පලාලි ගුවන් තොටුපලේ මගී පර්යන්තය පුළුල් කෙරේ

පලාලි ගුවන් තොටුපලේ මගී පර්යන්තය පුළුල් කෙරේ


පලාලි ගුවන් තොටුපලේ මගී පර්යන්තය පුළුල් කෙරේ

(20.06.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස පහ තුළ පලාලි ගුවන් තොටුපලේ මගී පර්යන්තය පුළුල් කර මගීන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

එම ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ ඉඩකඩ සීමිත බැවින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකිරීමේදී මගී තදබදයක් පර්යන්තය තුළ ඇතිවන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

එමෙන්ම දැනට පවතින මීටර 2300 ක ධාවන පථයේ මීටර 900 ක් අලුත්වැඩියා කිරීමටත්, එය මීටර 300 කින් දීර්ඝ කිරීමත් සිදුකෙරෙනු ඇති.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් ජනතාවට අපහසුවක් නොවන අයුරින් අත්පත් කරගැනීම සිදුකරන බවද සඳහන්.

එය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 160 ක මුදලක් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමෙන් ලබා දීමට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනුමැතිය ලබා දී තිබෙනවා ෴


විවාහයට අකමැති වූ යුවතියක් සිය දිවි නසාගනී

(20.06.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

නිවසින් ගෙනා විවාහ යෝජනාවට අකමැති වූ තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ විසි තුන් (23) හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තමාට වඩා වයසින් වසර පහළොවක් (15) පමණ වැඩිමහල් වූ පුද්ගලයෙකු දෙමව්පියන් විසින් විවාහ කිරීමට යෝජනා කර තිබේ .එම යෝජනාවට අකමැති වූ හේතුවෙන් සිය දිවි හානි කරගෙන ඇති බව පොලීසිය විමර්ශන කිරීමේදී කිරීමේ දී අනාවරණය වී ඇත ෴


දළඹු විශේෂයක් නිසා වී ගොවියෝ අර්බුදයක

(20.06.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී-කලාපයට අයත් වැලිකන්ද, දිඹුලාන ආදි ගම්මානවල වී වගාවට ව්‍යාප්ත වී ඇති දළඹු හානිය හේතුවෙන් මෙවර යල කන්නයේ වගාව දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව එම ගොවීන් පවසනවා.

එම ප්‍රදේශයේ අක්කර 800 ක පමණ මෙවර වී වගාව ආරම්භ කෙරුණු අතර, වගාවට හානි කරන දළඹු විශේෂය මේ දක්වා හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳව තීරණයකට එළැඹීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴


තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02 කින් දීර්ඝ කෙරේ

(20.06.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02 ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන සඳුදා (26) සිට නිකුත් කරන රියදුරු බලපත්‍රවල මෙය අදාළ බව සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කරමින් පවතින අතර මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


ශ්‍රී ලංකන් තවත් පියවරක් ඉදිරියෙන්

(20.06.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ‘ශ්‍රී ලංකන් ඉංජිනියරින්’ තවත් පුරෝගාමී පියවරක් තබමින්, ‘සීබු පැසිෆික් එයාර්’ ගුවන් සේවයට අයත් Airbus A330 (Trens 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.

මෙය අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවයන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා නඩත්තු අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක්.

වයිඩ් බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා පූර්ණ නඩත්තු කටයුතු සැපයීම වෙනුවෙන් මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය සමඟ අත්වැල් බැඳගත් ප්‍රථම ආසියානු ගුවන් සේවය ‘සීබු පැසිෆික් එයාර්’ ගුවන් සේවයයි.

එමෙන්ම අලුත්වැඩියාවක් සහ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් කෙටි කාලයක් තුළ විශාල ජාත්‍යන්තර ඉල්ලුමක් හා කීර්තියක් දිනාගැනීමට ‘ශ්‍රී ලංකන් ඉංජිනියරින්’ සමත් වී ඇහි බවට මෙය මනා සාක්ෂියක්.

මේ ආකාරයට අලුත්වැඩියා, නඩත්තු සහ පූර්ණ නඩත්තු සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ‘ශ්‍රී ලංකන් ඉංජිනියරින්’ සමාගමේ අමෙරිකානු ඩොලර් ආදායම ද පසුගිය වසර දෙකක (2) කාලය තුළ 35% කින් වර්ධනය වී තිබෙනවා ෴


ඉතාලියෙත් පොසොන් කලාපයක්

(20.06.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ මිලානෝ නගරයේ දී පසුගිය 17 සහ 18 වැනි දිනයන්වල පොසොන් පොහොය නිමිති කරගනිමින් පොසොන් කලාපයක් පවත්වා තිබෙනවා.

අටවිසි බුද්ධ පුජාවක්, පිරිත් සජ්ඣායනාවක්, පොසොන් සල්පිලක් හා බැති ගී සරණියක්ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විහාරස්ථාන දායක සභාව විසින් මහා බත් දන්සැලක් ද සංවිධානය කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මිලානෝ කොන්සල් ජෙනරාල් ඩිලානි වීරකෝන් මෙම පොසොන් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය ක‍ර ඇත්තේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක, මහගම විපුලසිරි නාහිමිපාණන්වන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථාන දායක සභාව විසිනි ෴


ඉපැරණි දාගැබක් හාරා නිධන් සෙවූ තිදෙනෙකු (3) අත්අඩංගුවට

(20.06.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ ඉපැරණි දාගැබක් හාරා එහි නිධන් සොයමින් සිටි දකුණේ පුද්ගලයින් තුන් (3) දෙනෙකු මුලතිව් පොලිසිය විසින් 19 දා අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.

මෙහිදී පොලිසිය විසින් පිරිස පැමිණීමට යොදා ගත් මෝටර් රථයක්ද, නිධානය ගැනීමට භාවිත කළ ස්කෑනර් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ කිපයක්ද, මල් බුලත්, ඖෂධ ඇතුලු පූජා භාණ්ඩ කීපයක්ද භාරයට ගනුලැබ ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව පුදුමාතලන් ඉපැරණි දාගැබ හාරා එහි නිධන් සෙවීමට පැමිණ ආරක්ෂක අංශ වලට කොටු වූ හත් (7) වන කණ්ඩායම මේ කණ්ඩායම වන බවත්, සැකකරුවන් තිදෙනා (3) මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා ෴


අතුරුදන් අයකුගේ මළසිරුරක් කුඹුරකින් හමුවෙයි

(20.06.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මල්ලාවී කාලිනගර් ප්‍රදේශයේ තිබී සොයා ගන්නා ලද අයකුගේ මළසිරුර දැඩි පහර දීමකින් සිදුව ඇති මරණයක් බවට මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.බාලේන්ද්‍රන් ඊයේ (19) තීන්දු කර තිබෙනවා.

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි ඉලයතම්බි රාජ්මෝහන් නමැති 49 හැවිරිදි අයගේ මළසිරුර මේ අන්දමට මල්ලාවී ප්‍රදේශයේ කුඹුරක තිබී ගම්වාසීන් පිරිසකට හමුවීමෙන් පසුව ඔවුන් ඒ පිළිබදව මල්ලාවී පොලිසියට දැණුම් දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එම පුද්ගලයා මුලතිව් තුනුකායී ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසකට ගොස් සිටියදී ඔහු හදිසියේම අතුරුදන් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තුනුකායී පොලිසියට ද පවුලේ උදවිය විසින් පැමිණිලි කොට ඇති බව වාර්තා වෙනවා.

ඔහුගේ මළසිරුර කුඹුරකින් හමු වූයේ එම පැමිණිල්ල දමා දින දෙකකට (2) පසුව වන අතර ඔහුගේ මළසිරුරේ හිසේ දරුණු තුවාල කීපයක් ද තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම මරණය ඝාතනයක් බවට තීන්දු වීමෙන් පසුව එම අපරාධයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මල්ලාවී පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴


අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවත් ගැටුමක්

(20.06.2023 – 16:14 +0530 – hirunews.lk/sinhala)

බහින්බස්වීමක් දුරදිග ගොස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාත්තු සේවිකාවක සහ සේවකයෙකු අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

හත්වන (7) වාට්ටුවේ සේවය කරන ඔවුන් මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි රෝහල් පොලිසිය හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.

මොවුන් සුළු සේවකයන් සඳහා වෙන් කර ඇති කාමරයේදී අද (20) උදෑසන ආහාර ගනිමින් සිටියදී රාජකාරි ප්‍රශ්ණයක් මුල් කරගනිමින් බහින්බස්වීමක් ඇති කරගෙන ඇති අතර එහිදී ගුටිබැට හුවමාරුවක් සිදුව තිබුණා.

මේ අතර ඊයේ (19) එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) අතරද ගැටුමක් හටගත් අතර, එහිදී පහරදීමක් සිදුකළ වෛද්‍යවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


බිත්තරේට විසඳුම් සොයා කුකුළු පැටවු බෙදයි

(20.06.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300 ක් එහිදී බෙදා දී තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4 ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු එහිදී සඳහන් කර තිබෙනවා ෴


ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක්

(20.06.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන (විශ්ව විද්‍යාල,පිරිවෙන්) පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

අඟහරුවාදා දින කර්මාන්තශාලාත්, බදාදා දින ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, බ්‍රහස්පතින්දා දින අනෙකුත් පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා අනෙකුත් රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කරන බව එම නිවේදනයේ සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී යෝජනා කෙරුණු පරිදි මෙම තීරණයන්ට එළැඹ තිබෙනවා.

එසේම, කිසියම් ආයතනයකට නියමිත දිනට පරිබාහිර දිනයක් යොදා ගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට උපදෙස් දී ඇති අතර, මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා නියමිත දිනවලදී සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතු බවත් සඳහන් ෴


කෝවිලේ ප්‍රධාන පූජකගේ භාණ්ඩ සොරාගත් සැකකරු අත්අඩංගුවට

(20.06.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

කෝවිල් පූජකවරයාගේ කාමරයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ සොරකම් කළ පූජක සහායකයා හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ තුනකට (3) අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ සහ මුදල් පූජකවරයාගේ කාමරයේ තිබී සොරාගෙන ඇති බව හැටන් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *