කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව

කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව


කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව

(22.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

කුලී ත්‍රීරෝද රථ රියදුරන්ගේ තර්ජන ගර්ජන හේතුවෙන් කොළඹ කටුනායක බස් රථ ගුවන්තොටුපල තුළට ගමන් නොකිරීම නිසා ජනතාව බොහෝ අපහසුතාවට පත් වී තිබෙන බව වාර්තා වෙනවා.

මාස හයක (6) පමණ කාලයක් මෙලෙස බස්රථ ගුවන් තොටුපළට ඒම වළක්වා තිබෙන බව ගුවන්තොටුපල පරිශ්‍රයෙහි චාරිකාවක නිරත වූ ‘හිරු’ ට අනාවරණය වූවා. ගුවන්තොටුපල ප්‍රධාන පිවිසුම අසළින් බස්රථවලින් බැස යන ගුවන් මගින් මෙන්ම ගුවන් තොටුපලේ සේවය කරන පුද්ගලයින් පාගමනින් මීටර පන්සියයක් පමණ දුරක් යා යුතුව ඇත.

නැවත ලංකාවට පැමිණෙන පුද්ගලයින් මෙන්ම ගුවන්තොටුපල සේවය නිමවා නිවෙස් වලට යන පිරිස් කිලෝමීටරයක් (1) පමණ දුර ගෙවා පා ගමනින් ඇවරිවත්ත ප්‍රදේශයට ප්‍රධාන බස් නැවතුම්පළට පැමිණිය යුතුව තිබේ. එසේ නොමැති නම් ත්‍රීරෝද රථයකින් ගමන් කළ යුතුව ඇත. එම ත්‍රීරෝද රථ රියදුරන් හට නියමිත මිලක් නොමැති අතර තමන්ට හිතෙන මුදලක් අයකරගැනීමට කටයුතු කරන බවද වාර්තා වුණා.

කිසිදු රජයේ උසස් නිලධාරියෙකුගේ අවධානය මේ පිළිබඳව යොමුවී නොමැති හෙයින් ජනතාවට මාස ගණනාවක් මේ පීඩාවට මුහුණ දීමට සිදුව ඇති බව එහි සංචාරයේ නිරත වූ හිරුට බොහෝ දෙනා පැවසූහ.

+


බස් රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු මරුට

(22.06.2023 – 17:58 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම තලගල දෙල්ගහ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් හත් (7) දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසයි.

එයින් එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

විවාහ මංගල්‍යයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් මෙලෙස අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වෙනවා ෴

+++++++++

පිටිපනදී බසය අටපට්ටම් : අයෙක් මරුට : 13 ක් රෝහලේ

(22.06.2023 – lankadeepa.lk)

හෝමාගම තලගල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී සහභාගී වී නැවත එමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම නිසාවෙන් එහි ගමන් ගත් එක් (1) අයෙකු මියගොස් පුද්ගලයන් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි

රියදුරු වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසු මීටර් තිහක (30) පමණ දුරක් ධාවනය වී පෙරළී ඇති බවත් සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පිටිපන මූකලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේනක පුෂ්පකුමාර නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි

රියදුරුගේ ‘බීමත් ධාවනය’ අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

රෝහල් ගතව සිටින පිරිසගේ තත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය

හෝමාගම පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.


භාණ්ඩ සොරාගත් චීවරධාරියෙකු අත්අඩංගුවට

(22.06.2023 – 18:23 +0530 – hirunews.lk/sinhala)

හල්ඔලුව සාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ සුදු යකඩ පාත්තර ඇතුළු භාණ්ඩ රැසක් සොරා ගත් චීවරධාරියකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිවෙන් ගොඩනැඟිල්ලේ තිබූ බෆල් දාහතරක් (14), ඈම්ප් හතරක් (4), ශබ්ද පරිපාලන යන්ත්‍ර තුනක් (3), වයර් රෝල් හතරක් (4), සුදු යකඩ පාත්තර 50 ක් මෙම චීවරධාරියා විසින් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර චීවරධාරියාගේ ඥාතියෙකුගේ නිවසක සහ පූජා භාණ්ඩ වෙළඳ සැලක තිබී සොරාගත් භාණ්ඩ සොයා ගත් බව පොලිසිය පවසයි ෴


සිමෙන්ති, ටයිල්, කුකුළු මස් සහ බේකරි නිෂ්පාදන මිල අඩුකිරීමට ඉදිරි සතිවල ගැසට්

(22.06.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති, ටයිල්, යකඩ, කුකුළු මස් සහ බේකරි නිෂ්පාදන ඇතුළු දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් ඉදිරි සති කිහිපය තුළ අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා ෴


කැකිරාවේ පාසල් සිසුන්ට මත්ගුලි විකිණීමේ ජාවාරමක්

(22.06.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව නගරය හා ඒ අවට පාසල් ළමුන් හා උපකාරක පංති සිසුන් ඉලක්ක කරගනිමින් කලක් තිස්සේ මත්ගුලි අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (2) මත්ගුලි තොගයක් ද සමග කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් විශේෂ බලකා නිලධාරීන්ගෙන් ලත් තොරතුරක් මත කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කැකිරාව නගරයේදී අදාළ වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

කැකිරාව බස් නැවතුම්පල ආශ්‍රිත ව්‍යාපාරික ස්ථානයක අලෙවියට සූදානම් කර තිබියදී මෙම මත්ගුලි තොගයෙන් කොටසක් සොයා ගැනීමට පොලිසියට හැකිව ලැබී තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම් අනුව එලෙස අලෙවිය සදහා බෙදා හැරීමට රැගෙනවිත් තිබූ තවත් මත්ගුලි තොගයක් ව්‍යාපාරික ස්ථානයක රථ ගාලක ගාල්කර තිබූ රථයක තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මත්ගුලි තොගයේ වටිනාකම රුපියල් විසිදහසක් (20,000) පමණ වෙතැයි පොලිසිය පවසනවා.

පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ එම මත්ගුලි තොගය ආයුර්වේද නිෂ්පාදන සමාගමක වෙළද නාමයක් යටතේ නිෂ්පාදනය කර තිබුණු බවත්, අත්අඩංගුවටපත් සැකකරුවන් නිසි බලපත්‍රයක් හෝ වෛද්‍ය නිර්දේශවලින් තොරව එම මත් ගුලි තොගය පාසැල් දරුවන්ට හා උපකාරක පංති සිසුන්ට අලෙවි කර ඇති බව විමර්ශන වලදී හෙලි ව තිබෙනවා.

පාසැල් සිසුන්ට කලක් තිස්සේ මෙලෙස මත්ගුලි අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම මෙහෙයුමේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කැකිරාව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 හා 29 වයස්වල පසුවන්නෝ බව පොලිසිය පවසනවා ෴


කොට්ටාවේ වෙඩි තැබීම වැරැදි ඉලක්කයක් !

(22.06.2023 – 21:00 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ මත්තෙගොඩ නාමල් උයන පදිංචිව සිටි රසායනාගාර සේවකයෙකු වු මිහිරාන් පත්මසිරි නමැති වයස අවුරුදු 33 ක අයෙක්.

ඉකුත් මැයි 15 වැනිදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස ඝාතනය කළ පුද්ගලයාගේ සහෝදරයකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයාද රසායනාගාරයේ සේවය කරන අතර වෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බැවින් මෙලෙස වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී ඇති බවයි පොලිසිය පවසන්නේ ෴

++++++++

වෙඩික්කරුගේ වැරදුණු ඉලක්කය !

(22.06.2023 – 20:42 +0530 – sinhala.adaderana.lk)

කොට්ටාව නගරයට ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී ඊයේ (21) සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනය වූ පුද්ගලයා වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය මැයි මස 15 වනදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විශ්වාස කෙරේ.

එදින ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පාර්ශ්වය එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අයකුගේ සහෝදරයාව ඝාතනය කිරීමට සොයමින් සිට තිබේ.

නමුත් ඔවුන් වැරදීමකින් ඉලක්ක කර ඇත්තේ එම සහෝදරයා සමඟ එකම ආයතනයක සේවය කළ වෙනත් පුද්ගලයෙක්වය.

ඊට හේතුවී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනාම හැඩරුවෙන් සමාන වීම බව පොලීසිය පවසයි.

මේ වෙඩිතැබීම ගනේමුල්ල සංජීව නැමති පාතාල සාමාජිකයාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවට සැකකෙරෙන අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


මුහුණු පොත හරහා ගැහැණු ළමයෙක් ලෙස පෙනී සිට පිරිමි දරුවෙකුට අතවර කළ පුද්ගලයෙක් සොයා විමර්ශන

(22.06.2023 – 22:05 +0530 – sinhala.adaderana.lk)

මුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.

අතවරයට ලක් වූ පිරිමි ළමයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙකු වන බවත් මොහුට ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිට ඇති පුද්ගලයා මුහුණු පොත හරහා කතා බහ කොට පසුව ගම්පහට ගෙන්වා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට පත් ළමයාගේ පියා විසින් ගම්පහ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම ළමයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *