කටුනායක ශ්‍රීලන්කන් සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

කටුනායක ශ්‍රීලන්කන් සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්


කටුනායක ශ්‍රීලන්කන් සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

(22.06.2023 – 22:05 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාවට ශ්‍රමිකයින් පිටත්කර යැවීමේදී ශ්‍රීලන්කන් මගින් සේවාව ලබා ගැනීමට අකමැතිනම්, ඒ සඳහා කොරියානු ගුවන් සේවයට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඉකුත් 20 වනදා දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“එදා කොරියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණු ගුවන් යානයේ ප්‍රධාන පයිලට් ඇතුළුව තව ෆස්ට් ඔෆිසර් කෙනෙක් හිටියා. එතුමා දවල් 13:40 ට වෛද්‍ය සහතිකයක් එවලා කියලා තියෙනවා මට ෆ්ලයි කරන්න බෑ අද කියලා. ජාත්‍යන්තර නීතිරීති අනුව ප්‍රධාන පයිලට් ට පමණක් මේ ගුවන් යානය ගෙනියන්න බෑ. ෆස්ට් ඔෆිසර් කෙනෙක් ඉන්ඩ ඕනේ. තව ෆස්ට් ඔෆිසර්ස් ලා හිටියා 20 දෙනෙක් ඒ අයට ඕෆ් ඩේ එක. ඒ අයගෙන් ඉල්ලා හිටියා කරුණාකරලා මේ ෆ්ලයිට් එකේ යන්න ෆස්ට් ඔෆිසර් කෙනෙක් එන්න මේ මගීන් රස්තියාදු වෙනවා කියලා. එක්කෙනෙක්වත් ආවේ නෑ. තිත්ත ඇත්ත මේක තමා. ශ්‍රීලන්කන් ගුවන් සේවය ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියනවා. රැකගන්න ඕනේ කියලා. තමන්ගේ සහෝදර නිලධාරියෙක් අසනීපවෙලා. අපිට මේ ෆ්ලයිට් එක ගෙනියන්න සහයෝගයක් දෙන්නේ නෑ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට ආවේණික වූ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි බිලියන 1.2 ක් මේ රටේ ආර්ථිකයට පාඩු කරපු මේ ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මම අපේ ගුවන්සේවා අධ්‍යක්ෂකතුමාට නියෝග කර තිබෙනවා කොරියාවට යන්න ඕනේ නම් ශ්‍රී ලංකන් ගුවන් යානයක යන්න අකමැති නම් එය පරක්කු වෙනවා නම් කොරියන් ගුවන් සේවයට ඇවිල්ලා අපි අවස්ථාව දෙනවා ලංකාවේ ගොඩබස්සවන්න. මම මනූෂ නානායක්කාර මැතිතුමාට කිව්වා වහාම ඔවුන්ට දන්වන්න මම පැය 24 ක් ඇතුලත ඒ අවසරය ලබා දෙන්නම් කියලා”

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා ඉකුත් 20 වනදා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 52 නෙකුට එම අවස්ථාව අහිමි විය.

එවන් පසුබිමක, ගුවන්යානයේ ප්‍රමාදය සම්බන්ධයෙන් කනගාටුව පළකරමින් ශ්‍රී ලංකන් ආයතනයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ, එම ගුවන්යානයේ නියමුවන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු එදින රාත්‍රියේදී හදිසියේ අසනීප වූ අතර, ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ පවතින විවිධාකාරවූ රෙගුලාසි හේතුවෙන් පසු දිනය වනතුරු වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකිවූ බවය.

+


‘සංහිඳියා ප්‍රයත්නයක් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා’ ජනපති

(22.06.2023 – 22:51 +0530 – sinhala.adaderana.lk)

රට මුහුණ දී සිටින ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සකස් කරන අතර, සංහිඳියා ප්‍රයත්නයක් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ 40 වන සංවත්සරයට සමගාමීව ලන්ඩන් නුවර පැවති වාර්ෂික සංසදය අතරතුර, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම්කර ඇති බවයි ජනපති වැඩිදුරටත් පවසා සිටියේ.

පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යූහගතකරණය ප්‍රමුඛතාවක් බවත්, වැදගත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ස්ටීවන් හාපර් මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු රටේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් පළ කළ බවයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අපේක්ෂාවන් ශක්තිමත් කරමින් දීර්ඝ කාලීනව වඩාත් හිතකර වෙළෙඳ ශේෂයක් ස්ථාපනය කිරීමට අදහස් කරන බවත්, ලිබරල් ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය වේගවත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය වැඩිකර ගැනීම අරමුණු කරගෙන එහිදී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශකර තිබෙන බව සඳහන්.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, තමා අග්‍රාමාත්‍යධුරය දරන සමයේ ගත් පියවර මත පදනම්ව දමිළ ජනයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ ප්‍රගතිය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපනය, ත්‍රස්තවාදයට එරෙහි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගැනීම ඇතුළු තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ තිබීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ ෴


අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

(22.06.2023 – 17:54 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 3,000 ක අල්ලස් මුදලක් ලබාගත් ත්‍රිකුණාමලය මහා රෝහලේ තාවකාලික මරණ පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය බක්මිගම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (විමර්ශන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එච්. නුවන් අසංක මහතා පැවසීය.

පැමිණිලිකරුගේ මියගිය ඥාතියෙකුගේ මරණ පරීක්ෂණය සිදුකරදීම සඳහා රුපියල් 7,500 ක මුදලක් සැකකරු අල්ලසක් ලෙස මීට පෙර ලබාගෙන තිබූ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පසුව මරණ සහතිකය ලබාගැනීමට අවශ්‍ය මරණ පරීක්ෂකගේ වාර්තාව ඉක්මනින් ලබාදීම සඳහා සැකකරු විසින් නැවතත් රුපියල් 3,000 ක් ඉල්ලා ඇත.

ඒ අනුව පැමිණිලිකරු විසින් එම මුදල සැකකරුගේ නිවස තුළදී ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ප්‍රදේශ රැසක චර්ම රෝගවල වර්ධනයක්

(22.06.2023 – 12:55 +0530 – sinhala.adaderana.lk)

‘වැලිමැස්සා’ දෂ්ඨ කිරීම හේතුවෙන් වැළඳෙන “ලිෂ්මනයිසීස්” (Leishmaniasis) නමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් බහුලව වාර්තා වන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්.එච්.ඩී. ජනප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණ යන පළාත්වලින් එම රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය මහතා :

“ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් වෙලා. උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, දකුණු පළාත ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතාමත් බහුලව දැනට රෝගීන් වාර්තා වෙනවා. එහිදී රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී. 2-4 ක පමණ දිගින් යුතු ළා දුඹුරු පාට රෝම සහිත ඉතා කුඩා මැසි වර්ගයක්. වැලි මැස්සා සන්ධ්‍යා කාලයේ සහ අලුයම් කාලයේ ඉතාම ක්‍රියාශීලි වෙනවා. මිනිසුන් අනපේක්ෂිත වශයෙන් මෙම සතාගේ ගොදුරු බවට පත්වෙනවා එම කාලසීමාව තුළ දී. රෝග ලක්ෂණ විදියට මතුවෙන්නේ ප්‍රධාන වශයෙන්ම හමේ පාට සහිත හෝ ළා රතුපාට, හමේ ගැටිත්තක්, ඉස්සුනු පැල්ලමක් හෝ ලොකු තුවාලයක් වශයෙන් දැනෙනවා. ප්‍රධාන වශයෙන් ශරීරයේ නිරාවරණය වූ තැන්වල තමා සුලබව දක්නට ලැබෙන්නේ. අනුරාධපුර නම් සෑම සායනයකටම දිනකට රෝගීන් 10 ක් වගේ අලුතින් එනවා. දිනකට පැමිණෙන රෝගීන් ප්‍රමාණය වැඩියි. නිසි ප්‍රතිකාර කරලා සුවපත් කරනවා.”


බ්‍රේක් නැතිවුණු ලොරියක් කළ හරිය | කන්ද උඩ බ්‍රේක් නැතිවුණු ලොරිය පල්ලමේ ආපස්සට ආ හැටි

+


රාජ්‍ය අමාත්‍ය ඩයනාට එරෙහිව නඩු?

(23.06.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
ඊයේ (22) අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ඒ අධිකරණයේ ඇයට එරෙහිව විභාග වෙමින් පවතින තවමත් තීන්දුවක් දී නොමැති නඩුවක් සම්බන්ධයෙන් පෞද්ගලික විද්‍යුත් වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බව‍යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය එම මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ තමාට එරෙහි නඩුවක තීන්දුව එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවයි.

ඒ අනුව අධිකරණයට අපහාසයක් සිදුව ඇති බැවින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ෴


භූමිතෙල් මිල අඩුවුවත් මාළු මිලෙහි වෙනසක් සිදුකළ නොහැකි බව ධීවර සංගම් කියයි

(23.06.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි වෙනසක් සිදුකළ නොහැකි බව ධීවර සංගම් පවසනවා.

ගෘහස්ථව භාවිතයට ගන්නා භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කළ අතර කාර්මික භූමිතෙල් මිල රුපියල් 134 කින් අඩු කිරීමටයි මේ මස පළමුවැනිදා සිට පියවර ගැනුණේ. ‍

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මාළු මිල ගණන් අඩු කිරීමට එම මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බවයි.

මේ දිනවල වෙළදපොළේ මත්ස්‍ය තොග මිල ගණන් සැලකීමේ දී බලයා කිලෝවක් රුපියල් 1,200 ත් 1,300 ත් අගයකත්, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1700 ත් 1800 ත් අතර අගයකත් පවතිනවා.

කෙසේ වෙතත් මේ දිනවල මසුන් අල්ලා ගන්නා ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව ධීවර සංගම් ප්‍රකාශ කළා ෴


පොලිස් සැරයන් ගෑණි සිසුවෙකුට අමානුෂික ලෙස පහර දෙයි

(23.06.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකුට පොලිස් සැරයන් ගෑණියක් පහර දුන් පුවතක් වාර්තා වී තිබෙනවා.

තම දියණිය සමඟ පවතින පෙම් සබදතාව නවත්වන ලෙසට තර්ජනය කරමින් මෙසේ අමානුෂික ලෙස සිසුවාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පිරිසක් සමඟ පැමිණි සැරයන් ගෑණි අදාළ සිසුවාව තම මෝටර් රථයට නංවාගෙන මෙම පහර දීම සිදු කර ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ පහර දීම හේතුවෙන් එම සිසුවා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි ෴


ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට අදාළව අතුරු තහනම් නියෝගයක්

(23.06.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති පූජ්‍ය හල්මිල්ලකුලමේ සුගතඥාන හිමියන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ.

මෙම පෙත්සම ඊයේ (22) සළකා බලනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් හමුවේයි.

මෙහි වගඋත්තකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෙම විහාරය කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලායි මෙම පෙත්සම ගොනුකර තිබුණේ ෴

++++++++

+


ගිරාඳුරුකෝට්ටේ ජනතාව අපහසුතාවක

(23.06.2023 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය ඇතුළු අවට ගම්මාන රැසක ගොවිබිම් සඳහා යොදන කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව චෝදනා කරනවා.

මේ වන විට මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ තරුණ ජනපදය, බතලයාය, තිස්සපුර, කෙසෙල්පොත, රිදීමාලියද්ද, රොටලවෙල, බෙලගන්වැව, වැලිමඩයාය ඇතුළු ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය වන, ගොවිතැන සඳහා යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රදේශයේ ජල උල්පත්, ඇළ මාර්ග සහ ගංඟාවලට එකතුවීමෙන් මෙලෙස ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ doctor that took bribes. What about all the politicians, local and central government politicians, MPs and Ministers, Presidents that demand and take bribes in millions. Is that legitimate? We have never heard about any of these latter categories being indicted for bribery and corruption, though it is common knowledge that our politicians are the worst corrupted on earth.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *