විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ජනතාව ගෙන් ලබාගන්න කෙටි දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ජනතාව ගෙන් ලබාගන්න කෙටි දුරකථන අංකයක්


විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ජනතාව ගෙන් ලබාගන්න කෙටි දුරකථන අංකයක්

(21.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

විෂ මත්ද්‍රව්‍ය ඇතුලු සුවිශේෂී තොරතුරු ජනතාවගෙන් ලබාගැනීම සඳහා පොලිසිය 1997 කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි සහ උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක නවක වදය පිළිබඳ තොරතුරුද මෙම අංකයට දැනුම්ය හැකියි.

පොලිසිය තුළ ස්ථාපිත විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබීමද විශේෂත්වයක් ෴


හෝමාගම වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක්

(21.06.2023 – 00:29 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – නියඳගල ප්‍රදේශයේ අද (20) රාත්‍රියේ දී නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

හෝමාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා රොහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාස සඳහන් කරන්නේ.

මියගිය තැනැත්තා වයස අවුරුදු 46 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

හෝමාගම පොලිසිය පවසන්නේ වෙඩි තබා පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි ෴


කොස්ගොඩ වෙඩි තැබීමක්

(21.06.2023 – 06:59 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ – හිත්දරුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

අද (21) උදෑසන මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු නම ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ සුජී’ගේ සමීපතමයෙකු වන ‘කොස්ගොඩ රන් මහත්තයා’ නැමැත්තෙක්.

පාතාල කණ්ඩායම් දෙකක් (2) අතර කලක් තිස්සේ පවතින් ගැටුමක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ෴


මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට කොස් කොත්තු

(21.06.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ග්‍රාම නිළධාරී වසම් 05 ක් තුළ සිටින අවුරුදු 05 ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තෝරා කොස්වලින් සකසන ලද කොත්තු හා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක් පසුගිය (18) වැනිදා පවත්වා තිබෙනවා.

අදාළ වැඩසටහන සඳහා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 100 ක් සහ ඔවුන්ගේ මව්පියන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මෙහිදී පැමිණ සිටි සියලුම දෙනාට කොස් කොත්තු සකසන ආකාරය පිළිබඳ දැනුමක්ද ලබාදුන් අතර මෙය නවමු අත්දැකීමක් වූ බවයි ෴


හඟුරන්කෙත කලාපයේ ගුරු හිඟයක්

(21.06.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලය පාසල් 69 ක් සදහා ගුරුවරුන් 190 දෙනකුගේ පුරප්පාඩු පවතින බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලන්ති විජේතුංග සඳහන් කරනවා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන දරුවන්ගේ පාසල් පැමිණීමේ පසුබෑමක් පවතින බවයි.

එයින් බහුතරයක් පාසල් නොයා පෞද්ගලික පංති සඳහා සහාභාගී වන බවත් තවත් පිරිසක් සම්පූර්ණයෙන්ම පාසල් ගමන නවතා නිවසට වී සිටින බවත් අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළා.

ඇය මෙම අදහස් පළ කළේ පසුගිය 19 වැනිදා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ සමීබන්ධීකරණ කමිටුවේ දීයි ෴


සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹේ

(21.06.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ඒ අනුව ප්‍රථම ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ලගා වුණේ අලුයම 4 ටයි.

එයාර් ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි. 262 දරණ මෙම ගුවන් යානයේ මගීන් 110 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු ද සිට ඇති බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අද (21) සිට සෑම සතියකම බදාදා සහ ඉරිදා අලු‍යම 4 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත සීෂේල්ස් රාජ්‍යයේ සිට ගුවන් යානා මෙරටට පැමිණෙනවා ෴


මිනුවන්ගොඩ වෙඩි තැබීමේ සැකකරුවන් එස්ටීඑෆ් අත්අඩංගුවට

(21.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින්විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කප්පම් හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන ‘මහේෂ්’ නැමැත්තා විසින්මෙම වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. ‘මහේෂ්’ නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ සිටින ‘කිරි පුතා’ නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙම කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ දෙකහමාරක (2½) මුදලකට ලබා දී ඇති බවද අනාවරණය වී තිබෙනවා. එම මුදලින් රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් සැකකරුවන් හට එවා ඇති බව ද අනාවරණය වී තිබෙනවා .

අත්අඩංගුවට ගත් ‘කුලියාපිටියේ ශිරන්ත’ නැමැත්තා කාර් රථය පදවා ඇති අතර අනෙක් සැකකරු ගිනි අවිය ප්‍රවාහනය කර කළ බවට අනාවරණය වී තිබෙනවා. වෙඩි තැබීමට යොදා ගත් ටී 56 ගිනි අවිය ඩුබායි රාජ්‍යයේ ම සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් සපයා ඇති අතර එම ගිනි අවිය සහ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ඉදිරියට සිදු කරන සිදුකරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල තුළදී ඝාතනය කිරීමටද මෙම සැකකරුවන්ට ඩුබායි රාජ්‍යයේ සිට උපදෙස් ලැබී තිබූ බවද ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි ෴


කතරගම ආරක්ෂාව තර කෙරේ

(21.06.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන (3) දිනය අදයි.

මේ අතර කතරගම ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40 කට අධික පිරිසක් රාජකාරියට අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

ජූලි 04 වනදා දක්වා පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් කතරගම, තිස්සමහාරාම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

බැතිමතුන් වැව්, ජලාශ, ගංඟා සහ මුහුදු තීර ආශ්‍රිතව දියනෑම සිදුකරන අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ජීවිතාරක්ෂක නිලධාරීන් කටයුතු කරනවා.

එසේම බැතිමතුන්ගේ වාහන සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(21.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම සහ කොස්ගොඩදී පුද්ගල ඝාතන දෙකක් (2) සිදුවී පැය කිහිපයකට පසු කොට්ටාව – ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පෞද්ගලික රසායනාගාරයක සේවය කරමින් සිටි තවත් පුද්ගලයෙකු අද (21) උදෑසන වෙඩි තබා ඝාතනය කෙරුණා. 30 හැවිරිදි ඔහු මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා අද (21) උදෑසන සේවා ස්ථානයට පැමිණ වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මියගිය පුද්ගලයා මීට පෙර ප්‍රධාන පෞද්ගලික රෝහලක සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා ෴


ඇමරිකාවෙන් ඩොලර් මිලියන ගණනක ඖෂධ මෙරටට

(21.06.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් විසිනුයි ඊයේ (20) මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත බාර දෙනු ලැබුවේ.

ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටිස්, දියවැඩියාව හා වේදනානාශක ඇතුලු ඖෂධ වර්ග 32 ක් ඊට ඇතුළත්.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වැටී ඇති අසීරු අවස්ථාවන්හිදී උපකාර කළ සියලුම මිතුරු රටවල්වලට කෘතඥතාව පළ කරන බවයි.

මිතුරු රටක් ලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාවට තව තවත් ආධාර ලබාදීමට ඇමරිකාව සූදානම් බව මෙහිදී අදහස් දැක්වූ ඇමරිකානු තානාපති ජූලි චන්ග් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරටට ලැබෙන ද්‍රව්‍යමය ආධාර රේගුවෙන් නිදහස් කරගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමද ඇය මෙහිදී අවධාරණය කර තිබෙනවා ෴


වරෙන්තුකරුවකු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන් සපා කාලා

(21.06.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අත්තනගල්ල පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු (3) වරෙන්තුකරු විසින් සපා කා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සපා කෑම නිසා පොලිස් සැරයන්වරයකුගේ අතක ඇඟිල්ලක් ද කැඩී ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ ඌරාපොළ බෝපැන්න ප්‍රදේශයේ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ නිවෙසේදීයි.

වරෙන්තුකරු හිටපු හමුදා සෙබළකු බව ද පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිසියේ තිදෙනා සමඟ පොරබදා පොලිස් නිලධාරීන් සපා කෑ බව ද පවසනවා.

පසුව වරෙන්තුකරු මෙල්ල කර ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන අත්තනගල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


ඩ්‍රෝන යැවීමට එපා කී මුරකරු රෝහලේ

(21.06.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ලුණුගම්වෙහෙර ජලාශය අවට ඩ්‍රෝන යානාවක් යැවීමට උත්සාහ දැරූ පුද්ගලයින්ට විරෝධය පෑ ජලාශ මුරකරුට පහරදුන් තරුණයින් හතර (4) දෙනකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. පහර කෑමෙන් තුවාල ලැබූ මුරකරු ලුණුගම්වෙහෙර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි ෴


කොළඹ සහ දෝහා කටාර් ගුවන් ගමන් වැඩි කරයි

(21.06.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

හෙට (22) සිට කටාර් ගුවන් සේවය දෛනිකව කොළඹ සහ දෝහා කටාර් වෙත සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව පහ (5) දක්වා වැඩිකර තිබෙනවා.

එසේම අද (21) සිට සීෂෙල්ස් සහ කොළඹ දක්වා එයාර් සීෂෙල්ස් ගුවන් යානා ගුවන් ගමන් ආරම්භ කරන බවයි ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළේ.

දැනට කටුනායක සහ කටාර් අතර සතියකට ගුවන් මගීන් 21,000 ක් පමණ ගමන් කරනවා ෴


බණ්ඩාරගම පාළු කාමරයක පුපුරණ ද්‍රව්‍ය

(21.06.2023 – 10:13 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ පාළුවට ගිය කාමරයක සඟවා තිබූ ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍යවලට බලපත්‍ර නොතිබූ බවයි.

පුපුරණ ද්‍රව්‍ය අතර ඩෙටනේටර් 50 ක්, ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 800, වෝටර් ජෙල් 6 ක්, සේවා නුල් මීටර් 3 ක් ද තිබුණ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි ගැලනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර බණ්ඩාරගම පොලිසිය වැඩ්දුර විමර්ශන සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *