සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් ; බෲනෝට ඇප

සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් ; බෲනෝට ඇප


සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් ; බෲනෝට ඇප

(21.06.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කළේ ඇය සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.

එමෙන්ම, ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (21) නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන ජූලි මස 05 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටි 6.5 ට අමතරව රුපියල් කෝටි 10 ක් ලැබී ඇති බවයි.

එයින් කෝටි 3.5 ක මුදලක් ලැබී ඇත්තේ ගෝතමාලා රාජ්‍යයෙන් බවටද වාර්තා වෙනවා ෴


මුදල් වලට වෙට්ටු දැමූ සැරයන් අත්අඩංගුවට

(21.06.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පැමිණිලි කරුවෙකුට ලැබිය යුතු මුදල් රුපියල් ලක්ෂ එකහමාරක් (1½) සඟවාගෙන සිටි පොලිස් සැරයන්වරයෙකු බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 18 වැනිදා ඇල්ල පොලීසියට මුදල් ආරවුලක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව පැමිණිල්ල විසදීමට දායක වූ පොලිස් සැරයන්වරයා වගඋත්තරකරු විසින් පැමිණිල්ලට ලබාදීමට දුන් රුපියල් ලක්ෂ එකහමාරක (1½) මුදලක් මෙලෙස සඟවාගෙන තිබී ඇත.

වගඋත්තරකරු විසින් කිහිප අවස්ථාවකදී සැරයන්වරයා සම්බන්ධ කර ගත්ත ද එම මුදල් ලබා දීම ඔහු විසින් පැහැර හැර තිබුණි.ඒ අනුව විමර්ශන සිදුකර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත ෴


ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. නිර්දේශ 29% ක් සපුරයි

(21.06.2023 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලින් සියයට 29 ක් ශ්‍රී ලංකාව සපුරා ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම වාර්තාව අනාවරණ කරන්නේ පසුගිය මැයි මස අවසානය වනවිට එම නිර්දේශවලින් රාජ්‍ය ආදායමට සම්බන්ධ ප්‍රධාන කාරණා 03 ක් ඉටු කිරීමට ලංකාව අසමත් වී ඇති බවයි.

එම වාර්තාව නිකුත් කර ඇත්තේ කොළඹ පදනම් වූ ‘තින්ක් ටෑන්ක් වෙරිටේ රිසර්ච්’ නම් පර්යේෂණ ආයතනයක්.

කෙසේ වෙතත්, බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.1 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් රුපියල් බිලියන 650 ක බදු ආදායමක් මේ වසරේ මැයි මස අවසානය වනවිට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇතැයි එම වාර්තාවේ සඳහන්.

මේ වසරේ පළමු කාර්තුවේදී රජයේ සමස්ත බදු ආදායම වූයේ රුපියල් බිලියන 578 ක් පමණයි.

එමෙන්ම, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත්ව තිබුණත්, එය ද මෙතෙක් සිදු කිරීමට සමත් වී නැහැ.

කෙසේ වෙතත්, මැයි මස අග වනවිට මාර්ගගත මූල්‍ය විනිවිදභාවයෙන් යුත් පද්ධතියක් සැකසීමේ කටයුතු ශ්‍රී ලංකාව අර්ධ වශයෙන් සම්පූර්ණ කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙනවා.

මෙම පද්ධතිය මගින් අර්ධ වාර්ෂික පදනමින් සියලු‍ම සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කිරීම් ලබන සියලු‍ම සමාගම්වල ලැයිස්තුවක්, සුඛෝපභෝගී වාහන ආයනයනය සඳහා බදු නිදහස් කිරීම් ලබන පුද්ගලයින් සහ සමාගම් ලැයිස්තුවක් ආදී තොරතුරු ප්‍රකාශයට පත් කළ යුතු බව එහි සඳහන්.

ශ්‍රී ලංකාව ඉටු නොකළ අනෙක් කරුණ ලෙස දක්වා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාකච්ඡාවේදී එකඟ වූ පරිදි නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීමයි ෴


අඩු කළ පාන් වෙළඳපොලේ නැහැ – පාරිභෝගිකයින්ගෙන් චෝදනා

(21.06.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ ද, එම අඩුකළ මිල ගණන්වලට අද (21) දිනයේදී ඇතැම් ප්‍රදේශවල බේකරි නිෂ්පාදන මිලට ගැනීමට නොහැකි වූ බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට බේකරි හිමියන්ට හැකියාව තිබියදීත් මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය දින කිහිපයේදීම ප්‍රශ්න කළ පසුබිමකයි බේකරි නිෂ්පාදනවල මිල ගණන් රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේ.

කෙසේ වෙතත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බේකරි හිමියන් අද (21) සිට අඩු කළ මිල ගණන්වලට නිෂ්පාදන අලෙවිකර තිබුණා.

මේ අතර, අඩුකළ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අලෙවිසැලේ ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේ.

එසේ නොකරන අලෙවිසැල්වලට අද සිට නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශ කළා.

+


සෙන්දිල් තොණ්ඩමන් සහ ෂිම්බේ මට්සුෂිටා හමුව සාර්ථකයි

(21.06.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මියසාකි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂිම්බේ මට්සුෂිටා හමුවී නැඟෙනහිර පළාතේ සහ කඳුකරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මියසාකිගේ දිගුකාලීන මිතුරකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂිම්බේ මටසුෂිතාගේ ආරාධනයකට අනුව නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා ජපාන පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා ඉල්ලා ඇත්තේ ජපානයේ මියසාකි වෙරළ තීරයට යන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති ලෝක මට්ටමේ රළ පහරවල්වලින් එකක් වන ආරුගම්බේ වෙරළ තීරය නැරඹීමට ද ප්‍රවර්ධන පියවර ගන්නා ලෙසයි.

මේ අතර, ආරුගම්බේ වෙරළ තීරය ජාත්‍යන්තර සංචාරකයින් අතර ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවට Shimbei Matshida නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහතික වී තිබෙනවා.

ජපන් සංචාරකයින් සඳහා නැඟෙනහිර පළාතේ සහ කඳුකරයේ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම පිළිබඳව ද ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සාකච්ඡා කර ඇති අතර Shimbei Matshita ද ඔහුගේ සම්පූර්ණ සහයෝගය දීමට පොරොන්දු වී ඇති බව වාර්තා වෙනවා ෴


මිනුවන්ගොඩ වෙඩික්කරු අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තැබූ පුද්ගලයා බවටත් තොරතුරු

(21.06.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ආසන්නයේදී පසුගිය 17 වනදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක සොයිසාට වෙඩි තැබීමේ සිද්ධියට ද සම්බන්ධ බව පොලීසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සදහන් කළේ 46 හැවිරිදි සැකකරු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා (2) ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි.

සැකකරු විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, උණ්ඩ ගැබක්, ජීවන උණ්ඩයක්, හෙරොයින් සහ මුදල් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා ෴


කටුනායක ගුවන්තොටුපලේ දෙවන (2) පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත අරඹයි

(21.06.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ජපාන ගුවන්තොටුපල උපදේශන සමාගමේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන එම ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වැය කරනු ලබන්නේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන මගින්.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජපාන ජයිකා ආයතනය ලබාදුන් ණය මුදල් අත්හිටුවීමත් සමඟ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කරනු ලැබුවා ෴


ප්‍රදේශවාසීන් නොමරා මරණ අබලන් මාර්ගය

(21.06.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

දැඩි ලෙස අබලන්ව ඇති කුණ්ඩසාලේ වෑපතන බුළුවේමුදුන මාර්ගය ගමනාගමන කටයුතු සඳහා පිළිසකර කර දෙන්නැයි ගම්වැසියන් ඉල්ලා සිටිනවා.

පසුගිය සමයේ රජය මගින් විවිධ නම් යොදා ව්‍යාපෘති ක්‍රියාත්මක කළද සිය ගම්මානයේ මාර්ගය සඳහා එම කිසිදු ව්‍යාපෘතියකින් මූල්‍ය දායකත්වයක් නොලැබුණු බවයි ගම්වැසියන් පවසන්නේ.

මේ මහනුවර කුණ්ඩසාලේ වෑපතන බුළුවේමුදුන මාර්ගයයි.

මීට වසර 30 කට පමණ පෙර බස්රථ පවා ධාවනය කෙරුණු මෙම මාර්ගයේ අද වනවිට ත්‍රිරෝද රථයක් හෝ ධාවනය කිරීමට නොහැකි ලෙස අබලන්වී තිබෙනවා.

වසර ගණනාවකින් කිසිදු පිළිසකර කිරීමේ කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන් මාර්ගයට අද අත්ව ඇති ඉරණමයි මේ.

මහනුවර තෙල්දෙණිය මාර්ගයේ ගෝනවල සිට වැටී ඇති මාර්ගය ඔස්සේ ගොස් වෑපතන බුළුවේමුදුන දක්වා වූ මාර්ගයේ කිලෝමීටර 2 ක පමණ කොටස මෙලෙස දැඩි ලෙස අබලන්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රධාන පාසලක් ඇතුළුව ගම්මාන 10 කට වැඩි ප්‍රමාණයක ජනතාවක් නිරන්තරයෙන් ගමනාගමන කටයුතු සඳහා භාවිත කරනු ලබන්නේද මෙම මාර්ගයයි.

පල්ලේකැලේ ආයෝජන කලාපයට සේවක සේවිකාවන් ප්‍රවාහනය මෙම මාර්ගය ඔස්සේ සිදු කෙරෙන අතර දැඩි අබලන් තත්ත්වය හේතුවෙන් අනතුරුද බහුලව සිදුවන බවටයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

පසුගිය සමයේ රජය විසින් විවිධ නම් යොදා ව්‍යාපෘති ක්‍රියාත්මක කළද සිය ගම්මානයේ මාර්ගය සඳහා එම කිසිදු ව්‍යාපෘතියකින් මූල්‍ය දායකත්වයක් නොලැබුණු බවයි ගම්වැසියන් පවසන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *