ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක්


ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක්

(19.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සදහා ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක් ලබා දීමට ලෝක බැංකුව ලබන සතියේදී අනුමැතිය ලබාදීමට නියමිත බව රොයිටර් පුවත් සේවය අද (19) වාර්තා කළා.

ලබන 28 වනදා පැවැත්වෙන එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ඒ සඳහා වන අනුමැතිය ලබා දීම පිළිබඳ තීරණය කරනු ඇති බවයි එම පුවත් සේවය සඳහන් කළේ.

පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමෙන් පසු මෙරටට ලැබෙන විශාලම අරමුදල් වාරිකය මෙය වනවා.

මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 2 කින් හැකිළෙනු ඇතැයි රජය ඇස්තමේන්තු කර ඇති අතර පසුගිය වසරේ විදේශ සංචිත වාර්තාගත ලෙස පහළ යාමෙන් පසු ආර්ථිකය සියයට 7.8 කින් හැකිලී තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක මූල්‍ය පහසුකමක් අනුමත කළ අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහු පාර්ශ්විය ආයතනවලින් අතිරේක අරමුදල්ද සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් දක්වා එය ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

ලෝක බැංකුවේ යෝජිත ණය ආධාරයෙන් ඩොලර් මිලියන 500 ක් අයවැය සහයට වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 250 බැගින් එය වාරික 2 ක් යටතේ මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ඔත්තොම්බර් මාසයේදී එහි පළමු වාරිකය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 200 ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වූ දිළිදු ජනතාව වෙත උපකාර කිරීමේ වැඩසටහන් සදහා වෙන් කෙරෙණු ඇති බවයි ලෝක බැංකු ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් සියයට 92 ක් තීරු බදු වලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී තිබෙනවා.

ඒ අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එරට විසින් හදුන්වා දුන් නව වෙළඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමගයි.

මේ හරහා බ්‍රිතාන්‍ය වෙළදපල තුල මෙරට නිෂ්පාදන සදහා වන තරගකාරීත්වය වැඩිවනු ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

මෙම වෙළද යෝජනා ක්‍රමය හරහා බ්‍රිතාන්‍ය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65 කට තීරු බදු සහන සලසා දී තිබෙනවා.

පසුගිය වසරේ මෙම යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත් කළ අතර එහි නෛතික ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුවයි මෙලෙස බලාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත්තේ.

මේ අතර අපේක්ෂා කළ කාලයට වඩා උද්ධමනය තනි ඉලක්කමක අගයට රැගෙන ඒමට හැකිවනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම වාහන ආනයන සීමා මේ වසර තුළදී ඉවත් නොකරන බවද ඔහු එහිදී යළි අවධාරණය කළා ෴


වාරියපොල රජයේ ගොවිපොලේ නිලධාරින් පිරිසක් කාර්යාල අඩස්සියට

(19.06.2023 – 17:10 +0530 – hirunews.lk/sinhala)

දින කිහිපයක සිට විරෝධතාවයේ නිරත වන වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වාරියපොළ ගොවිපළේ සේවිකාවන් අද (19) එහි නිලධාරින් පිරිසක් කාර්යාල අඩස්සියට ගනු ලැබුවා.

ඒ තම ඉල්ලීම්වලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින්.

පසුගියදා 15 වනදා මෙම පිරිස ගොවිපළේ වහලය මත නැඟ මෙම විරෝධතාව ආරම්භ කළේ රැකියා දසලක්ෂය වැඩසටහන යටතේ බඳවා ගත් සේවක සේවිකාවන් ස්ථීර කරන අවස්ථාවේ තමන්වද ස්ථීර කරන බවට බලධාරින් ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති බව පවසමින්.

අද (19) ගල්ගමුව ගොවිපළේ සේවක සේවිකාවන් පිරිසක්ද ඔවුන්ගේ සහයට පැමිණ විරෝධතාවයට එක්වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴


අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) අතර ගැටුමක් – එක් (1) වෛද්‍යවරයෙකු රෝහලේ

(19.06.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එක් (1) වෛද්‍යවරයෙකු තුවාල ලබා එම රෝහලටම ඇතුළත් කර තිබෙනවා.

රාජකාරි සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් අද (19) දහවල් මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය ආසන්නයේ ගැටුම සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසක්ද එම ස්ථානයේ රැඳී සිට ඇති බවටයි වාර්තාවන්නේ ෴


මස්කෙළිය සමූපකාර සමිතියේ විගණන කටයුතු සඳහා ගිණුම් වාර්තා ලබා නොදීමට එරෙහිව නීති මඟට

(19.06.2023 – 17:56 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම්, සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව තිබෙන බව මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ, නුවරඑළිය කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරිය පවසනවා.

ඇය පවසන්නේ එසේ ගිණුම් ඉදිරිපත් නොකිරීමට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය කෙරෙන ග්‍රාමීය බැංකු ශාඛාවන් පිළිබඳව කරන ලද තොරතුරු විමසුමකදී මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය නියෝජ්‍ය කොමසාරිස් එස්.එස්. ප්‍රේමසිංහ විසින් මේ බව ලිඛිතව දන්වා තිබෙනවා.

මස්කෙළිය සමූපකාර සමිතියේ ගිණුම් ඉදිරිපත් කරන ලෙස එම සමිතියට දිගින් දිගටම දන්වා ඇතත්, ගිණුම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයක් කළ නොහැකි බවත්, සාමාන්‍යයෙන් විගණනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව මගින් එක් නිලධාරියෙක් පමණක් තමන් විසින් යොමු කරන බවත් පවසන නියෝජ්‍ය කොමසාරිස්වරිය පවසනවා.

එහිදී මස්කෙළිය සමිතියේ ගිණුම් වාර්තා ලබා නොදීම නිසා තමන්ද ඇතුළුව කණ්ඩායම් වශයෙන් සමිතියට ගොස් ගිණුම් වාර්තා ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් සමිතියෙන් ඒවා මේ දක්වා ලබා නොදුන් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

එය වෙනත් ආයතනයක් නිසා තමන් හට බලහත්කාරයෙන් ගිණුම් වාර්තා ලබාගත නොහැකි බවත්, ගිණුම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව සමිතියට එරෙහිව මේ වන විට නීත්‍යාණුකුලව කටයුතු කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත් එහිදී ඇය සඳහන් කළා ෴


සිමෙන්ති සඳහා වන ආනයනික බදු ඉහළට

(19.06.2023 – 18:24 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා වන සෙස් බද්ද ජුනි මස සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3 සිට රුපියල් 5 දක්වාත් ඉහළ දමා ඇති බවයි ෴


තේ වත්තේ සැරිසැරු ගෝනෙකු දඩයම් කළ සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(19.06.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

තේ වත්තේ සැරිසැරු ගෝනෙකු දඩයම් කර මස් පිණිස අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) හැටන් පොලිසිය විසින් අද (19) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්ත එන්.සි. තේ කොටසේ සැරිසැරු ගෝනෙකු මන්දක් අටවා අල්ලා සැකකරුවන් විසින් ඝාතනය කර මස් කර අලෙවි කිරිමට කිරිමට රැගෙන යාම සදහා පොලිතින් උරවල දමා තිබියදි හැටන් පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් කර සැකකරුවන් දෙදෙනා (2) සහ මස් තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ ගෝන මස් කිලෝ 54 ක් තිබූ බවත්, තවත් මස් තොගයක් වතු කම්කරුවන්ට අලෙවි කර ඇති බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ.

අත්අඩංගුවට ගත් මස් තොගය හැටන් පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා (2) සහ මස් තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත හෙට (20) දින ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය කියා සිටියේ ෴


ගංජා කිලෝග්‍රෑම් 1227.27 ක් අල්ලයි

(19.06.2023 – 18:59 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ගංජා කිලෝග්‍රෑම් 1227.27 ක් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගංජා තොගයත් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිසිය නිවේදනය කරන්නේ දැනට ශ්‍රී ලංකාවෙන් එකවර අත්අඩංගුවට ගත් විශාලතම ගංජා තොගය මෙය වන බවයි ෴


අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන්ට අධි චෝදනා

(19.06.2023 – 19:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 දෙනෙකු ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී සහන් යාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර ලබාදීමද සිදුකෙරුණා.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇති අතර පළාගොස් සිටින සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වරෙන්තුද නිකුත් කළා.

තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) මේ වන විට මියගොස් ඇති බවයි අද (19) අනාවරණය වුණේ.

පසුගිය වසරේ මැයි මස 09 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමඟ අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ පිහිටි සිය නිවස වෙත යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී කලහකාරි පිරිසට මැදිව තිබුණා.

එහිදී මන්ත්‍රීවරයා පැමිණි රථය පරීක්ෂා කිරීමට අදාළ පිරිස කටයුතු කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එහිදී තරුණයෙකු (1) මියගිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබුවා.

එහිදී කලහකාරි පිරිස මන්ත්‍රීවරයාට සහ ආරක්ෂක නිලධාරියාට පහරදීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරියා රථයෙන් බැස දිවගොස් අසළ පිහිටි නිමි ඇදුම් වෙළඳසැලකට ගොස් සැඟවීමටයි කටයුතු කර තිබුණේ. එහිදීයි මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරියා ඝාතනය කෙරුණේ.

අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කරනු ලැබුවේ.

+


වනඅලි ප්‍රහාරයකින් සිවු (4) දරු පියෙක් මරුට

(19.06.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඊයේ (18) දින රාත්‍රි 10:30 ට පමණ සොරබොර ග්‍රාම නිලධාරි වසමේ සොරබොර ශ්‍රී අශෝකාරම විහාරස්ථානය අසල මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හට වනඅලි ප්‍රහාරයක් එල්ලවී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ සොරබොර වැව පාර, මහියංගනය පදිංචි වයස අවුරුදු 61 ක සිවු (4) දරු පියෙක්.

මෙලෙස මියගිය පුද්ගලයා මහියංගනය නගරයෙහි රාත්‍රී කාලය තුල කුලී ත්‍රීරෝද රථ රියදුරෙක් වශයෙන් කටයුතු කරන අයෙක් වන අතර, මියගිය පුද්ගලයාගේ දරුවෙකුගෙන් ලද පණිවිඩයක් හේතුවෙන් එම නිවස පිහිටි සොරබොර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *