ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහර දුන් සිසුවෙක් රෝහලේ

ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහර දුන් සිසුවෙක් රෝහලේ


ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහර දුන් සිසුවෙක් රෝහලේ

(20.06.2023 – 11:30 +0530 – hirunews.lk/sinhala)

යාපනය චාවාකච්චේරී හින්දු විද්‍යාලයේ සිසුවකුට ගුරුවරයකු විසින් අමානුෂීය අන්දමට පහර දීම නිසා බරපතළ තුවාල ලැබූ එම සිසුවා පාසල් නිල ඇඳුම පිටින්ම ඊයේ (19) චාවාකච්චේරී මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොණ්ඩය කැපීමේ සිද්ධියක් මත ගුරුවරයා විසින් එම ශිෂ්‍යයාට අමානුෂීය ලෙස පහර දී ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා අංශයට ද සිසුවාගේ මවුපියන් විසින් පැමිණිලි කර ඇති බව පොලිසිය පවසනවා.

සිසුවාගේ මවුපියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී ඔහු පහර දුන් ගුරුවරයා සාධාරණීකරණය කරමින් සිසුවාට කිසිදු සාධාරණයක් ඉටු නොකළ බවයි.

චාවාකච්චේරී පොලීසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(20.06.2023 – 11:35 +0530 – hirunews.lk/sinhala)

බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට රු. 10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ ෴


ෆේස්බුක් පෙම්වතා හමුවීමට බාලවයස්කාර දැරියක් සමඟ ගිය තරුණිය අත්අඩංගුවට

(20.06.2023 – 12:12 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් හරහා හඳුනා ගත් පෙම්වතා මුණගැසීමට බාලවයස්කාර දැරියක් සමඟ යාපනයට ගිය තරුණියක් පිළිබඳ තොරතුරු අලවතුගොඩින් වාර්තා වෙනවා.

20 හැවිරිදි වියෙහි පසුවන මෙම තරුණිය ෆේස්බුක් හරහා යාපනයේ තරුණයෙක් සමඟ පෙම් සබඳතාවයක් ගොඩනඟා ගෙන ඇති අතර ඔහු මුණ ගැසීමට තීරණය කොට තිබෙනවා.

මෙවැනි ගමනක් තනිව ‍යෑමට නුසුදුසු බව සිතා මෙම ගමන යෑම සඳහා ඇය සිය අසල්වැසි නිවෙසක සිටින ඇගේ මිතුරියක් හා නැගණියක් වන 15 හැවිරිදි තරුණියක්ද සහභාගී කරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිවෙස්වලට හොර රහසේ මේ දෙදෙනා (2) බස් රථයකින් යාපනය බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී යාපනයේදී මේ දෙදෙනා (2) නගරයේ ඉබාගාතයේ ඇවිදිනවා දුටු ජනතාව මොවුන් දෙදෙනා (2) නුවර බසයකින් නැවතත් නිවෙස් කරා පිටත් කොට ඇති බව සඳහන්.

තරුණියන් දෙදෙනා (2) නිවසේ නොමැති බව දන්වා නිවැසියන් විසින් පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබූ නිසා මේ දෙදෙනා (2) දිනකට පසු නිවෙසට පැමිනීමේදී අලවතුගොඩ පොලීසිය විසින් මෙම තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මෙම තරුණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර 15 හැවිරිදි දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර රෝහල වෙත ඇතුළත් කළ බවයි අලවතුගොඩ පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ ෴


යෝධ ඇළේ සොරොව්ව හොරු කඩයි

(20.06.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රාවස්තිපුර යෝධ ඇළේසොරොව් හයක් (6) කඩා එහි තිබූ තඹ සහ යකඩ සොරා ගෙන තිබෙන බව නාච්චාදූව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් මෙම සොරකම සිදුකර ඇති බව වැඩි දුරටත් එම කාර්යාලයේ නිලධාරීන් අනාවරණය කරයි. සොරොවු කැඩීම පිළිබඳව ඉංජිනේරුවරයෙකු විසින් අනුරාධපුර පොලිසිය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මෙම සොරකමෙන් සිදුවූ අලාභය රුපියල් ලක්ෂ හය (6) කට අධික වන බවද එම කාර්යාලයේ නිලධාරීන් පවසයි ෴


වන අලි ප්‍රහාරවලින් තුනක් (3) මරුට

(20.06.2023 – 12:27 +0530 – hirunews.lk/sinhala)

වන අලි පහරදීම් වලින් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු (3) මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.

නොච්චියාගම පොලිස් බල ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක නිලධාරියකු ඊයේ (19) පාපැදියෙන් ගමන් කරමින් සිටියදී කබල්ලෑපීනු වැව ඉස්මත්තේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ගෝනගංආර ප්‍රදේශයේ ගව පාලනයේ නිරත ව සිටි හැට තුන් (63) හැවිරිදි පුද්ගලයෙකු කරමැට්ට ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව වාර්තා වෙනවා.

නාන්නේරිය පොලිස් බල ප්‍රදේශයේ දී ගොවිතැන් කටයුතුවල නිරතව සිටි 58 හැවිරිදි කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා ෴


සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කැපූ සැමියා

(20.06.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරවුලක් මත බිරිඳගේ පාදය කපා වෙන් කළ සැමියෙක් පිළිබඳව තොරතුරු ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සිය 42 හැවිරිදි බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීමෙන් අනතුරුව ඇයගේ වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා ඇගේ කකුල බද්ද කළ නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම මත වෙන්ව ගිය පාදය බද්ධ කිරීමේ හැකියාවක් නොමැති බවත් ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


රුපියලේ අගය ඉහළට

(20.06.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (20) රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා.

ඊයේ (19) එහි විකිණුම් මිල රුපියල් 315.12 ක් ලෙස දැක්වුණු අතර, අද (20) එය රුපියල් 314.38 ක් ලෙස සටහන් වෙනවා.

ඊයේ (19) එහි ගැණුම් මිල රුපියල් 297.53 ක් ලෙස දැක්වුණු අතර, අද (20) එය රුපියල් 297.28 ක් ලෙස සටහන් වෙනවා ෴


රුසියානුවන්ගේ මුදල් කොල්ලකෑ කොන්දොස්තර අත්අඩංගුවට

(20.06.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජාතික යුවලකගේ ජංගම දුරකථනය හා මුදල් කොල්ල කෑ බස් කොන්දොස්තරයෙකු හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු යුවල හික්කඩුව වනජීවි කාර්යාලය අසල මුහුදු තීරයේ සිය දරුවාද සමඟින් සිටින විට පැමිණි මෙම කොන්දොස්තරයා භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති මෙම සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම ජංගම දුරකථන හා මුදල් සොරකමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලීසිය පොලීසිය විමර්ශන සිදු කරනවා ෴


ෂාෆ්ටර්ගේ මරණයේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් කැඳවන්නැයි අධිකරණයෙන් සී.අයි.ඩී යට නියෝග

(20.06.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමූහ ව්‍යාපාරියේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තා ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීම් යොමු කිරීමට හැකියාව තිබෙන බවත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැදවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළේ ෴


මේ වසරේ සියයට 3% ක ආර්ථික වර්ධනය අභිබවා යා හැකියි – ෂෙහාන් සේමසිංහ

(20.06.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන 3% ක ආර්ථික වර්ධන වේගය අභිබවා යාමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

උද්ධමනය සහ පොලී අනුපාතයන් ද අපේක්ෂිත කාලයට පෙර පහත දැමීමට රජයේ වත්මන් මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සමත් වූ බවට අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශ්‍රවණාගාරයේ ඊයේ (19) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයක් ඉල්ලා නොසිටින මට්ටමේ මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් බවද එහිදී වැඩබලන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා ෴


විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

(20.06.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය අද (20) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ විදේශ ගත වන මෙරට කාන්තා ශ්‍රමිකයින් මියයාම සහ විවිධ හිංසාවන්ට ලක්වීම පිළිබද රජය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවට චෝදනා කරමින් ෴


පොළොන්නරුවේ වී ගොවීන්ට පොහොර බෙදා දීම අරඹයි

(20.06.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට යල කන්නය සඳහා පොහොර බෙදා දීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම කටයුතු සිදුවන්නේ පොළොන්නරුව නව නගරයේ පිහිටි ගොවිජන සේවා කාර්යාලයේදීයි.

පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ ගොවිතැන් කරන ගොවීන්ට මෙහිදී පොහොර සහනාධාරය හිමිවුණා.

කෙසේවෙතත් ගොවීන් පෙන්වා දෙන්නේ නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව සිටින බවයි.

මේ අතර, මින්නේරිය ව්‍යාපාරය යටතේ ගොවිතැන්වල නිරත කවුඩුල්ල එල්.බී. 9 ප්‍රදේශයේ වී වගාව මේ වන විට කහ පැහැ ගැන්වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ, වගාව අරඹා මසකට (1) වැඩි කලක් ඉක්ම ගියත් නිසි කලට යූරියා පොහොර නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි ෴


ආබාධිත සොයුරිය රැකබලා ගන්නා අවිවාහක සොයුරා

(20.06.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

වැඩිහිටියන් බවට පත් වෙද්දි සහෝදර සහෝදරියන් විරසක වන කාලයක ආබාධිත තම නැගණියට රැකවරණය සපයන සොහොයුරෙකු පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

ඒ පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන්.

පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම සොහොයුරා සිය ආබාධිත නැගණිය විල්බැරෝවකින් රැගෙන ගොස් ජීවත් කරවන්නේ විවිධ ප්‍රදේශවල කුලී වැඩ සිදු කරමින් බවයි වාර්තා වන්නේ.

නැගණියගේ දරුවන් ඇයව නොසලකා හැර ඇති අතර වසර ගණනක් පුරා ඇගේ වැඩකටයුතු සිදු කරන්නෙ මෙම සොහොයුරායි.

වැඩිහිටියන් බවට පත් වෙද්දි සහෝදර සහෝදරියන් විරසක වන සමයක ආබාධිත තම නැගණියට රැකවරණය සපයන මේ සොයොයුරා සමස්ත සමාජයටම දෙන්නේ මහඟු පණිවිඩයක් නොවේද?

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *