අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි


අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි

(21.06.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද (21) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නා.

අදාල දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදු කරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණා ෴


පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල නාහිමියන්ගෙන් මහානායක ස්වාමීන්වහන්සේලාට ලිපියක්

(21.06.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

උතුරු නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සලැස්මක් නිකාය මූලස්ථාන සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ වැදගත් නටඹුන් ඇති තැන්වල පුද්ගලයින් අයිතිය ලබා ගෙන අන්තෝනෝමතික ලෙස කටයුතු කරන බවයි.

මේ හේතුවෙන් ගැටළු ඇති වී තිබෙන බවත් පුද්ගලයින් හිතුමනාපෙට කටයුතු කිරීම හරහා පුරාවස්තු විනාශ වී ඇති බවත් එල්ලාවල හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි ෴


කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 10 දෙනෙකුට තුවාල

(21.06.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – සමන්තුරෛයි ප්‍රදේශයේදී අද (21) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කතරගම පෙරහර නැරඹීමට ගොස් ආපසු මඩලකපුව බලා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

රියදුරට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා ෴


රාජකුමාරිගේ මරණය සම්බන්දයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි

(21.06.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව කියන රාජකුමාරි නැමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (21) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තෙකු කියා සිටියේ වැලිකඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් මියගිය රාජකුමාරි නමැත්තිය ට පහර දෙනු තමන් දුටු බවයි.

දිනක් තමා පිටකොටුව ප්‍රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) පැමිණ තමන්ට මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජකුමාරි සේවය කළ නිවසට රැගෙන ගිය බව සාක්ෂිකරු පැවසුවා.

පසුව රාජකුමාරි නැමැත්තියද කැඳවාගෙන ආ පොලිසිය තම අතේ තිබූ මාංචුවේ අනිත් කොන ඇයගේ අතට දැමූ බවත් සාක්ෂිකරු කියා සිටියා.

මෙසේ රාජකුමාරි රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් නොතිබූ බවත් ඇය හොඳින් ඇවිද පැමිණි බවත් සාක්ෂිකරු සඳහන් කළා.

මෙසේ වාහනයෙන් රැගෙන යන අවස්ථාවේදී “ඔයා නේද මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකන් කලේ” කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙකු රාජකුමාරිට පැවසූ බවත් සාක්ෂිකරු සඳහන් කලා.

පසුව වැලිකඩ පොලීසියට තමන් සහ රාජකුමාරි රැගෙන ආ බවත් එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) තමන්ටත් රාජකුමාරිටත් පහර දුන් බවත් සඳහන් කළ සාක්ෂිකරු ඒ අතරින් එක් පොලිස් නිලධාරියකු “තට්ටේ” සහිත පුද්ගලයෙකු බවත් අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයකු බවත් සාක්ෂිකරු පැවසුවා.

කෙට්ටු උස නිලධාරියකු රබර් බටයකින් මියගොස් සිටින රාජකුමාරිට පහර දෙනු තමන් දුටු බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියා.

පසුව ‘සුධර්මා මැඩම්’ පැමිණි බවත් පහර නොදෙන ලෙස ඇය ඉල්ලා සිටි අතර ප්‍රශ්නය විසඳලා දෙන ලෙස ඇය ඉල්ලා සිටි බවත් සාක්ෂිකරු වැඩිදුර සාක්ෂි දෙමින් සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබුණා ෴


නුදුරේදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

(21.06.2023 – 15:35 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නුදුරේදීම සිය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

ඒ, ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලාපොරොත්තු වෙනස් කරවන වාර්තා සහ ඇතැම් අමාත්‍යවරුන්ගේ කාර්ය සාධනය අසාර්ථක වීම හේතුවෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂ අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණත් එය ප්‍රමාද වීමට එකම හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර ඉල්ලීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෑත කාලීන රැස්වීම්වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍යාංශ ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ කඳවුරෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවසන්නේ පවතින දුෂ්කරතා සහ ආර්ථික අර්බුද මධ්‍යයේ කටයුතු කළ හැකි මන්ත්‍රීවරුන්ට පමණක් අමාත්‍ය ධුර ලබා දෙන බවයි ෴


උද්ධමනය පහළට

(21.06.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය සියයට 22.01 දක්වා අඩු වී තිබෙනවා.

එය අප්‍රේල් මාසයේ සටහන් වූයේ සියයට 33.06 ක් ලෙසයි.

අප්‍රේල් මාසයේ සියයට 27.01 ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ සියයට 15.08 දක්වා අඩුවී තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී සියයට 27.06 දක්වා අඩුවී ඇති අතර අප්‍රේල් මාසයේ එය දැක්වුණේ සියයට 39 ක් ලෙසයි ෴


රන් මිල පහලට

(21.06.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) දිනට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (21) දින රන් මිල මෙන්න :

  • රන් අවුන්ස (Gold Ounce) Rs.594,624
  • කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.20,980
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams) (1 Pawn) Rs.167,800
  • කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.19,240
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams) (1 Pawn) Rs.153,900
  • කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.18,360
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams) (1 Pawn) Rs.146,900

මල්ලිගේ පොලු පහරින් අයියා එලොව යයි

(21.06.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලකදී බාල සහෝදරයාගේ ප්‍රහාරයකට ලක් වූ වැඩිමල් සහෝදරයා මියගොස් තිබෙනබව බදුරලිය පොලිසිය පවසයි.

කලක සිට ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම බහින් බස්වීම ඇති වී ඇති බව පොලිසිය පවසයි. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පනස්නව (59) හැවිරිදි බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇත.

සිය සොයුරාට පහරදුන් 52 හැවිරිදි ආරක්ෂක නිලධාරියා බදුරලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ෴


මුහුදු හක්බෙල්ලන් 3600 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(21.06.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගෙයන් ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ මුහුදු හක්බෙල්ලන් 3600 ක් ගබඩා කර ගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු (2) කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය – අල් මන්නාරම් ප්‍රදේශයේදී මෙම සැකකරුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇති අතර මුහුදු හක් බෙල්ලන් තොගයද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴


ඩුබායි රසල්ගේ තොරතුරු එළියට

(21.06.2023 – 16:44 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරාවට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත වන ප්‍රබලම ජාවාරම්කරුවකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසයට හැකිව තිබෙනවා.

එසේ අනාවරණය කරගැනීමට හැකිව ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් පිස්තෝල අවිය සහිත සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම්වල දී ය.එම පිස්තෝල අවිය ලබා දුන් බව කියන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම පුද්ගලයා දැනට ඩුබායි රාජ්‍යයේ සිටින රසල් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සියලුම ගනුදෙනු කටයුතු මෙහෙය වූ පුද්ගලයා බවට අනාවරණය වී ඇත.

ඩුබායි රාජ්‍යයේ සිටින මෙම රසල් නමැති ජාවාරම්කරු වසර කිහිපයක සිට ගල්කිස්ස රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කොට ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.ඩුබායි රාජ්‍යයේ සිටින රසල් නැමැත්තා මෙම පිස්තෝල අවිය ලංකාවේ සිටින ඔහුගේ ගෝලයාට ලබාදී ඇත්තේ බන්ධනාගාරයේ සිට නිදහස්ව පැමිණි අයකු ඝාතනය කිරීමට බව හෙළි වී ඇත.

මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ වාහන බලපත්‍රයක් පිළිබඳ විමර්ශනය සිදු කර ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ගෝලයා අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.මොරටුව ආර්ථික මධ්‍යස්ථානයේ වසර කිහිපයකට පෙර සිදුවූ වෙඩි තැබීම ද රසල් නමැත්තා විසින් සිදුකර ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමෙම මත්ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පවසයි ෴


ගානියා බැනිස්ටර්ට එරෙහි පූර්ව නඩු විභාගය ජූලි 06 වෙනි දා

(21.06.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 06 වැනිදා පවත්වන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 06 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කලා.

විත්තිකාරිය ගේ සැමියා සහ දරුවන් ස්විස්ටර්ලන්තයේ සිටින හෙයින් ඔවුන් දැක බලා ගැනීම සඳහාත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත් ඇයට විදේශ ගත වීමට අවසර දෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විරුද්ධ වුණා.

එම ඉල්ලීම පිළිබඳ නියෝගය ද ජුලි මස 06 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයාට නඩු පවරා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *