නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට


නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට

(20.06.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් (2½) වයසැති දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා.

එම දරුවාගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, රෝහලේ වෛද්‍යවරු විසින් ඒ පිළිබඳව තහවුරු කළ බවයි.

පසුගිය මස 23 වැනිදා පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම දරුවා පේරාදෙණිට ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දරුවා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවටයි.

ඒ අනුව ශල්‍යකර්මය සිදු කිරීම සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දී ඇති අතර ඉන් අනතුරුව දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පියා කියා සිටියේ.

මීට පෙර ද අවස්ථා දෙකක (2) දී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූයේ ද නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන්.

දරු ප්‍රසූතියක් සඳහා එම රෝහලට ඇතුළත් වූ කාන්තාවක් සහ තවත් කාන්තාවක් මෙලෙස මියගොස් තිබුණා.

මෙවන් පසුබිමක රෝහල්වලට නිකුත් කරන ඖෂධ නිසි පරිදි නියාමනය කළ යුතු බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා ෴


කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දිනය අදයි

(20.06.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන (2) දිනය අදයි

ඊයේ (19) රාත්‍රියේ පෙරහර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 04 වැනිදායි අවසන් වීමට නියමිතයි.

මේ අතර යාපනයේ සිට සෙල්ලකතරගම දක්වා වාර්ෂිකව සිදු කරන පාද යාත්‍රාව සදහා සහභාගී වන බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැළසීමට නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බැතිමතුන්ට වෛද්‍ය පහසුකම්, ජීවිතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙනු ඇති ෴


විපක්ෂය දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන අර්ථ නිරූපනයක් ඉල්ලයි

(20.06.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

ඊයේ (19) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල කියා සිටියේ ෴


රංගල වතු නිවාසයක කාන්තාවක් ඝාතනය කරලා

(20.06.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

රංගල, ලොලුගමවත්ත ප්‍රදේශයේ වතු නිවාසයක 85 හැවිරිදි කාන්තාවක් සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

සිරුරේ තුවාල සහිතව මිය ගොස් සිටි මෙම කාන්තාවගේ මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.

රංගල පොලිසිය විසින් කරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය අයගේ ඥාති පුත්‍රයාකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බීමත්ව නිවෙසට පැමිණ මෙම පහර දීම සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

වයස අවුරුදු 29 ක් වන සැකකරු රංගල, ලොලුගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (20) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවෙන් මිදී පලා යයි

(20.06.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී අත් විලංගු ගලවා සිර මැදිරියට ඇතුළු කිරීමට සූදානම් වූ විට මෙලෙස පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) පළා ගිය සැකකරු ඇතුළුව තවත් සැකකරුවන් තිදෙනකු (3) භාරව සිට ඇත ෴


පොහොර සහ වවුචර්පත් ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංක දෙකක් (2) හඳුන්වා දෙයි

(20.06.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් (2) හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජන කොමසාරිස්වරයාට 071 764 9054 යන දුරකථන අංකය මගින් දැනුම් දිය හැකියි.

එසේම, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ධම්මික එදිරිසූරිය වෙත 077 349 7565 යන දුරකථන අංකය මගින් පොහොර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා ෴


‘අයිස්’ සමඟ දෙදෙනෙකු කොටු වේ

(20.06.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස්, ඩිමෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ (19) කරන ලද වැටලීමකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 215 යි මිලිගෑම් 100 ක් සමඟ සැකකරුවකු අත්අඩංඟුවට ගෙන තිබෙනවා.

අත්අඩංඟුවට ගත් සැකකරු 29 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (20) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

එමෙන්ම ඊයේ (19) මොරටුව, මුරවත්ත ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 50 ක් ළඟ තබා ගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය අද (20) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ශ්‍රී ලාංකිකයකුට බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව සම්මානයක්

(20.06.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

යාපනයේදී උපත ලබා යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයකු බවට පත් වූ දෙමළ ජාතිකයකුට බ්‍රිතාන්‍යයේදී OBE (Order of the British Empire) නමැති ඉහළම ගෞරව සම්මානය ලැබී තිබෙනවා.

යාපනයේ කෝපායි අච්චුවේලී වල්ලෙයි ප්‍රදේශයේ උපත ලැබූ අරවින්දන් කුමාරස්වාමි යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයකු බවට පත් වීමෙන් පසුව ලන්ඩනයට ගොස් ලන්ඩනයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා දන්ත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස වැඩ භාරගන්නවා.

එමෙන්ම ඔහු බර්මින්හැම් කාන්තා රෝහලේ නාරිවේද, ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම පිළිබඳ උපදේශකවරයා වශයෙන් ද කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත්තේ බ්‍රිතාන්‍ය රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

මහාචාර්ය අරවින්දන් කුමාරස්වාමි බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා කරන ලද පර්යේෂණ තුළින් ඔහු කළ සේවය අගයමින් මහරජතුමා විසින් එම සම්මානය පිරිනමා තිබෙනවා ෴


හොරා පොලිස් ගිරිඋල්ලේ දී පොලිස් අත්අඩංගුවට

(20.06.2023 – 11:08 +0530 – hirunews.lk/sinhala)

පොලීසියෙන් බව පවසමින් නිවෙස් වලට පැමිණ කොල්ලකෑමේ යෙදුණු සැකකරුවෙකු ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි දංකොටුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි. සැකකරු විසින් ගෙවල් බිඳුම් හයක් (6) සහ යතුරුපැදි දෙකක් (2) කොල්ල කෑමේ සිදුවීම් වලට සම්බන්ධ බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලීසිය පවසයි. අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු පොලිසියෙන් බව පවසා නිවෙස් වලට ඇතුළු වී ඇති අතර තවත් විටෙක ලිපිනයක් විමසන මුවාවෙන් ද නිවෙස් වලට ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි. සැකකරු විසින් සොරාගන්නා ලද යතුරුපැදි සහ භාණ්ඩ ගිරිඋල්ල පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අද (20) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


මුතුරාජා ගැන අගමැතිගෙන් තායිලන්තයට කණගාටුව

(20.06.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

රෝගාතුරවී සිටින මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් තමන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුට් චන් ඕචා වෙත කණගාටුව පළකළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

පසුගියදා සිදුකළ තායිලන්ත සංචාරය අතරතුර දී එලෙස කණගාටුව ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතුරාජා හස්තියා යළි සිය රටට රැගෙන යාමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් දෙරටේ රාජතාන්ත්‍රික කටයුතුවලට බලපෑමක් සිදුවී නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ෴


ඉන්දියානු ජාතිකයෙකුට ප්‍රහාරයක්

(20.06.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහර දී ඉන්දීය ජාතිකයෙකුට බරපතළ තුවාල සිදු කළ ලාංකික පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනවා.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා ෴


තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ වෘත්තිකයන් සහ සමාගම් රට හැර යාමේ සුදානමක්

(20.06.2023 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මෑත කාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිපත්ති හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශීක අධික්ෂණ කාරක සභාවේදි හෙළිවී තිබෙනවා.

එමෙන්ම, එම ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම් රාශීයක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර ගෙන යාමට උත්සහකරමින් සිටින බව එහිදී අනාවරණය වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමග එම ක්ෂේත්‍රවල පවතින ගැටලු‍ සහ ගත හැකි විසදුම් පිළිබද පසුගියදා ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදි සාකච්ජා වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *