නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි

නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි


නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ බව කියන මරණවලට පාර්ශව රැසකින් විධිමත් විමර්ශනයක් ඉල්ලයි

(20.06.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේදී දරුවන් දෙදෙනෙකු (2) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පාර්ශව කිහිපයක් අවධාරණය කරනවා.

නිර්වින්දන ඖෂධ හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට මේ වනවිට සමාජයේ සංවාදයක් පවතින අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මෙම මරණ සම්බන්ධයෙන් විමසීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ වුණේ ඔවුන් සාකච්ඡාවල සිටින බවට රෝහල් කාර්ය මණ්ඩලය පැවසීමත් සමඟයි.

කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ගැටළුවට මුල්වී ඇති නිර්වින්දන ඖෂධ දැනට භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ දරු ප්‍රසූතියක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ කාන්තාවක් නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු මියගිය පුවතක්ද වාර්තාවුණා.

එමෙන්ම මැයි මාසයේදී පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී දෙහැවිරිදි (2) පිරිමි දරුවෙකු මියගොස් තිබුණා.

පාදයේ අස්ථියක සැත්කමක් සඳහා රෝහල් ගතකෙරුණු එම දරුවාට ලබාදී තිබුණේ ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධයක් බවටයි වාර්තාවුණේ.

එම දරුවාගේ දෙමව්පියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රෝහල් බලධාරීන්ද ඒ බව තමන් හමුවේ ප්‍රකාශ කර සිටි බවයි.

එමෙන්ම මෙම මාසයේදී ද සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලට ඇතුළත් කෙරුණු දරුවෙකු ද මියගොස් තිබූ අතර, එම දරුවාටද නිර්වින්දන ඖෂධයක් ලබාදී ඇති බවට ප්‍රකාශ වුණා.

එමෙන්ම පසුගිය ජූනි 16 වනදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු තවත් කාන්තාවක් මරණයට පත්ව තිබුණේ ප්‍රමිතියෙන් තොර බවට සැක කෙරෙන නිර්වින්දන ඖෂධයක් ලබාදීම හේතුවෙන්.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේද කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවේදීද කියා සිටියේ එම තත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම රජය වගකිව යුතු බවයි.

අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී නුවරඑළිය මහ රෝහලේ සිදුකළ අක්ෂි ශල්‍යකර්මවලින් පසුව රෝගීන්ට ඇස්වලට දැමීම සඳහා ලබාදුන් ඖෂධයක් විෂවීමෙන් කිහිපදෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවූ පුවතක්ද වාර්තා වුණා.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණේ ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධයක විෂබීජ තිබීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවයි.

එමෙන්ම පසුගිය මාසයේදී කොළඹ ජාතික අක්ෂි රෝහලද දින කිහිපයක් වසා දමා තිබුණේ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසිලොන්’ නම් දියරය භාවිත කිරීමෙන් පසු රෝගීන්ට ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන්.

+


මෙරට වෘත්තිකයන්ට බලපත්‍රයක් හඳුන්වා දීමට පියවර

(20.06.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු වෘත්තිකයන්ට බලපත්‍රයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ වෘත්තිකයන්ට පිළිගැනීමක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

එමඟින් ඔවුන්ට විදේශගත වීමේදී මෙන්ම මෙරටදීද වාසි රැසක් අත්වන බව අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ 55 හැවිරිදි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අද (20) කඳාන ප්‍රදේශයේදී සිය භාරයට ගෙන තිබෙනවා.

පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් මෙම කාන්තාව රුපියල් 26,75,000 ක පමණ මුදලක් මෙලෙස වංචා කර ඇති බවයි එම කාර්යාංශය පැවසුවේ ෴


කැනඩා සිහින පෙන්වූ යුවළ තවදුරටත් රිමාන්ඩ්

(20.06.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala)

කැනඩා රටේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යවන බව කියමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනෙකු (2) තවදුරටත් ලබන ජූලි මස 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිය ගණනකට වඩා වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඊට අදාළ විමර්හන වලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පැමිණිලි ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ආයතනයක නමින් මෙම පුද්ගලයන් පැමිණිලිකරුවන්ගෙන් මෙම මුදල් ලබා ගෙන ඇති බවත් ඔවුන් විදෙස් අධ්‍යාපනය සඳහා යොමු කර නැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් දෙදෙනා (2) දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව ඇති බව කියමින් ඔවුන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පොලිසිය කියා සිටියේ සැකකකරුවන්ට ඇප දුනහොත් මහජන කැළඹීමක් සිදුවිය හැකි බවය.

ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය ෴


රියදුරන්ගෙන් අයකරන දඩ මුදල් ඉහළ දමනවා – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

(20.06.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් රියදුරන්ගෙන් අය කරන දඩ මුදල ඉහළ දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රතිඥා දී තිබේ.

මෙම තීරණයට හේතු වී ඇත්තේ මාර්ග අනතුරු සංඛ්‍යාවේ භයානක වැඩිවීම බව අමාත්‍යවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මාර්ග නීති කඩකිරීම් සඳහා අය කරන දඩ මුදල් ඉහළ නැංවීමේ යෝජනාවක් රජය මේ වන විට සලකා බලමින් සිටින බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රියදුරන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය නිවැරදිව තක්සේරු කිරීම සඳහා අලුතින් සවිකර ඇති උපකරණයක් පරීක්ෂා කිරීම සඳහා වේයන්ගොඩ පෞද්ගලික සමාගමකට අයත් රියදුරු පාසලකට ඔහු ගිය අවස්ථාවේදීය ෴


‘කුඩුසාදු’ වසරක පුනරුත්ථාපනයට

(20.06.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

හෙරොයින් නිදි පෙති සහ මත්පැන් පානය කළ බවට අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ ‘කුඩුසාදු’ වසරක කාලයක් සුදුසු පුනරුත්ථාපන කඳවුරකට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
මෙලෙස නියෝග කරනු ලැබුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘කුඩුසාදු’ වෙකි.

පෙරේදා (19) කොල්ලුපිටිය මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරින් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරිමේදී එම ත්‍රිරෝද රථයේ සිටි සිවුරුකාරයා මත්පැන් පානය කර ඇති බවට හදුනාගැනීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂාවකදී ඒකා සතුව තිබූ පාත්තරයේ හෙරොයින් මිලි ග්රූම් 40 ක් සහ ගංජා මිලි ග්රූම් 200 ක් සොයා ගත් බවත් සැකකාර භික්ෂුව අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරිමෙන් අනතුරුව මත්පැන් නිදිපෙති සහ හෙරොයින් පානය කර ඇති බවට වාර්තා වූ බව සැකකාර ‘කුඩුසාදු’ ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර ‘කුඩුසාදු’ පුනරුත්ථාපනයට යොමු කිරීමට අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එහිදී විත්ති කූඩුවේ සිටි සැකකාර ‘කුඩුසාදු’ ස්වාමීනී මම අසනීපයෙන් ඉන්නේ. මට දඩයක් ගසා නිදහස් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ දඩයක් ගසා සමාජයට ගියහොත් ශාසනයයි සමාජයයි සියල්ල පරිහානියට පත් වන බවය. ශාසනයේ ගෞරවය රකින ලෙස දැඩි සේ සැකකාර ‘කුඩුසාදු’ට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එම ‘කුඩුසාදු’ පුනරුත්ථානයට යාමු කරන ලෙස නියෝග කළේය ෴


නිවාඩුවට ගමේ ගිහින් ගෙවල් පරීක්ෂා කරන්න ගිය සැරයන්වරයෙකු අත්අඩංගුවට

(20.06.2023 – 18:09 +0530 – hirunews.lk/sinhala)

නිවාඩු සිටින විටදී පොලිසියෙන් පවසා නිවසක් පරීක්ෂා කිරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකු ඇතුළු තිදෙනකු (3) බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සැරයනයෙකි. පුද්ගලයින් පිරිසක් පැමිණ පොලිසියෙන් යැයි පවසා බලහත්කාරයෙන් නිවසක් පරීක්ෂා කළ බවට පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බිංගිරිය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


පෙම්වතාට හෙල්මටයක් මිලදී ගන්න ගිය පාසල් දැරිවියට අතවරයක්

(20.06.2023 – 18:15 +0530 – hirunews.lk/sinhala)

තම පෙම්වතාට හෙල්මටයක් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000 ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් අතවර කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින් ඊයේ(19) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

අදාළ තරුණියගේ අතින් ඇයගේ පෙම්වතාගේ හෙල්මටය පසුගිය දිනෙක බිම වැටී කැඩී යාම නිසා අලුතින් හෙල්මටයක් ඔහුට අරන් දීමට ඇය තීරණය කර තිබෙනවා.

පාසල් යන වයසේ පසුවන මෙම තරුණිය අත හෙල්මට් එකක් ගැනීමට තරම් මුදල් නොමැති බැවින් ඇය දන්නා කියන අයගෙන් ණයට මුදල් ඉල්ලා ගැනීමට තීරණය කර ඇති අතර, පසුගිය 18 වෙනිදා කරවිටාගාර සිට කාක්කපල්ලිය දක්වා මාර්ගය දිගේ ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා එකතු කරමින් යන අතරතුර එම මාර්ගය අසල තැඹිලි විකුණමින් සිටි වෙළෙන්දකුගෙන් ද ඇය සිද්ධිය පවසා මුදල් ඉල්ලා තිබෙන බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

තරුණිය තැඹිලි වෙළෙන්දාට සිද්ධිය පවසන අවස්ථාවේ මෙම සැකකාර තරුණයා එම ස්ථානයේ සිට තිබෙනවා.

ඔහු තරුණිය සමග කතාවට වැටි තව කොපමණ මුදලක් අඩු දැයි තරුණියගෙන් විමසා ඇති අතර එම මුදල තමාට ලබා දිය හැකි බව පවසා ඇති අතර, එම මුදල් ලබාදීම සඳහා තමා සමඟ පැමිණෙන ලෙස තරුණියට පවසා ඇති සැකකරු තරුණිය ද කැඳවාගෙන නැවත මැදගම පනිරෙන්ඩාව ප්‍රදේශයට ගොස් පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඇති පාළු නිවසකට රැගෙන ගොස් තරුණියව දූෂණය කර ඇතැයි පොලිසිය පවසනවා.

ඉන් පසු ඇය අත තිබූ රුපියල් 8000 ක මුදල ද පැහැරගෙන අදාළ සැකකරු පලාගොස් තිබෙනවා.

පසුව තරුණිය තම නිවසට ගොස් දෙමාපියන්ට සිද්ධිය පවසා ඔවුන් සමඟ මාදම්පේ පොලීසියට පැමිණ පැමිණිල්ලක් කර ඇති අතර

අදාළ තරුණිය හලාවත බස් නැවතුම්පොලට ගිය අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරු බස් නැවතුම්පපොලේ සිටිනු දැක තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කළ බවයි ෴


දරුවෙකු අපයෝජනය කළ තැපැල් සේවකයාට වැඩ වරදී

(20.06.2023 – 18:28 +0530 – hirunews.lk/sinhala)

නව (9) හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක්කළ තැපැල් සේවකයෙක් දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පිරිමි දරුවා පසුගිය පෙබරවාරි – මාර්තු අතර කාලයේ අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


නවකවදය සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමට කෙටි දුරකථන අංකයක්

(20.06.2023 – 19:16 +0530 – hirunews.lk/sinhala)

විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි සහ උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක නවකවදය පිලිබඳව දැනුම් දීම සදහා පොලිසිය විසින් කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ ඉහත සිදුවීම්වලට අදාල තොරතුරු ‘1997’ යන කෙටි දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *