ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී


ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී

(18.06.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවි රසායානාගාරයේ සිදු කෙරෙන පරික්ෂණ නතර කර ඒවා පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කර ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති රවි කුමුදේශ් පෙන්වාදෙන්නේ එම රසායානාගාරයේ පරික්ෂණ නතර කිරීම මගින් මසකට රුපියල් ලක්ෂ 300 ක පමණ පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කෙරෙන බවයි.

එලෙස යොමුකරන එක් පරීක්ෂණයක් සඳහා සියයට 20 සිට 30 දක්වා කොමිස් මුදලක් පෞද්ගලික රසායානාගාර මගින් ලබාදෙන බවද වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවිකුමුදේශ් කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා ෴

+


පා පුවරුවෙන් ඇද වැටී මඟියෙකු ජීවිතක්ෂයට

(18.06.2023 – 18:37 +0530 – hirunews.lk/sinhala)

කහවත්ත – පැල්මඩුල්ල, නෝනාගම ප්‍රධාන මාර්ගයේ ඊයේ (17) උදෑසන ගොඩවෙල ප්‍රදේශයේ දී රත්නපුර දෙස සිට රක්වාන දෙසට ධාවනය වූ මඟී බස් ‍රථයකින් මඟියෙකු ඉදිරි දොරටුවේ පා පුවරුවෙන් මාර්ගයට ඇද වැටී අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ මඟියා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු 60 ක් වන පාතකඩ, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද (18) දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ජූනි මස 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා ෴


දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළුවන්නට ගිය කසල ප්‍රවාහන රථයක T-56 උණ්ඩ කොපු රැසක්

(18.06.2023 – 21:30 +0530 – hirunews.lk/sinhala)

දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය ඔස්සේ අද (18) පස්වරුවේ දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළුවන්නට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසල ප්‍රවාහන ලොරි රථයක තිබී T-56 ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ කොපු 32 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

කසල ප්‍රවාහන රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනා (2) මේ වනවිට සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

රජ වීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් මෙම ලොරි රථය ඇතුළුවීමට පෙර කළ පරීක්ෂාවක දී ලොරි රථයේ තිබූ කුඩා ප්‍රමාණයේ පොහොර උරයක මෙම පතොරොම් කොපු 32 හමු වී තිබෙනවා ෴


කොළොන්නාවේ වෙඩි තැබීමක්

(18.06.2023 – 22:11 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා තලංගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ ෴


වීසා හොරට හදලා මහනුවර සජබ මන්ත්‍රීගේ සොයුරා අත්අඩංගුවට

(18.06.2023 – 22:30 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී M.H.A. හලීම්ගේ සොහොයුරෙකු වන ‘මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික්’ යන අය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කර දුන් බවට සැකපිට මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මොහු පුද්ගලයින් රැසක් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇතැයි විමර්ශනවල දී පොලිසියට අනාවරණය වී තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමුකර සිදුකළ විමසීමක දී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු වී තිබෙනවා ෴


කාටත් හොරා කළ කුරුන්දි පුදබිමේ වන සංහාරය

(18.06.2023 – 19:56 +0530 – sinhala.adaderana.lk)

කුරුන්දි පුරාවිද්‍යා භූමියේ ස්ථාන 3 කට අයත් අක්කර ගණනාවක් වූ භූමිය එම ප්‍රදේශයේ පිරිසක් ඩෝසර් කර එළිපෙහෙළි කර ඇති බව ‘අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායම’ සිදුකළ සංචාරයේදී අනාවරණ වී තිබේ.

ඓතිහාසික මුලතිව් කුරුන්දි පුදබිමට අයත් අක්කර ගණනාවක භූමි ප්‍රමාණය පුරා පැතිර පවතින පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන සම්බන්ධයෙන් ‘අද දෙරණ” ඊයේ (17) දිනයේත් වාර්තා කළේය.

ඒ අතරින් කුරුන්දි සෑය සහ පිළිම ගේ ආශ්‍රිතව කැනීම් කටයුතු සිදුකර ඇති තිබුණත් පුදබිමේ පිහිටි බෝධි ගර්භය සහ ජලය සිඳීගිය පොකුණ යන ස්ථානවල කැනීම් කටයුතු සිදුකිරීමට මෙතෙක් හැකියාව ලැබී නැත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු මුලතිව් කුරුන්දි විහාරයේ විහාරාධිපති, පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි :

“අපි දැක්කා ජනාධිපතිතුමාගෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටියා අවුරුදු 100 ගණනක් වගාකළ අක්කර 5 ක ඉඩම් කුරුන්දි විහාරයේ කුරුන්දි පුරා විද්‍යා රක්ෂිතයට ඇතුළත් කළා කියලා. ඒ රක්ෂිතය මැනගෙන යනකොට අක්කර 229 යේ කොටස් 3 ක් හමු වෙනවා සුද්ද පවිත්‍ර කරපු භූමින්…”

“ඇත්තටම මේ භූමිය අවුරුදු 100 ගණනක් වගා කළේ නෑ. 2018 – 2019 කාලවල තමා මේ සම්පූර්ණයෙන්ම ‘නාගචෝල රක්ෂිතය’ කපලා මේ ස්ථානය මේ විදියට නිර්මාණය කළේ. එතකොට මේ නිර්මාණය කිරීමේ දී වරදවල් දෙකක් (2) මේ අය කරලා තියෙනවා. එකක් තමා සම්පුර්ණයෙන්ම ‘නාගචෝල රක්ෂිතයේ’ වටිනා දැව ශාක – කළුමැදිරිය, වීර, කළුවර වගේ ගස් තිබුණා. ඒ සියල්ල මේ අය ගිනි තියලා විනාශ කළා. ඉන් අනතුරුව මේ භූමියේ පුරාවිද්‍යා ස්ථාන ඔක්කෝම බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් ඩෝසර් කරලා. අර වැටියට හේත්තු කරලා තියෙනවා.”

“මේ වන විනාශය සිදුවෙන කොට 2020 අග භාගයේ දී කුරුන්දිය සංරක්ෂණය කරන වැඩපිළිවෙලට එද්දි මෙතැනට රාජ්‍ය ආයතන නිලධාරින් පැමිණියා. වන සංරක්ෂණ නිලධාරීන්ට මේ ප්‍රදේශයේ වෙන වන හානිය තේරුණා. ඊට පස්සේ ඒය තහනම් කෙරුවා වගා කටයුතු කරන්න එපා කියලා… “

“නාගචෝල රක්ෂිතය ගැසට් වෙන්නේ 1932.07.15 වෙනිදා. හෙක්ටයාර් 6,832 කින් යුක්තව. අද වෙද්දි හෙක්ටයාර් 5,500 ක් විතර තියෙන්නේ. ඒ කියන්නේ හෙක්ටයාර් 1200 ක් විතර හෙළිපෙහෙළි කරලා. විල්පත්තු වන විනාශයට වඩා මේ ප්‍රදේශයේ වෙලා තියෙනවා.”

“මේ සියලු ක්‍රියාදාමයන් පිටුපස්සේ ඉන්නේ ‘ශෂි’ කියලා පුද්ගලයෙක් මේ අවට – කිට්ටුව ඉන්නේ. ඔහු තමා පෙරමුණ අරගෙන ඉන්නේ. ඔහු තමා ‘කුරුන්දන් කුලම’ කියන පරණ පොකුණ පුරාවිද්‍යා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව විශාල වැවක් බවට පත් කරලා එතන විශාල පුරාවිද්‍යා හානියක් කළේ. ඒවටවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත්තේ නෑ.”

“ඔහු දේශපාලනඥයෙක් නෙමේ නමුත් දේශපාලනඥයින් සමග සෘජු සබඳතා පවත්වනවා. මුල් කාලයේ ඔහු අපිත් සමග බොහෝම සමගියෙන් කටයුතු කළා. පසු පසුව තමා මේ ද්‍රවිඩ දේශපාලන නායකයින් විසින්උසිගන්වනු ලැබූවේ.”

+++++++++++

කුරුන්දි පුදබිමේ ඉතිහාස කතාව ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(18.06.2023 – 16:46 +0530 – sinhala.adaderana.lk)

මුලතිව් කුරුන්දි පුදබිම කිසි ලෙසකින් කෝවිලක් නොවන අතර එහි සිදුකළ කැනීම්වලින් එය බෞද්ධ විහාරස්ථානයක් යැයි තහවුරු වී ඇති බව පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි පවසති.

මතුව ඇති තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

“මම 1964 කුරුන්දිමලේට ඉස්සෙල්ලාම ගිය වෙලාවේ ඒ ළඟ පොඩි පැළක් ගහගෙන හේනක් කරගෙන හිටිය ද්‍රවිඩ මනුස්සයෙක් හම්බවෙලා කිව්වා ‘මේ ස්ථානයට බුදුහාමුදුරුවෝත් වැඩියා කියලා විශ්වාසයක් තියෙනවා’ කියලා ඒ පළාතේ ඉන්න සමාන්‍ය ජනතාව අතර. පසුගිය දවස්වල සමහර ද්‍රවිඩ දේශපාලනඥයෝ මෙතැන කෝවිලක් තිබුණ තැනක් හැටියට ලෝකයට ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මේක කිසිම විදියකින් කෝවිලක් නෙමෙයි. 100% ක්ම බෞද්ධ විහාරයක් බව කැනීම්වලින් පසුව සෙල්ලිපිවලින් හොඳටම අනාවරණය වුණා. නමුත් මේ වැරදි මතය මත පිහිටලා සමහරු තාමත් ඉඩකඩම් සෑහෙන ප්‍රමාණයක් වැසියන් අතර බෙදාදීමට ක්‍රියාකරන බව අපට දැනගන්න ලැබිලා තියෙනවා. මේක වැරදි වැඩක්. ඒ නිසා දෙමළ දේශපාලනඥයන් මේක දැනගන්න ඕනේ, සාධාරණව එකඟතාවයෙන් හැමදෙනාම කටයුතු කළ යුතුයි කියලා.”

+


කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය අද (19) ඇරඹෙයි

(19.06.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද (19) ආරම්භ වනවා.

පෙරහැර මංගල්‍යය අද (19) සිට ලබන මස (03) වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්.

මේ අතර, වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය , මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.

ඒ අනුව පොලිතින් මලු වෙනුවට පරිසර හිතකාමී මලු ලබාදීම ඇතුළු පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරේ

(19.06.2023 – 08:07 +0530 – hirunews.lk/sinhala)

රෝහිත බෝගොල්ලාගම අගෝස්තු මස 01 දා සිට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා මෙන් ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රෝහිත බෝගොල්ලාගම පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා ෴


පමුණුගම වෙරළේ නිරුවත් මළ සිරුරක්

(19.06.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම, තල්දියවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (18) නිරුවත් මළසිරුරක් ගොඩ ගසා තිබෙනවා.

පමුණුගම පොලිසිය පවසන්නේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

වයස අවුරුදු 50 ක් පමණ වන උස අඩි 05 අඟල් 03 ක් පමණ වන මෙම පුද්ගල මළසිරුර හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින බව පොලිසිය පවසනවා.

පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *