ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා

ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා


ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා

(21.06.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විදේශ විනිමය උපයන අමාත්‍යංශයක් බවට පත්වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (21) පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පහසුකම් නිසි කලට සැපයීමට රජය කටයුතු කිරීම හේතුවෙන් මෙවර මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා හෙක්ටයාරයකට පෙරට වඩා වැඩි වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය පිළිබඳ මේ වන විටත් සොයා බලමින් සිටින බව ද පැවසුවා.

පසුගිය සමයේ ගොවිබිමෙන් අරගල බිමට ගොස් සිටි ගොවියා මේ වන විට නැවත ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටින බව ද අමාත්‍යාවරයා පෙන්වා දුන්නා.

රටේ ආහාර පාරිභෝජන අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ සැලසුම් සකස් කර ඇති බවත් ඒවා කඩිනමින් ගොවිබිමේ යථාර්ථයක් බවට පත් කරන බවත් මහින්ද අමරවීර මහතා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

ජනාධිපතිවරයා රට භාරගන්නා අවස්ථාවේදී රටේ තිබුණේ පෝලිම් පමණයි. පොහොර පෝලිම්, ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, පමණයි තිබුණේ. මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට වැඩ බාරගන්න අවස්ථාවේදීත් විශාල අභියෝගයක් තිබුණා. මෙරට ගොවීන්ට පොහොර ලබා දී තිබුණේ නැහැ. එම අභියෝගය භාරගෙන මම පළමුවෙන්ම සිදු කළේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලුම සහන ලබා දීමට කටයුතු කළා. ඒ නිසාම මේ වන විට මහ කන්නය සඳහා සාර්ථක වී අස්වැන්නක් ලැබී තිබෙනවා. යල කන්නයට අවශ්‍ය මඩ පොහොර සහ බණ්ඩි පොහොර මේ වන විටත් ගොවි ජනතාවට ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා රට භාරගන්නා අවස්ථාවේ ගොවියා ගොවි බිමෙන් අරගල බිමට ඇවිත් තිබුණා. දැන් ගොවියා නැවත ගොවිබිමට ගොස් ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා.

ගොවි ජනතාව අරගලයට ඇදදැමීමට විවිධ දේශපාලන නායකයින් කටයුතු කළ බව අපි අමුතුවෙන් කිව යුතු නැහැ. ගොවි ජනතාව ගොවි බිමෙන් ඉවත් කරලා, ජනතාව කුසගින්නෙ තබා , ආණ්ඩු බලය ලබා ගන්න විවිධ දේශපාලන කුමන්ත්‍රණකාරීන් කටයුතු කළා. එම අවස්ථාවට සාර්ථක ලෙස මුහුණදීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකි වුණා.

ජනාධිපතිවරයාගේ කෘෂිකර්මාන්ත නවීකරණ වැඩපිළිවෙළ යටතේ හෙක්ටයාරයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකිවී තිබෙනවා. සමහර ගොවීන් හෙක්ටයාර එකකින් වී කිලෝ එකොළොස් දහසක් (11,000 Kg) පමණ ලබාගෙන තිබෙනවා. ඒ ආකාරයට එළවළු සහ පලතුරු වගාවන් සඳහා ද තාක්ෂණය යෙදවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට සැලසුම් කර තිබෙනවා. මේ යටතේ ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව කෘෂිකර්ම නිෂ්පාදන මගින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විදේශ විනිමය උපයන කෘෂිකර්ම අමාත්‍යංශයක් ඇති කිරීම අපේ සැලසුමයි.

බිත්තර සහ කුකුළු මස් කර්මාන්තය සඳහා සහන ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. බිත්තර ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. විපක්ෂයේ සමහර කණ්ඩායම් මාධ්‍ය ඉදිරියට පැමිණ ජනතාව කුසගින්නේ දුක් විඳින බව පවසමින් ජනතාව නොමඟ යවන්න කටයුතු කරනවා. නමුත් ලංකාව තුළ කුසගින්නේ මැරෙන කිසිම කෙනෙක් නැහැ. ජනාධිපතිතුමා රට භාරගන්න අවස්ථාවේ තිබුණු සහල් මිල හා දැන් තිබෙන සහල් මිල අතර ලොකු වෙනසක් තිබෙනවා. දැන් සුදු කැකුළු කිලෝවක් රුපියල් 125 – රුපියල් 130 ට මිලදී ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉදිරියේ දී පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට සහල් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව ජනතාවට, ගිය වසරට වඩා පහසුවෙන් භාණ්ඩ මිලදී ගත හැකියි.

ඒ වගේම වී මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන බවට අපට දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ‘යල’ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් කර අවසන්.

කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් වන හානිය ද ඉතා විශාලයි. ඒ සම්බන්ධයෙන්ද අප අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය වසරේ පොල්වගාවෙහි ගෙඩි මිලියන අනූ තුනකට අධික ප්‍රමාණයකට රිළවුන්ගෙන් හානි වී තිබෙනවා. නමුත් අද කතා කරන පරිසරවේදීන් රිළා ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක විසඳුමක් හෝ යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර නැහැ. නමුත් ලෝකයේ රටවල සත්ව ගහනය වැඩිවන විට හා එය උවදුරක් බවට පත්වන විට පාලනය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඇතැම් අවස්ථාවල සතුන් ඝාතනය කර තිබෙනවා. එම නිසා අප සියලුදෙනා එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබාගත යුතුයි ෴


දියණිය අපයෝජනය කළ පියා රක්ෂිත බන්ධනාගාරයට

(21.06.2023 – 17:35 +0530 – hirunews.lk/sinhala)

සිය නව (9) හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .

මව නිවසේ නොමැති අවස්ථාවක දී පසුගිය දෙවැනි (02) දා දැරිය අපයෝජනයට ලක්කර ඇති බව ඌරුබොක්ක පොලීසිය පවසයි. අපයෝජනයට ලක්වූ දැරිය ප්‍රතිකාර සඳහා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමට මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙන බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශන ඌරුබොක්ක පොලීසිය විසින් සිදු කරයි ෴


අධිකරණ රෙජිස්ටාර්වරයාගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

(21.06.2023 – 18:03 +0530 – hirunews.lk/sinhala)

හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කල ව්‍යාපාරිකයෙකු නොර්වුඩ් පොලිසිය මගින් ඊයේ (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නොර්වුඩ් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

සැකකරු හැටන් නගරයේ මුල්‍ය සමාගමකින් මුදල් ගෙවිමේ පදනම මත වාහනයක් ලබාගත් පුද්ගලයෙකුට ඇපකරුවෙකු වශයෙන් අත්සන් කර ඇති අතර, වාහනය මිල දී ගත් අය එම වාරික මුදල මුල්‍ය සමාගම වෙත ගෙවිම් පැහැර හැරිම නිසා එම මුල්‍ය සමාගම විසින් වාහනය මිල දි ගත් පුද්ගලයාට සහ ඇපකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබෙනවා.

වාහනට මිල දි ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් නොවු නිසා එම මුදල ඇපකරුගෙන් අය කර ගැනිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

එම නියෝගය අනුව ඇපකරුගේ දේපල තහනම් කිරිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සැකකරුගේ නිවසට ගිය අවස්තාවේ සැකකරු විසින් රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සිය රාජකාරියට බාධා කල බවට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් නොර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නොර්වුඩ් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ ෴


වලස්මුල්ල – යහල්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකුට (3) තුවාලයි

(21.06.2023 – 19:11 +0530 – hirunews.lk/sinhala)

වලස්මුල්ල – යහල්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකුට (3) තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසනවා.

එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ෴


ආහාර සාම්පල පරීක්ෂා කරන රසායන ද්‍රව්‍ය හිඟයක්

(21.06.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ආහාර සාම්පල පරීක්ෂා කරනු ලබන රසායනාගාර තුළ රසායනික ද්‍රව්‍යවල හිඟයක් පැවතීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ මේ හේතුවෙන් පාරිභෝගිකයන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවයි.

පොල්තෙල්, එළඟි තෙල්, සෝයාමීට්, යෝගට් පානය, තේ, සෝස්, මාළු, මස්, මිරිස්, රටකජු, සමපෝෂ, බටර් වැනි ආහාර ද්‍රව්‍ය තුළ පවතින ශරීරයට අහිතකර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට මෙමඟින් බාධා එල්ලවී තිබෙනවා ෴


අපරාධකරුවන්ට ගිනිඅවි ලැබීමේ සුලමුල හෙළිවේ

(21.06.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේදී සහ යුධ හමුදා කඳවුරුවලින් අපරාධකරුවන් අතට පත්වන ගිනිඅවිවලින් දැනට වෙඩි තැබීම් සිදුවන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ගෙවුණු මාස 6 තුළ සිදුකළ වැටලීම්වලින් නීති විරෝධී ලෙස සමාජයේ සැරිසැරූ පිස්තෝල 05 ක් සොයාගෙන ඇති අතර ඒවා ඝාතන සඳහා භාවිත කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඉන් 04 ක්ම ‘හීනටියන මහේෂ්’ නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් බවට ද කරුණු අනාවරණ වී ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළා.

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 43 ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ෴


ලංවිම වෘත්තීය සමිති යෝජනා 03 ක් සම්මත කරගනී

(21.06.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (21) යෝජනා 3 ක් සම්මත කරගනු ලැබුවා.

ඊට අදාළ සමුළුව කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති අතර ඊට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති එක්ව සිටියා.

සම්මත කරගත් පළමු යෝජනාවේ දැක්වෙන්නේ පෞද්ගලීකරණයේ හෝ විකුණා දැමීමට අවකාශ සළසමින් ඉදිරිපත් කර ඇති පනත ඉවත්කර ගතයුතු බවයි.

කෙසේ වෙතත් සියලු දෙනාගේ අදහස් ලබාගෙන සිදුකරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට සහය ලබාදෙන බව එහි දැක්වුණා.

එමෙන්ම වසර 04 කට වැඩි කාලයක් සේවය කරන සේවකයින් ස්ථීර කළ යුතු අතර අර්ථසාධක අරමුදල් මෙන්ම සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් කප්පාදුවකින් තොරව ලබාදිය යුතුයි.

එසේ නොකරන්නේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව මෙහිදී යෝජනා වුණා.

විකාශන අධිකාරි පනත දැඩිව හෙළාදකින බවයි සම්මත කර ගැණුනු තුන්වන යෝජනාවේ දැක්වුණේ ෴


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක්

(21.06.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා.

එම ආයතනය නිවේදනය කළේ මේ වසරේ සමස්ත අදායම රුපියල් බිලියන 17.5 ක් බවයි.

ඒ අනුව, පසුගිය 2021 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදායම 120% වර්ධනයක් පෙන්නුම් කරන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ෴


හඳුනා නොගත් ක්ෂය රෝගීන් 6000 ක් සමාජයේ

(21.06.2023 – 22:00 +0530 – hirunews.lk/sinhala)

ක්ෂය රෝගීන් 14,000 ක් සමාජය තුළ සිටිය යුතු බව ලෝක සෞඛය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇතත් මේ වන විට සොයා ගැනීමට හැකි ඇත්තේ රෝගීන් 8000 ක් පමණක් යැයිද ඉතිරි 6000 ක් පමණ දෙනා සමාජ තුළ සිටිමින් තවත් බොහෝ දෙනෙකුට රෝගය බෝකරමින් සිටින්නේ යැයි ද ක්ෂය රෝග සහ ළය රෝග පිලිබඳ වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ පවසනවා.

මෙම තත්ත්වය අතිශයින්ම භයානක බවත්, එක් ක්ෂය රෝගියෙක් වසරකට නිරෝගි පුද්ගලයින් 10 -15 දෙනෙකුට රෝග කාරක විශබීජය අසාදනය කරන බවද ඇය පවසනවා.

වාර්තා වන ක්ෂය රෝගීන්ගේ 40% ත් 45% ත් අතර ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එයිනුත් වාර්තා වන රෝගීන්ගෙන් හරි අඩක්ම වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් යැයිද ඇය පෙන්වා දෙනවා.

බෝවන රෝගවලින් ශ්‍රී ලංකාවේ වසරකට වැඩිම ප්‍රමාණයක් මියයනුයේ ක්ෂයරෝග හේතුවෙන් යැයිද වාර්ෂිකව වාර්තාවන සෑම ක්ෂයරෝගීන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මේ අනුව මරණයට පත්වෙන බවද විශේඥවරිය වැඩිදුරටත් සඳහන් කරනවා ෴


ගැබ්බර කෙණෙරක් වෙඩි තබා ඝාතනය කරයි

(21.06.2023 – 22:53 +0530 – hirunews.lk/sinhala)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව ඉඩමක ගැබ්බර කෙණෙරකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ ට්‍රැක්ටර් රියදුරෙකු සහ මුරකරුත් අපරාධය කළ තුවක්කුවත් පොලොන්නරුව වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) වයස අවුරුදු 36 ක සහ 39 ක් වන පුද්ගලයින්.

පොලොන්නරුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි පැවසුවේ කෙණෙර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *