පේරාදෙණිය රෝහලේ සිදුවූ මරණ ගැන අහන්න අධ්‍යක්ෂවරු කොළඹට කැඳවයි

පේරාදෙණිය රෝහලේ සිදුවූ මරණ ගැන අහන්න අධ්‍යක්ෂවරු කොළඹට කැඳවයි


පේරාදෙණිය රෝහලේ සිදුවූ මරණ ගැන අහන්න අධ්‍යක්ෂවරු කොළඹට කැඳවයි

(22.06.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය බන්ඩාරණායක ශික්ෂණ ළමා රෝහලේදී සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයන් අතරතුර දරුවන් දෙදෙනෙකු (2) ඇතුළු 4 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබද සොයා බැලීම සදහා එම රෝහල්වල අධ්‍යක්ෂකවරු මෙන්ම එම ශල්‍යකර්ම සිදුකළ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (22) පෙරවරුවේ කැදවා තිබෙනවා.

එහිදී අදාළ ශල්‍යකර්මයන්ට යොදාගත් ඖෂධ වර්ග සම්බන්ධයෙන් සොයාබැලීමක්ද සිදු කිරීමට නියමිතයි.

පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධය හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ බවට හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ මීට පෙර කරුණු අනාවරණය කළා.

එම දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ නිර්වින්දනය කිරීමේදී ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් තම දරුවන් මියගිය බවට, රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ බවයි.

දරුවන්ට අමතරව තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය බවට තොරතුරු අනාරණය වූයේ නිර්වින්දනයේ දී ඇති වූ ආසාත්මික තත්ත්වයන් හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සදහායි අදාළ රෝහල්වල අධ්‍යක්ෂකවරු සහ වෛද්‍යවරුන් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කැදවා ඇත්තේ.

ඒ පිළිබදව මහනුවර ඊයේ (21) පැවති වැඩසටහනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් පළකළා ෴

++++++++

ගැටලුකාරි නිර්වින්දන ඖෂධ ළමයින්ට නොදුන් බව සෞඛ්‍ය ඇමති පවසයි

(22.06.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති නිර්වින්දන ඖෂධය කිසිදු අවස්ථාවක ළමයින් සදහා භාවිත නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එම ඖෂධය වැඩිහිටියන් සදහා පමණක් භාවිත කරන බවයි ඔහු කියා සිටියේ.

පේරාදෙණිය බණ්ඩාරනායක ශික්ෂණ ළමා රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්ම අතරතුර නිර්වින්දනය කිරීම සදහා ලබාදුන් ඖෂධ හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බවට වාර්තා පළ වුණා.

නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා රට තුළ වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් එම ගැටලු විසඳා ගැනීමට නොහැකි නම් තවදුරටත් අමාත්‍ය ධූරයේ රැඳී සිටීමට තමා සූදානම් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා ෴

+++++++++

පේරාදෙණිය ළමා රෝහලේ දරුවන් මියයාමට හේතුව නිර්වින්දන ඖෂධ නොවේ – රෝහලේ අධ්‍යක්ෂ

(22.06.2023 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දරුවන් දෙදෙනෙකු (2) මියයාමට හේතුව නිර්වින්දන ඖෂධ නොවන බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

අද (22) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ රෝහල මගින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී එම නිර්වින්දන ඖෂධයේ බලපෑමෙන් අනෙකුත් රෝගීන්ට ආසාත්මිකතා හටනොගත් බව හෙළිව ඇති බවයි.

වයස අවුරුදු දෙක හමාරක (2½) පිරිමි ළමයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර වයස අවුරුදු එක හමාරක (1½) අනෙක් දරුවාගේ මරණයට හේතුව ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ පෙනහළු ආසාදනයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවයි.

මේ මරණ සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේදීද අදහස් පළවුණා.

ඒ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ කළ ප්‍රශ්න කිරීමකදීයි.

ප්‍රතිපාදන සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳගත නොහැකි නම් තවදුරටත් තනතුර දැරීමට බලාපොරොත්තු නොවන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී කියා සිටියේ.

එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ මීට පෙර නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කර තිබූ බවත් මියගිය ළමයින් සඳහා භාවිතකළ නිර්වින්දන ඖෂධය තවත් ළමයින් කිහිපදෙනෙකු සඳහාද ලබාදී ඇති බවයි.

ඔවුන්ට එමගින් ආසාත්මිකතාවයක් හටනොගත් බවද ඔහු ප්‍රකාශ කළා.

++++++++++

බාල ඖෂධයෙන් පෙනීම අහිමිව අසරණව සිටින රෝගීන්ගෙන් චෝදනාවක්

(22.06.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

මසකට අධික කාලයක් ගත වුව ද තමන්ට මෙතෙක් පෙනීම ලැබී නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මයන්ට ලක්වූ රෝගීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටයි ඔවුන් චෝදනා කළේ.

පසුගිය අප්‍රේල් පළමු (01) වෙනිදායින් පසු කොළඹ අක්ෂි රෝහලේ සහ නුවරඑළිය රෝහලේ සිදු කළ ශල්‍යකර්මවලින් පසු රෝගීන්ගේ පෙනීම අඩුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ මුල්වරට අනාවරණය කළා.

පසුව අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ද විමර්ෂණයක් පැවැත්වූ අතර එහිදී අනාවරණය වූයේ ශල්‍යකර්ම වලින් පසු භාවිත කළ ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඖෂධයේ විෂබීජ ඇති බවට පර්යේෂණ වලින් අනාවරණය වූ බවයි.

රෝගීන්ගේ පෙනීම දුර්වලවීමත් සමග කොළඹ අක්ෂි රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව වසා දැමූ අතර අදාල ඖෂධය ද භාවිතයෙන් ඉවත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වුණේ.

කෙසේ වෙතත් ශල්‍යකර්මයෙන් පසු නුවරඑළිය – කදපොළ ශාන්ත ජෝන් වත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි එම්. රාජරත්නට වම් ඇසෙහි පෙනීම අහිමිවී තිබෙනවා.

ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අනෙක් ඇසෙහිද මේ වනවිට පෙනීම දුර්වල වී ඇති බවයි.

ඇස් පෙනීම අහිමි වී ඇති වලපනේ – හරස්බැද්ද ප්‍රදේශයේ පදිංචි තිලක් ජයරත්න ඊයේ (21) කොළඹට පැමිණ ඇත්තේ අක්ෂි රෝහලට අද (22) ගොස් වැඩිදුර ප්‍රතිකාර සිදු කර ගැනීම සදහායි ෴


වීසා කාලය ඉක්මවා මෙරට රැදී සිටින්නන්ගේ දඩ ගාස්තු සංශෝධන කෙරේ

(22.06.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

වීසා කාලය ඉක්මවා මෙරට රැදී සිටින පුද්ගලයින් ගෙන් අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ අත්සනින් යුතුව ඊයේ (21) නිකුත් කෙරුණා.

වීසා කාලසීමාව ඉක්මවන පුද්ගලයෙකුගෙන් මීට පෙර එක් (1) දිනකට ඩොලර් 500 ක මුදලක් අය කර තිබූ අතර නව සංශෝධනයට අනුව එම මුදල අයවන්නේ වීසා කාලය ඉක්මවා දින 14 කට පසුවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, විදේශිකයන්ගෙන් ලැබුණු පැමිණිලි වලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව වීසා කාලය ඉක්මවා රැදී සිටින මුල් දින 7 තුල කිසිදු මුදලක් අය නොකරන අතර ඉතිරි දින 7 සඳහා ඩොලර් 250 ක මුදලක් අය කෙරෙනවා ෴


‘මනමේ කුමරු’ට පණ පෙවූ පී.ඒ. සුනිල් තිලකරත්න දිවි සැරියෙන් සමුගනී

(22.06.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ ‘මනමේ කුමාරයා’ගේ චරිතයට පණ පෙවූ පී.ඒ. සුනිල් තිලකරත්න ඊයේ (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙම ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියා දොරොව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්යවරයා ද වෙනවා.

වයස අවුරුදු 52 ක් වන ඔහු මීරිගම, බැද්දෙගෙදර, කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙක්.

ඔහු ‘සිංහබාහු, නරි බෑනා, අසිනි වැස්ස, රූකඩ රාජ්ජේ’ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවකම දස්කම් දැක්වූවෙක්.

එමෙන්ම ඔහු ‘තරණ සීගිරි ඔපෙරාවේ කාශ්‍යප රජුගේ චරිතය’ට ද පණ පෙවූ දක්ෂ ශිල්පියෙක්.

ඔහු දායක වූ වේදිකා නාට්‍ය අමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ ප්‍රංශය ආදි රටවල්වල ද වේදිකාගත කර තිබෙනවා.

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ ද ඔහු සුවිශේෂී දස්කම් දැක්වූවෙක්.

පී.ඒ. සුනිල් තිලකරත්න කුරුණෑගලදී ‘රූකඩ රාජ්ජේ’ වේදිකා නට්‍යයේ නර්තනයක යෙදෙමින් සිටියදී හදිසියේ රෝහාතුර වී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතය හැරගොස් තිබෙන්නේ.

ඔහුගේ දේහය කිතලවලාන බැද්දෙගෙදර නිවෙසේ තැන්පත් කර තිබෙන බවයි පවුලේ ආරංචි මාර්ග පවසන්නේ ෴


බොරැල්ල – කොට්ටාව සහ කොට්ටාව – ගල්කිස්ස පෞද්ගලික බස් වර්ජනය අවසන්

(22.06.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – කොට්ටාව 174 මාර්ගය සහ කොට්ටාව – ගල්කිස්ස 255 මාර්ගවල පෞද්ගලික බස් රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.

මෙම මාර්ගවලට අධි සුඛෝපබෝගී බස් රථයක් එක් කිරීමට විරෝධය පළ කරමින් මොවුන් පෙරේදා (20) සිට මෙම වර්ජනය ආරම්භ කර තිබූණා.

කෙසේ වෙතත් අද (22) උදෑසන වර්ජනයෙන් නියුතු රියදුරන් සමාන්‍ය පරිදි මෙම මාර්ග වල බස් රථ ධාවනය කළ බවයි වාර්තා වන්නේ ෴


විමල් වීරවංශට අධිකරණයෙන් දැඩි අවවාද

(22.06.2023 – 09:46 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු නිකුත් කොට තිබියදී නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට තරයේ අවවාද කොට පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්ත අල්විස් මහතා ඊයේ (21 දා) නියෝග කර තිබෙනවා.

අවසන් වතාවට තම අධිකරණය විසින් ඇප ලබා දෙන නමුත් මින් පසු කුමන හේතුවක් නිසා හෝ එක් දිනක් හෝ නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කරමින් සැකකාර මන්ත්‍රීවරයාට අවවාද කළා.

නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පසුගිය 19 වැනිදා වරෙන්තු නිකුත් කොට තිබුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ෴


බිරිඳට පහරදුන් කොස්තාපල්ට ඇප

(22.06.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳට පහරදුන් පොලිස් කොස්තාපලයෙකු රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කර තිබෙනවා.

පොලිස් කොස්තාපලයාගේ බිරිඳ විසින් අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපලයෙක් බව පොලීසිය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *