සියලුම විදුලි සේවකයින් අනිද්දා (21) කොළඹට

සියලුම විදුලි සේවකයින් අනිද්දා (21) කොළඹට


සියලුම විදුලි සේවකයින් අනිද්දා (21) කොළඹට

(19.06.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (21) සිදු කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විකිණීමේ සූදානමට විරෝධය පළ කරමින් සියලුම සේවකයික් අනිද්දා (21) කොළඹට කැඳවීමටයි වෘත්තීය සමිති සැලසුම් කර ඇත්තේ.

එදිනට සියලු වැඩබිම්වල කටයුතු අත්හිටුවා ඊට සහය පළ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට තම පූර්ණ සහය ලබාදෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂී විදුලි ගාස්තු සහනයක් ලබා දීමට සැළසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

අද (19) නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴


වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255 ක්

(19.06.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම ඊයේ (18) කොළොන්නාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 34 ක් වාර්තා වී ඇති බවයි කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

මේ අතර දළදා මාලිගාවේ කසළ රැගෙන යාම සඳහා පැමිණි කසළ ලොරියක තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන හිස් උණ්ඩ කොපු 31 ක් සොයාගැනීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

හමුදා කදවුරක තිබූ මෙම හිස් උණ්ඩ කොපු ලබාගෙන ලොරියෙහි සඟවාගෙන ඇත්තේ යකඩ සඳහා අලෙවි කිරීමේ අරමුණින් බවයි එම ලොරියේ රියදුරු සහ රිය සහයකයා විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ ෴


අරගලයට පෙර සංවිධාන 08 කට ලැබුණු ඩොලර් මිලියන 08

(19.06.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

අරගලයට සමගාමීව පසුගිය වසරේ ජුලි මස 25 වනදා කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළ බවට රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් ඇතුළු 09 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවද අද කැඳවනු ලැබුවා.

එය වැඩිදුර විභාගය ලබන මස 09 වනදා දක්වා කල් තැබීමටයි කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ.

මේ අතර අරගලකරුවන්ට මුදල් ආධාර ලබාදුන් විදේශීය සංවිධානයක් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනතට අනුව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය’ අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම පැමිණිල්ලෙන් ඔවුන් සඳහන් කර ඇත්තේ අරගලයට පෙර සංවිධාන 08 කට ලැබුණු ඩොලර් මිලියන 08 ගැන විමර්ශනයක් සිදුකරන ලෙසයි ෴

++++++++

දමිතා, රැට්ටා ඇතුළු නව (9) දෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුව විභාගයට ගැනේ

(19.06.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ජූලි මස 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ උද්ඝෝෂණයක් සිදුකළ දමිතා අබේරත්න, ජෝසප් ස්ටාලින්, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු නව (9) දෙනෙකුට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය ගොනුකළ නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේදී අද (19) විභාගයට ගැනුණා.

විත්තිකරුවන් 06 දෙනෙකු විවෘත අධිකරණයේ පෙනීසිටි අතර ජෝසප් ස්ටාලින් ශල්‍යකර්මයක් හේතුවෙන් සහ ජගත් මනුවර්ණ විදෙස්ගතවීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටියේ නැහැ.

නඩුවට අදාළ සිව්වන (4) විත්තිකරු වන ධම්මික නමැති පුද්ගලයෙකු අධිකරණය මගහැරීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා.

+


ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 කට නවීණ පරිගණක

(19.06.2023 – 21:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු ගාල්ල දිස්ත්‍රික් පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණියා.

ශ්‍රී ලංකා රජය නියම කරන රාමුවට අනුකූලව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පෙළගස්වමින්, සටහන් හුවමාරුව ව්‍යාපෘතිය තවදුරටත් විධිමත් කර කඩිනම් කරනු ඇති බවත් ඉන්දීය රජයේ ප්‍රධාන ආධාර හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය, අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පාසල්වලට යන සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු බවත් මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දීය රජය කරන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සමස්ත සංවර්ධන ආධාර දැනට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හෙවත් ඩොලර් කෝටි 500 ක් පමණ වන අතර ඩොලර් මිලියන 600 කට ආසන්න ප්‍රදානයන් එයට ඇතුළත් බවත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ප්‍රධාන ව්‍යාපෘති 65 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් කර ඇති බවත් ප්‍රධාන ව්‍යාපෘති 20 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතින බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යලය සඳහන් කරනවා.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රධාන ව්‍යාපෘති අතර වනවා ෴


දියණියට සිදු වූ හදිය අසා මව්පියෝ පොලිසියේදී වහ බොයි

(19.06.2023 – 21:46 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ නගරයේ තනිව, අනාරක්ෂිතව ඇවිද යමින් සිටි දැරියක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් නිලධාරීන් ඇයව ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට රැගෙන ගොස් තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇය වැලිමඩ, පුහුල්පොළ ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් බවයි.

අනතුරුව දැරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණා.

වෛද්‍ය වාර්තාව අනුව මෙම 12 හැවිරිදි දැරිය අතවරයට ලක්ව ඇති බවට තහවුරු වී ඇති අතර, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඇගේ 42 හැවිරිදි පියා සහ 38 හැවිරිදි මව වැලිමඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත කැඳවා තිබෙනවා.

සිය දියණිය අතවරයට ලක්ව ඇති බව මව්පියන් දැනගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

දියණිය තමන්ට අවනත නොවන බවත්, දැන් තමන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් එහිදී මව්පිය යුවළ පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

අනතුරුව පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර එම ස්ථානයෙන් පිටතට පැමිණ ඇති ඇගේ පියා සහ මව කිසියම් ද්‍රව්‍යයක් පානය කර තිබෙනවා.

මෙම මව්පියන් දෙදෙනා (2) පොලිසියට එන අවස්ථාවේදීම එම ද්‍රව්‍යයද රැගෙනවිත් ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මව සහ පියා කඩිනමින් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔවුන් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.

අතවරයට පත් දැරිය වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කරන ලෙසට නියෝග කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ, අතවරයට පත් දැරියගෙන් ලද තොරතුරු මත වැලිමඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

+


පවුලේ ආරවුලක් දුරදිග ගොස් මරණයක්

(19.06.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

බීමත් පුද්ගලයෙකු සිය මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගෙන තිබූ අතර ඔහු ඔවුන් තිදෙනාටම (3) පහරදෙන බවට බලංගොඩ පොලිසිය වෙත තොරතුරු වාර්තා වී තිබුණා.

බලංගොඩ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවිටත් වැඩිමහල් සහෝදරයා බරපතළ තුවාල ලබා සිටි බැවින් ඔහුව බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණු නමුත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

මෙලෙස මිය ගියේ 57 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


විෂ මත්පැන් නිෂ්පාදනය නිසා රජයේ බදු අදායම පහළට

(19.06.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

විෂ මත්පැන් නිෂ්පාදනය හා භාවිතය ඉහළ යෑමෙන් රජයේ බදු අදායම පහළ වැටි ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් එවැනි ස්ථාන සොයා සිදුකරන වැටලීම් වැඩි කළ යුතු බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ රත්නපුර නගරය ආශ්‍රිතව පවත්වාගෙන ගිය විෂ මත්පැන් ස්කාගාරයක් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබුවා.

එහිදී ගෝඩා බැරල් විස්සක් (20), විෂ මත්පැන් බෝතල් පනහක් (50) ඇතුළු උපකරණ තොගයක් හා සැකකරුවන් පස් (5) දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *