කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක

කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක


කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක

(21.06.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූ තරුණයින් 52 දෙනෙකු රැකියා සඳහා පිටත් කර හැරීම වෙනුවෙන් වූ උත්සවයක් ඊයේ (20) පැවැත්වුණේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.

මෙම තරුණ තරුණියන් පිරිස, කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 800 වෙනි කණ්ඩායමයි.

එම උත්සවයෙන් අනතුරුව, මෙම පිරිස කොරියාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබුණේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 470 දරන ගුවන් යානයෙන්. ඒ, ඊයේ රාත්‍රී 08:50 ටයි.

එහෙත්, ගුවන්යානය ප්‍රමාදවීම නිසා මෙම පිරිසට පැය 12 කට ආසන්න කාලයක් මෙරට රැඳී සිටීමට සිදු වුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසුවේ, අද (21) පෙරවරු 08:20 ට පමණ මෙම පිරිස රැගත් යූ එල් 470 දරන ගුවන්යානය කොරියාවේ සියෝල්හි පිහිටි ඉන්චියන් ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය බවයි.

මීට පෙරද මෙවැනි අවස්ථා වාර්තා වූ අතර, මැයි මස 24 වැනිදාත් තරුණයින් 48 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිතව තිබු නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දී තිබුණේ එම යානයට නියමිත පරිදි පියාසර කිරීමට නොහැකි බවයි.

ඒ අනුව, තම රට රැකියා සිහිනය පමාකර ගනිමින් නිවෙස් බලා ආපසු යාමට අදාළ තරුණයින්ට සිදු වුණා.

කැපකිරීම් රැසක් මධ්‍යයේ විදෙස්ගතවීමට ගුවන්තොටුපොළට පැමිණෙන මෙම පිරිස් මෙලෙස අපහසුතාවට පත් කිරීම, කොතරම් සාධාරණද යන්න, ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි සිතා බැලිය යුතු කාරණයක් ෴

+++++++++

පමා වූ ගුවන්යානය ගැන ශ්‍රී ලංකන් සමාගමෙන් නිවේදනයක්

(21.06.2023 – 21:13 +0530 – hirunews.lk/sinhala)

2023 ජූනි 20 දින රාත්‍රී 08:20 ට කොරියාවේ සියෝල් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබූ UL470 දරන ගුවන් යානය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ගුවන් යානය ගුවන්ගත කිරිමට නියමිතව සිටි නියමුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ඒ දින රාත්‍රියේදී හදිසියේ අසනීප වූ අතර, ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ විවිධාකාර වූ රෙගුලාසි හේතුවෙන් 2023 ජූනි 21 දින වනතුරු ඒ වෙනුවට වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට ආයතනයට නොහැකි වූ බවයි.

UL470 දරන ගුවන් යානය මේ ආකාරයට ප්‍රමාද වීම නිසා ඇති වූ අපහසුතාව පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටිනවා.

මෙම ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි පිරිසට මීළඟට පිටත් වන ගුවන් යානයෙන් සියෝල් බලා ගමන් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව පියවර ගනිමින් සිටින බවයි එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ.

+


රාජාංගණයේ සද්ධාරතන හිමිගේ තවත් ගිණුමක් ගැන විමර්ශන

(21.06.2023 – 22:28 +0530 – sinhala.adaderana.lk)

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය ද අද (21) කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වැඩිදුර වාර්තාවක් තුළින් කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉකුත් සතියේ අධිකරණයට වාර්තා කළ රුපියල් කෝටි 6½ තිබු ගිණුමට අමතරව, තවත් රුපියල් කෝටි 10 ක් තිබු ගිණුමක් විමර්ශකයින් විසින් සොයාගත් බවය.

අදාළ ගිණුමට ගෝතමාලාවේ සිට කිසියම් පුද්ගලයෙකු රුපියල් කෝටි 3½ ක් බැර කර ඇති බවත් මෙම මුදල් යොදවන්නේ ආගමික සංහිඳියාවට බාධාවන අන්දමේ ක්‍රියා සිදුකිරීමටද යන්න පිළිබඳ විමර්ශන කළයුතු බවත් විමර්ශන නිලධාරීන් කියා සිටියේය.

කෙසේ වෙතත් සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ එම මුදල ගිණුම්ගත කර ඇත්තේ හිමිනමගේ දායකයෙකු විසින් වන අතර අදාළ මුදලින් මිලියන 60 ක් යොදවා දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවය.

කරුණු සලකාබැලු කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාර හිමිනම සම්බන්ධයෙන් සිදුකිරීමට අපේක්ෂිත ඇප අයැදුම ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිඥවරයාට දැනුම්දී සැකකාර හිමිනම ජුලි මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

++++++++++

+


රහසිගත ජීවිතයක් ගතකළ ප්‍රබල අපරාධකරුවෙක් මුල්වරට එළියට

(21.06.2023 – 22:00 +0530 – sinhala.adaderana.lk)

ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගතකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රසල් ඇලෝසියස් ස්මිත්’ නමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.

‘රසල්’ නමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක අවධානයට ලක් නොවූ පුද්ගලයකු බවද පොලීසිය කියයි.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, ‘රසල්’ නමැත්තාගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවය.

ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවන ‘රත්මලාන කුඩු අංජු’ නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමට පෙර ‘රසල්’ නමැත්තා එම ජාවාරමේ යෙදුණු අයෙක් බවට ද මේ වනවිට අනාවරණය වී ඇත.

එම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ ඉකුත් 19 වනදා මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් නවත්වා එහි සිටි පුද්ගලයෙකු ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පළායෑමට තැත් කිරීමේ සිද්ධියෙන් පසුවය.

එහිදී පළායෑමට තැත් කළ සැකකරු සතුව තිබූ අන්සතු මෝටර් රථයක ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය ඔස්සේ සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී තිබේ.

එදින ගිනිඅවිය සමග අත්අඩංගුවට ගත් හාලිඇල 05 කනුව පදිංචි ‘නලින් සම්පත් පතිරණ’ නමැත්තා ගෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිදුකිරීමට සැලසුම් කරතිබූ ද්විත්ව ඝාතනයක් සහ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ කරගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් ‘නලින් සම්පත්’ නමැත්තා හාලිඇල අධිකරණයට ගිනිතබා විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන බවද පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් රත්මලාන ව්‍යාපාරිකයා මාර්ගයෙන් මුල්ලේරියාව පොලීසියේ අත්අඩංගුවේ පසුවන ‘සම්පත්’ නමැත්තා සහ නාවික හමුදාවෙන් පළා ආ සෙබළෙක් වෙත ගිනිඅවි දෙකක් (2) ඩුබායිහි සැඟව සිටින ‘රසල්’ නමැත්තා එවා තිබේ.

පොලීසිය පැවසුවේ, එහිදී මත්ද්‍රව්‍ය නඩුවක ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටින ‘මැගසින් පාරේ ඩිලා’ හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී තිබු බවය.

එම ගිනිඅවි දෙක (2) ඔවුන් සතුකරන අවස්ථාවේදී රත්මලාන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය වැරදීමකින් සැකකරුවන් වෙතයෑම, ඩුබායිහි සැඟව සිටින ‘රසල්’ගේ තොරතුරු අනාවරණයවීමට ආසන්නම හේතුව බවද පොලීසිය කියයි.

නමුත් ඉකුත් 15 වනදා ‘ඩිලා’ නමැත්තා අධිකරණය වෙත නොයෑම හේතුවෙන් එම ඝාතනය වැළකී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

එම ද්විත්ව ඝාතනය වැළැකීමෙන් අනතුරුව නාවික හමුදාවෙන් පළාආ සෙබළා එක් (1) ගිනිඅවියක් රැගෙන යතුරුපැදියකින් පිටවී ගොස් තිබුණි.

අනතුරුව ‘සම්පත්’ නමැත්තා අනෙක් ගිනිඅවිය රැගෙන මුල්ලේරියාවට පැමිණ ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයකු වන ‘අමිත’ නමැත්තා සමග ත්‍රීරෝද රථයෙන් කොල්ලකෑමක් සඳහා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඩුබායිහි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ‘රසල්’ නමැත්තාගේ මුදල් පරිපාලනය, උන්ඩියල් කටයුතු සිදුකිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කටයුතු සඳහා ආධාර අනුබල දෙන ප්‍රබලම සාමාජිකයා බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.

ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාරදී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ජයසිංහ හා ඒකක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි ෴


පදවිය ජලාශයේ ජලය බලෙන් ලබාගත් ව්‍යාපාරිකයා නීතිය හමුවට

(21.06.2023 – 21:26 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික කුඹුරුයායකට ජලය ලබාගැනීම වෙනුවෙන් පදවිය ජලාශයේ මුරකරුට මත්පැන් පොවා අධිබලැති ජැක් ආධාරයෙක් වාන් දොරටුව විවෘත කරගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට ජුලි 12 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නියෝග කර තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමුකරන්නැයි ද කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලීසියට නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (21) පදවිය සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සියලු සැකකරුවන්ට ලබන ජූලි මස 12 වන දින යළි අධිකරණව හමුවේ පෙනීසිටින ලෙසටද තවදුරටත් නියෝග කෙරුණි.

භූමි ප‍්‍රමාණයෙන් මෙරට විශාලතම ජලාශය ලෙස සැලකෙන පදවිය වැව හරහා කුඹුරු අක්කර 18,000 කට පමණ යල මහ දෙකන්නයටම ජලය සැපයෙයි.

මෙම සිද්ධියට අදාළව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින්නේ ව්‍යාපාරිකයෙකු වන ප‍්‍රධාන සැකකාර මයුර ප‍්‍රදීප් මධුසංඛ සහ උපාලි කුමාරතුංග, කමල් ප‍්‍රියශාන්ත යන සැකකරුවන්ය.

පදවිය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු අනුර ශාන්ත මහතා පදවිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි ෴


වලස්මුල්ලේ වෙඩිතැබීමට හේතුව

(21.06.2023 – 20:55 +0530 – sinhala.adaderana.lk)

වලස්මුල්ල ප්‍රදේශයේදී අද (21) වාර්තාවූ වෙඩිතැබීමේ සිද්ධියට හේතුව හෙළිවී තිබේ.

මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.

වෙඩිතැබීම සිදුව ඇත්තේ වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේදීය. හිටපු පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැක පළ කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වලස්මුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේ ජලනල පද්ධතිය නිවසක් ආසන්නයෙන් කාණු කපා එළීමට විරෝධය පළ කරමින් මෙම වෙඩිතැබීම සිදුවී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් ගම්මානයේ පුද්ගලයන් කිහිප දෙනෙකුට එලෙස වෙඩිතබා ඇත.

වෙඩි වැදීමෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් (3) තුවාල ලබා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා විය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *