ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්

ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්


ඉඟිනියාගල ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්

(20.06.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිසුවියන් දෙදෙනාම (2) සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී. අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනා (2) යි.

පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේ පසුගිය 15 වැනිදායි.

අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි.

ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව අතහැර ගොස් තිබීම හේතුවෙන්.

මිත්තණියද රැක බලා ගනිමින් අශානි මෙම නිවසේ ජීවත්ව ඇති අතර, පසුගිය 15 වැනිදා උදෑසන නිවසට පැමිණි පවීෂා ද සමගින් ඇය නිවසින් පිටව ඇත්තේ උපකාරක පංතියට යන බව පවසමින්.

නමුත් මෙලෙස පිටව ගිය සිය දැරියන් නැවත නොපැමිණීමත් සමග පවීෂාගේ මව්පියන් සහ අශානිගේ මිත්තණිය ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම සිසුවියන් නිවසින් පිටත් වූ දිනයේ සහ ඊට පසු දිනයේ දී ඔවුන්ගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ගෙන ඇති අතර, එහිදී පවසා ඇත්තේ, ඔවුන් කොළඹ සිටින බවයි.

ඒ අනුව, අදාළ සිසුවාද පොලිසිය කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, තවමත් නිශ්චිත හේතුවක් අනාවරණ කරගත නොහැකි මෙම සිසුවියන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථානවල සහයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

මෙම සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරනවා.

+


මී උණට සමාන ‘පාංශු’ උණ අවදානමකුත් එයි

(20.06.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මී උණ රෝගය හා සමාන ‘මිලියොයිඩෝසිස්’ හෙවත් ‘පාංශු උණ’ රෝගය දිවයිනේ පළාත් කිහිපයක මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

කොළඹ අද (20) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මහාචාර්ය ඉනෝකා කොරෙයා කියා සිටියේ මෙම රෝගී තත්ත්වය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මෙන්ම දකුණු පළාතෙන් ද වාර්තා වන බවයි.

+


වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් තරුණියන් දෙදෙනෙකු (2) මරුට

(20.06.2023 – 20:34 +0530 – hirunews.lk/sinhala)

රාගම ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයකට ලක්වූ 28 හැවිරිදි තරුණියක් මිය යාම සම්බන්ධයෙන් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වගකිව යුතු බවට අදාළ තරුණියගේ මව්පියන් චෝදනා කරනවා.

මීට පෙර පෞද්ගලික රෝහලකදී සිදුකළ ශල්‍යකර්මයකින් පසු තරුණියක් මියයාම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාටම චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ මියුසියස් විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරියක් ලෙස සේවයේ නිරත වූ අදාළ තරුණිය, 2021 වසරේ නොවැම්බර් මාසයේදී පිත්තාශයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා ඇතුළත් වන්නේ උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ 31 වැනි වාට්ටුවටයි.

එහිදී විශේෂඥ වෛද්‍ය ‘හසංජය ගුණවර්ධන’ ගේ මූලිකත්වයෙන් ඇය ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර, ඉන් අනතුරුව ඇය අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

මාස තුනකින් (3) අනතුරුව තරුණිය, උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ පස්වැනි (5) වාට්ටුවටත්, පසුව රාගම පුනුරුත්ථාපන රෝහලටත් මාරුකර යවා ඇති අතර, ඇයව නැවතත් ඇගේ නිවස වෙත රැගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුවයි.

එහිදී බට ආධාරයෙන් ආහාරපාන ලබාගනිමින් මාස 5 කට ආසන්න කාලයක් එක්තැන්ව සිටීමටයි ඇයට සිදුව ඇත්තේ.

අදාළ තරුණිය ශල්‍ය කර්මය සඳහා නැවතත් පසුගිය පස්වැනිදා (05) උතුරු කොළඹ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට ඇයගේ මව්පියන් පියවර ගන්නේ රෝහලෙන් සිදුකළ දැනුම් දීමක් මතයි.

එම ශල්‍යකර්මය නිමවීමෙන් පසු නිවසට පැමිණෙන ඇයට, ස්වසන අපහසුතාවක් හේතුවෙන් නැවත රාගම ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරෙන අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 18 මෙළොව හැර ගොස් තිබෙනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් චෝදනා කරන්නේ, ශල්‍යකර්මයට ලක් කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මීට පෙර පෞද්ගලික රෝහලක දී ශල්‍ය කර්මයකට ලක් කෙරුණු ජාඇල, දෑලතුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් ඉන් අනතුරුව ඇති වූ රෝගාතුර තත්ත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති මීට පෙර වාර්තා කළා.

එම පෞද්ගලික රෝහලේ දී බුද්ධිකා හර්ෂනීව ශල්‍යකර්මයට ලක්කර තිබුණේ ‘හසංජය ගුණවර්ධන’ නම් පෙර සඳහන් විශේෂඥ වෛද්‍යවරයාමයි.

වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත එම මරණය සිදු වූ බවයි බුද්ධිකාගේ පවුලේ ඥාතීන් චෝදනා කළේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.ඒ. ලියනගේ ප්‍රකාශ කළේ අදාළ මරණ දෙක (2) සම්බන්ධයෙන්ම මේ වනවිට වෙන වෙනම පරික්ෂණ ක්‍රියාත්මක වන බවයි.

+


මහින්ද කහඳගම රිමාන්ඩ්

(20.06.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70 ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළා.

කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70 ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙක (2) කදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරු අද කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා ෴


නව පොලිස්පති පත්කිරීම ලබන සතියේ

(20.06.2023 – 21:42 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා කාලය ලබන (26) වැනිදායින් අවසන් වීමට නියමිත අතර අලුත් පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මීළඟ පොලිස්පති ධුරය සඳහා යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කෙරෙන නිලධාරියා කවුදැයි යන්න තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද සඳහන්.

වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසයි පත් වී ඇත්තේ.

වර්තමාන පොලිස්පතිවරයා එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනි දින වන අතර ඔහු පසුගිය මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක (3) සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කර සිටියේ පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කරතීරණයක් ගන්නා බවයි ෴


ගිනිඅවි නිපදවූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(20.06.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)

යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිපදවූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අද (20) කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් වයස අවුරුදු 41 සහ 21 වන බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු (2) බවයි වාර්තා වන්නේ.

T56 වර්ගයේ ගිනිඅවියක්, අඩි 05 ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් (2) සහ ඩ්‍රිල් එකක් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

මෙහි ප්‍රධාන සැකකරුට අරගල සමයේ කෝටි ගාණක වටිනාකමින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසැලක් ගිනි තැබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ අදාළ සැකකරුවන් දෙදෙනා (2) ඥාතීත්වය මාමා සහ බෑනා බව අනාවරණය වී අති බවයි.

අදාළ පුද්ගලයින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍යි ෴


අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය එලි දක්වයි

(20.06.2023 – 22:29 +0530 – hirunews.lk/sinhala)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 23 ක පිරිසක් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇතැයි වැඩබලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ පවසනවා.

එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම අද (20) මුදල් අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.

මෙම නාමලේඛනය හෙට (21) සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම සිදුකරන බවත්, ඒ අනුව හෙට (21) දින සිට දින 10 ක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.

ප්‍රතිලාභීන් හට රුපියල් බිලියන 208 ක මුදලක් සුභසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද, එම මුදල් ඍජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ඉදිරි ජුලි මාසය තුළ සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *