QR ගැටලු විසඳන්න තවත් පැය කිහිපයක්
(18.03.2026 – hirunews.lk)
QR ක්‍රමවේදයේ හටගෙන ඇති තාක්ෂණික දෝෂ ඉදිරි පැය කිහිපය තුළ සම්පූර්ණයෙන් විසඳා අවසන් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.
එමෙන්ම හෙට සිට QR කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ‘හිරු ප්‍රවෘත්ති’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් QR කේතය ආශ්‍රිතව හටගෙන ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව අදත් පත්ව තිබුණේ දැඩි අපහසුතාවකටයි.
එමෙන්ම QR කේතය ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක නොවීමෙන් ද ගැටලු වාර්තා වුණා ෴
+++
QR එකෙන් තෙල් ගහපු නැති අයට ඔත්තේ ඉරට්ටේ නැතිවම හෙට (19) ඉඩක්
(18.03.2026 – hirunews.lk)
QR කේතයට මෙතෙක් එක් වතාවක් (1) හෝ ඉන්ධන ලබා නොගත් වාහනවලට හෙට (19) දිනයේ ඔත්තේ, ඉරට්ටේ භේදයකින් තොරව තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසා සිටියේ වාහන නොවන අංශවලට තෙල් ලබාදීමට වෙනම QR ක්‍රමවේදයක් සකසන බවයි.
පවතින දිගු පෝලිම් පාලනය කිරීම සඳහා හෙට (19) සිට ඔත්තේ, ඉරට්ටේ ක්‍රමය හඳුන්වාදීමට දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
ඒ අනුව ඉන්ධන සැපයීම සිදු කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුවයි.
එම අවසන් අංකය ඔත්තේ ඉලක්කමක් නම් මාසයේ ඔත්තේ දිනයන් වලත්, අවසන් අංකය 0 හෝ ඉරට්ටේ ඉලක්කමක් නම් මාසයේ ඉරට්ටේ දිනවලදීත් ඉන්ධන ලබා ගත හැකියි.
ඒ අනුව ඔබේ වාහනයේ අංක තහඩුවේ අවසන් ඉලක්කම 1, 3, 5, 7, 9 යන ඔත්තේ ඉලක්කමක් නම් මාසයේ ඔත්තේ දිනවලදී ඉන්ධන ලබාගත හැකියි.
අංක තහඩුවේ අවසන් ඉලක්කම 0, 2, 4, 6, 8 යන ඉරට්ටේ ඉලක්කමක් නම් ඉරට්ටේ දිනයන්හි ඉන්ධන ලබාගැනීමට හැකි වනවා.
අංක තහඩු ලැබී නොමැති වාහන හිමියන් ඉන්ධන ලබාගැනීමේදී සිදුකළ යුතු කරුණු සම්බන්ධයෙන් අද (18) දැනුවත් කිරීමක් සිදුකෙරුණා.
ඒ අනුව අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී ආදායම් බලපත්‍රය, ලියාපදිංචි සහතිකය, රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත්කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකළ අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹ තිබීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴
+++
නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග
(18.03.2026 – hirunews.lk)
ඉන්ධන නිකුත් කිරීමේදී නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා 011 210 6767 , 011 729 6130 යන විශේෂ දුරකථන අංක හඳුනවා දී තිබෙනවා.
එම අංක වෙත අදාල තොරතුරු ලබාදෙන ලෙසයි මහජනතාවගෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා සිටින්නේ ෴
+++
ඉන්ධන බලපත්‍රය (Fuel Pass) සඳහා වාහන ලියාපදිංචි කිරීමේ සහාය දැන් WhatsApp ඔස්සේ
(18.03.2026 – hirunews.lk)
රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය සහාය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
National Fuel Pass => https://fuelpass.gov.lk/
ඔබ අනුගමනය කළ යුතු පියවර පහතින් :
076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය (Vehicle Number) ටයිප් කර යොමුකරන්න. (වාහන අංකය ඡායාරූපයක් ලෙස නොඑවිය යුතු බව සලකන්න)
ඒ සමඟ පහත සඳහන් ලේඛනවල පැහැදිලි ඡායාරූප එම අංකයටම යොමු කරන්න
- ජාතික හැඳුනුම්පත (NIC) / රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.
- වලංගු ආදායම් බලපත්‍රය (Vehicle License).
- වාහන ලියාපදිංචි සහතිකය (CR).
ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනුයේ වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණි.
එහිදී ඉදිරිපත් කරන හැඳුනුම්පත් අංකය, වාහන ලියාපදිංචි සහතිකයේ (CR) සඳහන් හිමිකරුගේ අංකය සමඟ අනිවාර්යයෙන්ම සැසඳිය යුතුය.
ඔබ විසින් ලබාදෙන සියලුම පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව ආරක්ෂා කරනු ලැබේ.
මෙම දත්ත රැස් කරනුයේ තොරතුරු සත්‍යාපනය කිරීමේ (Validation) අරමුණින් පමණක් වන අතර, සත්‍යාපනය අවසන් වූ පසු වාහන අංකය හැර අනෙකුත් සියලුම පෞද්ගලික දත්ත පද්ධතියෙන් ආරක්ෂිතව ඉවත් කරනු ලැබේ ෴
+++
සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ට ඉන්ධන ලබාගැනීමට වෙනම QR ක්‍රමවේදයක්
(18.03.2026 – hirunews.lk)
ඉන්ධන අර්බුදය හමුවේ සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවන්නන් වෙනුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා විශේෂ QR ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටින එම ක්‍ෂේත්‍රයේ නිරතවූවන්ට ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිස කෝටාව ලබාගැනීම වෙනුවෙන් අයදුම් කළ හැකියි.
මේ පිළිබඳ ගැටලුවක් පවතී නම් 1912 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා ෴
රුපියල් කෝටි හතරහමාරක (4½) බැංකු කොල්ලයක් : බැංකු සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවක් CID අත්අඩංගුවට
(18.03.2026 – hirunews.lk)
ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් (Power of Attoey) භාවිතා කරමින් බැංකු ගිණුමකින් රුපියල් හාර කෝටි අසූ අට ලක්ෂ පන්දහස් දෙසිය හැත්තෑ පහක (48,805,275) මුදලක් වංචා සහගත ලෙස ලබාගැනීමේ සිද්ධියකට අදාලව බැංකු සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබුණා.
ඒ අනුව, ඊයේ (17) වැල්ලවත්ත ප්‍රදේශයේදී අදාළ මුදල් වංචා කිරීම, ලේඛන වංචා කිරීම සහ සාපරාධී විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ 53 හැවිරිදි සැකකාරියක මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණා.
ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත කොළඹ 02, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල බැංකුවේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කරන මොරටුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු සහ සැකකාරිය අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය (03) සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි ෴
වීරවිල බස් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළට : 40 කට ආසන්න පිරිසක් රෝහලේ
(18.03.2026 – hirunews.lk)
තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් (2) ගැටී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.
රෝහල්ගත කර ඇති පිරිසෙන් 05 දෙනෙකුට බරපතල බවටයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූවන් 25 දෙනෙකු හම්බන්තොට රෝහලට ද 12 දෙනෙකු දෙබරවැව රෝහලට ද ඇතුළත් කර තිබෙනවා.
+++
+++
+++
https://www.facebook.com/share/p/18Ktazcz45/
අවසරයකින් තොරව මෙරට අහසේ ඩ්‍රෝන යානා පියාසර කරවීම තහනම් : ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්
(18.03.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාව තුළ දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් හට නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
මින් පෙර අවස්ථාවලදී ද අධි ආරක්ෂිත කලාප තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා ක්‍රියා කරවූ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෙන්වා දෙනවා.
ඒ අනුව, මෙරට තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව නිසි අවසර ලබාගෙන පමණක් එම කටයුතුවල නිරත විය යුතු බවයි ගුවන් හමුදාව අවධාරණය කරන්නේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන් නීතිමය ගැටලුවලට හෝ වෙනත් අපහසුතාවලට පත්වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් හමුදාව මෙම දැනුවත් කිරීම සිදු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි ෴
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්
(18.03.2026 – hirunews.lk)
අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ ‘ටී එච්-ෆිෆ්ටිසෙවන් සී රේන්ජර්’ වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා තිබෙනවා.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇති අතර පසුගිය 15 වැනිදා මෙම හෙලිකොප්ටර් ඇලබාමා හි පෝට් මොබයිල් සිට මෙරට බලා පිටත්ව පැමිණ තිබුණා.
එය මැයි 24 වැනිදා මෙරටට ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
‘බෙල් ටූ හන්ඩ්‍රඩ් සික්ස් බී – ත්‍රී ජෙට් රේන්ජර්’ යානා මිලිටරි ප්‍රභේදයක් වන මෙම මෙහෙයුම් ගුවන් යානා, මෙරට ගුවන් හමුදාවට ලබාදීමට නියමිතයි.
බෙල් 206 මාදිලි සමග ගුවන් හමුදාවට මෙම හෙලිකොප්ටර් යානා එක් කරගැනීමෙන් උසස් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම මෙන්ම ගලවා ගැනීම ඇතුළු තීරණාත්මක පොදු කාර්ය මෙහෙයුම් ධාරිතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙනවා.
මෙම යානා සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇති බවත්, මෙම පරිත්‍යාගය අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීම ශක්තිමත් කරන බවත්, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා යොදනු ලැබූ සටහනේ දැක්වෙනවා.
මෙම හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කිරීම සඳහා මෙරට ගුවන් හමුදා කණ්ඩායමක් පසුගිය ජනවාරි මාසයේ දී අමෙරිකාවේ සංචාරයක නිරත වී තිබුණා ෴
අල්ලස් ගත් අඩවි වන නිලධාරීන් ඇතුළුව 05 ක් අත්අඩංගුවට
(18.03.2026 – 22:54 +0530 – sinhala.adaderana.lk)
අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු (3), නිලධාරිනියක් (1) සහ සිවිල් පුරවැසියෙකු (1) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි පළමු (1) සැකකරු ලී මෝලක හිමිකරුවෙක්ය. ඔහු,
පැමිණිලිකරු විසින් ගෝනවල, කැලණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසෙහි උළුවහු, ජනෙල් සකස්කර ගැනීමට මිලදී ගත් දැව, ඉදිකරනු ලබන නිවසට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය රාජකාරි කටයුතු ඉටුකර දීම සඳහා එම දැව මිල දී ගත් ලී මෝලේ හිමිකරුවන පළමු (1) සැකකරු විසින් දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම්දීම මත එම නිලධාරීන්ට ලබාදීම සඳහා තුටු පඬුරක් ලෙස රු. 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම.
දෙවන (2) සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරියෙක්ය. ඔහු,
පැමිණිලිකරු විසින් උළුවහු, ජනෙල් සකස්කිරීම සඳහා ලී මෝලෙන් මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කර දීමේ රාජකාරී කටයුතු සඳහා සහය වීම් වෙනුවෙන් තුටු පඬුරක් ලෙස රු. 1,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම.
තෙවන (3) සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කරවනැල්ල) නිලධාරියෙක්ය. ඔහු,
ලී මෝලෙන් මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කරදීමේ රාජකාරි කටයුතු සඳහා රු. 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් මුලින් ඉල්ලා පසුව, 2026.03.17 වන දින ලී මෝල වෙත පිටව ගොස් එම දැව කඳන් පරීක්ෂා කර ප්‍රවාහන බලපත්‍ර ලබාදීමට අවශ්‍ය රාජකාරී කටයුතු ඉටු කර දීම වෙනුවෙන් පළමු (1) සැකකරුගෙන් තුටු පඬුරක් ලෙස රු. 3,000 ක මුදලක් අල්ලස් වශයෙන් භාර ගැනීම.
හතරවන (4) සැකකරු බිට්ටු වන (දැරණියගල) නිලධාරීයෙක්ය. ඔහු,
බලපත්‍රයට නිර්දේශය ලබාදීම වෙනුවෙන් පළමු (1) සැකකරුගෙන් තුටු පඬුරක් ලෙස රු. 3,000 ක මුදලක් අල්ලස් වශයෙන් භාරගැනීම.
පස්වන (5) සැකකාරිය වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරිනියක්ය. ඇය,
බලපත්‍ර සකස් කරදීමේ රාජකාරී කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තුඩු පඬුරක් ලෙස රු. 1,000 ක මුදලක් පළමු (1) සැකකරුගෙන් අල්ලස් වශයෙන් භාර ගැනීම.
ඒ අනුව අදාළ සැකකරුවන් ඊයේ (17) දින පළමු (1) සැකකරු, ඔහුගේ නමින් ඇති ලී මෝල තුල දී සහ අනෙක් සැකකරුවන් දෙහිඕවිට අඩවි වන කාර්යාලය තුළදී ද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴