ප‍්‍රින්සිපල්ට ගැහුවැයි අම්බලන්ගොඩ දේවානන්දය වසා දමයි.. දරුවන් 3500 ක් අනාථයි..

ප‍්‍රින්සිපල්ට ගැහුවැයි අම්බලන්ගොඩ දේවානන්දය වසා දමයි.. දරුවන් 3500 ක් අනාථයි..


ප‍්‍රින්සිපල්ට ගැහුවැයි අම්බලන්ගොඩ දේවානන්දය වසා දමයි.. දරුවන් 3500 ක් අනාථයි..

(20.06.2023 – 13:30 +0530 – lankacnews.com)

අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දීමට විරෝධය දක්වමින් විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් අද (20) දිනයේදී අනුගමනය කළේය. මේ හේතුවෙන් අද (20) දිනයේ විදුහල සාමාන්‍ය පරිදි නොපැවැත්විණි අතර විදුහල අවට පැවතියේ පාළු ස්වභාවයකි.

විදුහලේ 152 ක් වන ගුරුවරුන් අතුරින් අද (20) පාසැල් පැමිණ සිටියේ 05 දෙනෙක් පමණක් වන අතර 26 ක් වන අන්ධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පාසැල් පැමිණ සිටියේ දෙදෙනෙකි (2). විදුහලේ සමස්ථ සිසු සිසුවියන් සංඛ්‍යාව 3500 කි. එයින් අද (20) දිනයේ පාසැල් පැමිණ සිටියේ සිසු සිසුවියන් 200 කටත් අඩු පිරිසකි. ඔවුන්ද වට්ස්ඇප් පවිවුඩ මාර්ග ඔස්සේ පෙ.ව. 08:00 වන විට දෙමාපියන්ට දන්වා ආපසු නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිබුණි.

මෙයට අමතරව අද (20) පෙරවරුවේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණ පරීක්ෂණයක් පවත්වන ලද බවද දේවානන්ද විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

විදුහල්පති ජනක පේදුරුහේවා මහතාට විදුහල්පති නිල කාමරය තුලදී ඊයේ (19) පෙරවරුවේ විද්‍යාලයීය සිසුවෙකුගේ පියෙකු විසින් පහර දුන් බව කියන සිද්ධියට විරෝධය දක්වා විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියා මාර්ගය ගෙන තිබුණි. විදුහල තුල තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් විදුහල තුල තමන්ගේ ආරක්ෂාව සලසන තෙක් වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

පහර කෑමට ලක් වූ විදුහල්පති ජනක පේදරුහේවා මහතා මේ වන විට බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. විදුහල්පතිවරයාගේ මුහුණේ හා බෙල්ලේ තැලීම් තුවාල තිබෙන බවද බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.

විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටළුවක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සැකකරුගේ පුතා විදුහලේ බැට්මින්ටන් හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් දෙකේම (2) නිරතව සිටින බවත් ආර්ථික හා සෞඛ්‍යය හේතුවක් මත බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල තරගාවලියක් අතහැර දැමීමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් ආරවුල නිර්මාණය වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවතිවයි.

~ ජයකාන්ත ලියනගේ

+++++++++

+

+


කුරුණෑගල පස්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

(20.06.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ගින්න ඇති වූ අවස්ථාවේ ඉන් බේරීමට එහි සිටි පුද්ගලයෙකු තෙවන මහලින් බිමට පැන ඇති අතර ඔහු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තොග භාණ්ඩ ව්‍යාපාරික ආයතනයක් මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවටයි සැක කෙරෙන්නේ.

ගින්නෙන් බේරීමට තෙවන මහලින් බිමට පැන්න පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කරයි.

++++++

+

+


ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටී 5 ක් රෝහලේ

(20.06.2023 – 06:44 +0530 – hirunews.lk/sinhala)

නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේදී අද (20) උදෑසන ඉන්ධන බවුසරයක් යුද හමුදා ජීප් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් යුද හමුදා නිලධාරීන් පස් (5) දෙනකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ හමුදා නිලධාරීන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිසිය පවසනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹුව පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා ෴


මොළයේ උණ වළක්වන එන්නතෙහි හිඟයක්

(20.06.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

‘මෙනින්ජයිටිස්’ හෙවත් ‘මොළයේ උණ’ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර සිටිනවා.

මෙම මොළයේ රෝගය පැතිරී යන රටවල සංචාරය හා අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින්ට වෛද්‍ය පරීක්ෂන ආයතනයේ එන්නත් මධ්‍යස්ථනාය මඟින් මෙම එන්නත ලබා දීම සිදු කරන බවද එම සංගමයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කර සිටියා.

එමෙන් ම මෙම රෝගය පැතිරී ඇති රටවල සිටින පුද්ගලයින් මෙරටට පැමිණියහොත් විශාල ගැටලුවක් නිර්මාණය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන් ම මෙම එන්නත පුද්ගලික අශයෙන් ලබා ගැනීමට හැකියාවක් තිබුණද ඇතැම් ස්ථානවල මෙය අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබීම නිසා ගැටලු නිර්මාණය වීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

(20.06.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට පත්වතිබෙනවා.

ඊයේ (19) දහවල් කාලයේදී රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි දික්පිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රඹුක්කන නගරයේ වෙළෙඳසැලක් වෙත ගොස් රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීයා ලෙස පෙනී සිටිමින් එම වෙළෙඳ සැලෙන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී වෙළෙඳසැල් සේවකයන් විසින් ඔහු අල්ලාගෙන පොලිස් නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

සැකකරු අද (20) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බවයි වාර්තා වෙන්නේ ෴


මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් සොයා අගෝස්තු 01 වනදා සිට විශේෂ වැඩපිළිවෙලක්

(20.06.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැටලිමේ ක්‍රියාවලිය එළඹෙන අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් වන අතර දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මත්පැන් පානය කර රිය පැදවීමයි.

මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් නොතිබුණු අතර ඒ අනුව මත්පැන් භාවිතා කරන රියැදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇති බව සඳහන්.

මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස වැටලීම් පසුගිය 12 වනදා සිට ආරම්භ කරනු ලැබූ බවද සඳහන් ෴


තහනම් නියෝගයක් කඩ කළ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අනුරපුර මහාධිකරණ විනිසුරු පියවර ගනී

(20.06.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකුගේ ස්ථාහ මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් කඩ කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධව අනු‍රාධපුර මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර ඊයේ (19) විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම ස්ථාන මාරුව අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩ කර ඇති බව තහවුරු වුව හොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි ෴


පොලිසියට අගනා සේවයක් කළ බොනී අවසන් ගමන් යයි

(20.06.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල පොලිස්නිල සුනඛ අංශයට අනුයුක්තව සේවය කළ ‘නිල සුනඛ 1265 බොනී’ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

වසර අටක පමණ කාලයක් නිළ සුනඛ අංශයයේ සේවය කළ බොනී පුපුරන ද්‍රව්‍ය සෙවීමේ මනා පුහුණුවක් ලබා සිටි බව පොලිසිය පවසයි. මන්නාරම, අනුරාධපුර, යාපනය ප්‍රදේශවල රාජකාරි කර ඇති බොනී පුපුරන ද්‍රව්‍ය සෙවීමේදී දස්කම් දක්වා තිබෙන බව වාර්තා වෙනවා.

බොනීගේ අවසන් කටයුතු දඹුල්ල පොලිස් භූමියේ දී පොලිස් ගෞරව සහිතව සිදු කර ඇත ෴


මුහුණුපොතෙන් හඳුනාගත් අනියම් සැමියාට සිය ගැබිනි බිරිඳ භාර දුන් සැමියා

(20.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

තම ගැබිනි බිරිඳ මුහුණු පොතෙන් හඳුනාගත් ඇගේ අනියම් සැමියාට තම ගැබිනි බිරිඳ ලබා දුන් සැමි‍යෙකු පිළිබඳව කුරුණෑගල තණමල්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

35 හැවිරිදි මෙම බිරිඳ, මුහුණ පොතේ සිටි පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගෙන තිබෙනවා.

පසුව එම අනියම් සැමියාද නිවසට ගෙන්වා ගෙන මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියා සහ අනියම් සැමියා සමඟ කලක් සුහදව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන් අනතුරුව බිරිඳ ගැබ් ගැනීමෙන් පසුව අනියම් සැමියා සමඟ එක්වී තමාට නිවසින් පිටවයන ලෙස පවසා බිරිඳ විසින් නිතර රණ්ඩු සරුවල් කළ බවයි පැමිණිලිකාර සැමියා පොලීසිය හමුවේ පවසා සිටියේ.

පැමිණිල්ලෙන් අනතුරුව මොවුන් තිදෙනාම පොලීසියට ගෙන්වා ඇති අතර එහිදී බිරිඳ පවසා සිටියේ තව දුරටත් නීත්‍යානුකූල සැමියා සමඟ ජීවත්විය නොහැකි බවයි.

ඉන් අනතුරුව නීත්‍යානුකූල සැමියා විසින් සිය බිරිඳ අනියම් සැමියා වෙත භාර දුන් අතර සිය 10 හැවිරිදි දරුවාද බිරිඳ විසින් ඉල්ලා සිටි අතර නීත්‍යානුකූල සැමියා සිය දරුවාද ලබා දුන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *