


මත්පැන් ජාවාරම්කරුගේ පිහි පහරින් පුද්ගලයෙකු මරුට

(23.06.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු එල්ල කළ පිහි පහරකින් මත්පැන් ඉල්ලා පැමිණි අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව දෙහිඕවිට පොලීසිය පවසයි.

නීති විරෝධී මත්පැන් ඉල්ලා පැමිණී 26 හැවිරිදි පුද්ගලයෙකු මත්පැන් ජාවාරම්කරුගෙන් මත්පැන් ඉල්ලා ඇති අතර ජාවාරම්කරු මත්පැන් නොමැති බව පැවසීමෙන් අනතුරුව දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී තිබෙනවා. අනතුරුව මත්පැන් ජාවාරම්කරු තමන් සන්තකයේ තිබූ පිහියක් රැගෙන 26 හැවිරිදි පුද්ගලයාට පිහි පහර එල්ල කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

57 හැවිරිදි මත්පැන් ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


දස හැවිරිදි පාසල් සිසුවියකට අතවර කරලා

(23.06.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, බාලිකා පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 10 ක් වන පාසල් සිසුවියකට අතරව කළ පුවතක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය තමාට අතවර කළ බවට කොළඹ පිරිමි පාසලක සිසුවකුගේ නමක් සඳහන් කළ බැවින් එම පාසලේ අදාළ නම ඇති සියලු සිසුන් කැඳවා දැරියට හඳුනා ගැනීමට පැවසුව ද ඇයට එවැනි අයකු හඳුනාගත නොහැකි වූ බවයි වැල්ලම්පිටිය පොලිසිය ඊයේ (22) අධිකරණයට දැනුම් දී ඇත්තේ.

අදාළ දැරියගේ පංතිභාර ගුරුතුමිය ඇයගේ වෙනස් චර්යාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කරන ලද පැමිණිල්ලකට අනුව ඇය මෙසේ අතවරයට ලක්ව ඇති බව දැනගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුරුතුමිය පොලිසියට සිදු කළ පැමිණිල්ල හරහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැරිය අධිකරණ වෛද්‍යවරයෙක්ට යොමු කර තිබූ අතර එහිදී අනාවරණය වී අත්තේ දැරිය දැඩි ලෙස අතවරයට ලක්ව ඇති බවත් ඇයගේ සිරුරේ ස්ථාන කිහිපයක් දුම්වැටිවලින් පුළුස්සා ඇති බවත්ය.

මෙම දැරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරිය මව භාරයේ කොළඹ රිච්වේ ආර්යා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කළ බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා ෴


30 වන සිකුරාදාත් විශේෂ බැංකු නිවාඩුවක්

(23.06.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

මේ මස 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (22) නිකුත් කරනු ලැබුවා.

හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 30 වැනිදා ද විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴


මුහුණට මිරිස්කුඩු ගසා මුදල් කොල්ලකෑ කල්ලිය

(23.06.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ණය දෙන සමාගමක සහය කළමනාකරුවකුගේ මුහුණට මිරිස්කුඩු ගසා මුදල් කොල්ලකෑ පුද්ගලයින් සොයා ඉපලෝගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ණය දෙන සමාගම විසින් විවිධ පුද්ගලයින් හට ලබාදුන් ණය මුදල්වල වාරික එකතු කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී සහය කළමනාකරු මෙලෙස කොල්ලකෑමට ලක්වී ඇති බව පොලීසිය පවසයි.

රුපියල් ලක්ෂ දෙකකට (2) ආසන්න මුදලක් මෙලෙස කොල්ලකා ඇති බව වාර්තා වෙනවා ෴


සංගීත සංදර්ශන පැවැත්වෙන කාලය දීර්ඝ කරයි

(23.06.2023 – 10:44 +0530 – hirunews.lk/sinhala)

සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කර තිබෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01:00 දක්වා ද, ඉරිදා දිනයේ අලුයම 12:30 දක්වාද සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවර‍යා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආගමික ස්ථාන සහ රෝහල් පවතින ස්ථානවල සංදර්ශනය පැවැත්වෙන දුර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි ෴


වසරක (1) පමණ කාලයක් තිස්සේ අවුරුදු 3 ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලැබෙන්නේ නෑ

(23.06.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 3 ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම වසරකට (1) අධික කාලයක සිට නතර වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ, මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති කරන්නක් බවයි.

මන්දපෝෂණ තත්ත්වය මෑත කාලීනව ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇය ප්‍රකාශකර සිටියා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න සඳහන් කළේ , බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ පවතින ගැටලුවක් හේතුවෙන් කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි වී ඇති බවයි ෴


රේල් පීලි අතුරුදහන් – අනුරාධපුර පොලීසියෙන් විමර්ශන

(23.06.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

සාලියපුර 6 කනුව ප්‍රදේශයේ දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගලවා තිබූ රේල් පීලි තොගයක් සොරාගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අඩි 15 ක දිගින් යුතු වූ රේල් පීලි විස්සක් (20) මෙලෙස සොරාගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


දඩමස් සමග ව්‍යාපාරිකයන් පිරිසක් අත්අඩංගුවට

(23.06.2023 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මුව – ගෝන – ඌරු මස්, ගංජා සහ මදන මෝදක සමග ව්‍යාපාරිකයන් 12 දෙනෙකු කීර්තිබණ්ඩාරපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථයකින් මෙම පුද්ගලයින් ගමන් කරමින් සිටියදී කීර්තිබණ්ඩාරපුර පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත පරික්ෂා කර අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් සතුව මස් කිලෝ දහයකට (10) අධික ප්‍රමාණයක්, ගංජා ග්‍රෑම් 50 ක්, මදන මෝදක දහයක් (10) තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


මේ අවුරුද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු සියදිවි නසාගෙන

(23.06.2023 – 11:32 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ (2023) මේ දක්වා පමණක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බවයි.

තවත් සිසුන් දෙදෙනෙකු (2) ඒ සඳහා උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන් උපදේශනය සඳහා යොමු කර තිබෙන බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් සිසුන් දිනකට එක් වේලක් පමණක් ආහාර ගන්නා බවත්, විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් මේ වන විට මානසික අවපීඩනයෙන් සිටින බවත් ය.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් විශාල වශයෙන් අසනීපලවලට ගොදුරු වන බවද මන්ත්‍රී ඉම්තියාස් ප්‍රකාශ කර තිබෙනවා ෴


පාසලේ පරිඝණක සොරාගත් සිසුන් අත්අඩංගුවට

(23.06.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala)

නාන්නේරිය මහා විද්‍යාලයේ ගණිතාගාරය කඩා භාණ්ඩ සොරා ගත් සිසුන් ඇතුළු හත් (7) දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නාන්නේරිය පොලීසිය පවසයි.

සිසුන් තිදෙනා (3) විසින් ගණිතාගාර කාමරයේ ජනේලය කඩා ඇතුළු වී එහි තිබූ ටැබ් පරිඝණක 7 ක් හා ඩෙස්ක්ටොප් පරිඝණක උපාංග කොටස් සොරාගෙන තිබෙනවා. සොරාගත් භාණ්ඩ ව්‍යාපාරිකයන් හට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර එම සොරකම සම්බන්ධව ව්‍යාපාරිකයන් පිරිසද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අඟුණකොලපැලැස්සේ කංසා වගාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(23.06.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala)

පොල් හා කුරුඳු වගාවක් තුල සරුවට ගංජා වගාවක්ද සිදු කල වගා කරුවෙක් අඟුණකොලපැලැස්ස කරගහවල ප්‍රදේශයේ දී (22)
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උස්වැව කරගහවල වැවට ආසන්න ඉඩමක පොල් හා කුරුඳු වගාවක් අතරේ අඩි 3 ක් පමණ උසට වැඩුනු ගංජා පැල 2327 ක් හා වියළි ගංජා කිලෝ 7 යි ග්‍රෑම් 800 ක් සමඟ වගාව පවත්වාගෙන ගිය වෑකඳවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (1) පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳ අඟුණකොළපැලැස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *