නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ්


නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

(19.06.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වූ විවාහක පුද්ගලයෙක් බව සඳහන්.

පැමිණිලිකාරිය වන තරුණ නීතිඥවරියගේ ගෙල ප්‍රදේශයේ කුරුල්ලකුගේ සලකුණක් සහිත පච්චයක් කොටා තිබූ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ නීතිඥවරිය තම සේවාදායකයාට අධිකරණයේ දඩ මුදල් ගෙවන ස්ථානය පෙන්වීමට එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

එම ස්ථානයේ සිටි සැකකරු නීතිඥවරියගේ ගෙලෙහි වූ පච්චය දැක “ඔයා හරි ලස්සනයි” කියමින් කෑ ගසා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී ඇය තමා නිතිඥවරියක් යැයි පවසා ඔහුගෙන් ගැලවී අසල වූ අධිකරණ ශාලාව වෙත ගමන් කරද්දී ඇය පසුපස ලුහුබඳිමින් “ඔයා හරි ලස්සනයි, හැම පැත්තෙන්ම බැලුවත් ලස්සනයි” කියමින් තවත් නොමනා වදන් පවසමින් ඇයට අතවර කළ බවටයි පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

එහිදී පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර ‘බී’ වාර්තාවක් මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිල්ල මෙහෙය වූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ, නීතිඥවරියෝ 100 කට අධික පිරිසක් පෙනී සිටි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


තැන තැන මාරක රිය අනතුරු

(19.06.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල කොළඹ මාර්ගයේ වැරැල්ලාන ඉන්ධන හල ආසන්නයේදී ඊයේ (18) මෝටර් රථයක් අනතුරට ලක් වී මෝටර් රථයේ රියැදුරු මිය ගොස් තවත් තිදෙනෙකුට (3) බරපතළ තුවාල සිදු වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියැදුරුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන රැහැන් කණුවක ගැටීමෙන්.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මැටිවල, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා (2) බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

~

මේ අතර, කොළඹ මඩකලපුව මාර්ගයේ පාතකඩ ප්‍රදේශයේදී ද යතුරුපැදි 2 ක් හා පෞද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු, පසු පැදිකාරියක් සහ කුඩා දැරියක් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මිය ගොස් තිබෙනවා.

අනෙක් යතුරුපැදිකරු සුළු තුවාල ලබා පැල්මඩුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ අකරැල්ලවත්ත පහළ කොටස, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


ලොතරැයි මිල දෙගුණයකින් වැඩි කෙරේ

(19.06.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීම සදහා මහ භාණ්ඩාගාරයෙන් අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

දැනට ලොතරැයි පතක් අළෙවි වන්නේ රුපියල් 20 කට වන අතර මිල දෙගුණයකින් ඉහළ දැමීමත් සමග ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදලද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කළා.

එමෙන්ම අදාළ මිල ඉහළ නැංවීම ලබන ජුලි මාස 06 වන දා සිට සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණද ඒ පිළිබද යලි සළකා බැලීමට නියමිතව ඇති බව සදහන්.

ඒ අනුව මිල වැඩි වීම බලාත්මක වන දිනය සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවයි ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කළේ ෴


වෙළෙදපොළේ යලි බිත්තර හිගයක් – පරිභෝජනය ඉහළගොස් ඇති බව නිෂ්පාදන සංගම් කියයි

(19.06.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

වෙළෙදපොළ තුළ යළි බිත්තර හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේවෙතත් බිත්තර නිෂ්පාදන සංගම් සඳහන් කළේ මේ වනවිට ගොවිපලවල බිත්තර නිෂ්පාදනයේ සීග්‍ර වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

සුපිරි වෙළෙදසැල් ජාල ඇතුළු වෙළෙදසැල්වල බිත්තරයක් දැනට අළෙවි වන්නේ රුපියල් 46 ත් 55 ත් අතර මිලකටයි.

ඒ රජය විසින් බිත්තර සදහා පාලන මිලක් පනවා ඇති පසුබිමකයි.

සුදු බිත්තරයක් සදහා රුපියල් 44 ක සහ එම බිත්තර කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 880 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

එමෙන්ම දුඹුරු බිත්තරයක් සදහා රුපියල් 46 ක් සහ බර අනුව මිලදී ගැනීමේදී එම බිත්තර කිලෝග්‍රෑමයක් සදහා උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 920 ක් ලෙසයි.

කෙසේ වෙතත් මස්, මාළු, කරවල ආදී ආහාර මිල ගණන් ඉහල යාම හේතුවෙන් බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමඟ මෙලෙස හිඟයක් නිර්මාණය වී ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ප්‍රකාශකර සිටියේ ෴


ඩෙංගු උවදුරින් මිඳීමට පාසල් සිසුන්ට දිග ඇදුම්

(19.06.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

පාසල් කාලය තුළදී දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිගු ඇඳුම් ඇඳීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුව විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානය යොමුව තිබෙනවා.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 27 ක්.

ඉන් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර පාසල් සිසුන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙනවා.

එම නිසා පාසල් දරු දැරියන්ට අත් පා ආවරණය වන සුදුසු ඇඳුමක් ඇඳීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගත හැකි බවයි ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුවේ අදහස වී ඇත්තේ ෴


බස් රථයේදී තරුණියගේ ලැම ප්‍රදේශය ස්පර්ශ කළ STF සැරයන් අත්අඩංගුවට

(19.06.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

තරුණියකගේ ලැම ප්‍රදේශය ස්පර්ශ කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු කිරුලපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිටකොටුවේ සිට කොට්ටාව බලා බස් රථයකින් ගමන් කරමින් සිටින විට තරුණිය මෙම සිදුවීමට මුහුණ දී ඇති බව පොලීසිය පවසයි. තරුණිය විසින් සිදු වීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කෑගසා රියදුරු සහ කොන්දොස්තරවරයා දැනුවත් කර තිබේ.

පසුව ඔවුන් විසින් සැරයන්වරයා කිරුළපන පොලීසියට බාර දී ඇත ෴


දින කිහිපයකට පෙර මියගිය කාන්තා මළ සිරුරක් හමුවෙයි

(19.06.2023 – 09:49 +0530 – hirunews.lk/sinhala)

කැලණිය – ගෝනවල ප්‍රදේශයේ නිවසකින් මීට දින කිහිපයකට පෙර මිය ගිය බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් බවයි සඳහන් වන්නේ ෴


විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

(19.06.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2016 වසරේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත් කොට ඇති බවයි සඳහන් වෙන්නේ ෴


පොලිස් රාජකාරියට බාධා කළ සැරයන්වරයකු අත්අඩංගුවට

(19.06.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල කළ පොලිස් සැරයන්වරයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බව කියන සැරයන්වරයෙකි.

පසුගිය අප්‍රේල් මස ලාහුගල පැවති බක්මහ සැණකෙලියකදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙම සැරයන්වරයා රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. එම සිදුවීමට අදාළව විමර්ශන සිදුකළ පොතුවිල් පොලිසිය පොතුවිල් බස් නැවතුම්පළ අසළදී සැරයන්වරයා ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ප්‍රංශයේ පොලිස් සැසියකට ගිය කොස්තාපලයෙක් පැනලා

(19.06.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රංශයේ පැවැත්වූ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සැසියකට සහභාගි වීමට මෙරටින් ගිය පොලිස් කොස්තාපලයෙක් නැවත මෙරටට පැමිණ නැති බව වාර්තා වෙනවා.

මෙම කොස්තාපලයා බස්නාහිර පළාත් උතුරු දිසා රථවාහන අංශයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි අයෙක්.

ඔහුට ප්‍රංශයේ පැවැත්වුණු එම සමුළුවට සහභාගි වී නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය මැයි මාසයේ 23 වැනි දා බවයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

එහෙත් මෙතෙක් මෙම නිලධාරියා මෙරටට පැමිණ නැති බැවින් ඒ ගැන සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු ප්‍රංශයේ නැවතී ඇති බව‍යි.

පසුව බස්නාහිර පළාත් උතුරු දිසා රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම කොස්තාපලයා සේවය අතහැර ගිය නිලධාරියකු ලෙස නම් කරමින් ඊට අදාළ නියෝගය පෙරේදා (17) නිකුත් කර තිබෙනවා.

පසුගිය දා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් සිවු (4) දෙනෙක් ද මේ ආකාරයෙන් එංගලන්තයේ පැවති මෙවැනි සමුළුවකට සහභාගි වීමට ගොස් එරට නැවතී තිබුණා.

එමෙන්ම මෙම නිලධාරීන් සමඟ ගිය උප පොලිස් පරීක්ෂකයෙකු ද වසර 5 ක නිවාඩු ලබා ගෙන එරට නැවතී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කරනවා ෴


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට පලා යාමට උදව් කළ කණ්ඩායම සොයා විමර්ශන

(19.06.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනීමට ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ට පලායාමට ඉඩ සැකසූ කණ්ඩායමක් සොයා මහවෙල පොලිසිය විමර්ශන සිදු කරනවා.

මාතලේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (18) දිනයේ ය. එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබුණි. ඒ අනුව අම්බොක්ක අම්බලම ආසන්නයට ගිය පොලිස් නිලධාරීන් විසින් මත් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එතැනට පැමිණි පිරිමි හා කාන්තාවන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

ඒ අතරවාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එතැනින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන්ට බාධා කළ කණ්ඩායම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව මහවෙල පොලීසිය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *