පොලිසිය නොමඟ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩතහනම්

පොලිසිය නොමඟ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩතහනම්


පොලිසිය නොමඟ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩතහනම්

(18.06.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

අනතුරට ලක්වූ යතුරු පැදියට වෙනත් අයෙකුට අයත් යතුරු පැදියක් වැලිපැන්න පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

පසුගිය 16 වැනි දා වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේ දී අනතුරට ලක් වී ඇත. ඒ පිළිබඳ විමර්ශනයට පැමිණි පොලිස් සැරයන්වරයා කොස්තාපල්ට වාසි සහගත අයුරින් සටහන් යොදා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අනතුර සිදු වූ ස්ථානය ද වෙනස් කර සටහන් යොදා තිබී ඇති බව පොලිසිය පවසයි ෴


කරුංකා ඩිජිටල්කරණය වෙයි

(18.06.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව එක්ව කරුංකා අපනයන ක්‍රියාවලිය වඩා විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ඩිජිටල්කරණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඒ පිළිබද සාකච්ඡාවක් පසුගිය (16) වන දා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වුණා.

මෙම ඩිජිටල් වැඩපිළිවෙළෙහි අරමුණ වන්නේ ‘ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම’ හරහා මෙරටින් බදු රහිතව ඉන්දියාවට අපනයනය කෙරෙන වාර්ෂික කරුංකා කෝටාව විධිමත් ලෙස සැලසුම් කිරීමයි.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක් එක් කරුංකා අපනයනකරුවාට හිමි නිශ්චිත කෝටාව සංඛ්‍යාත්මක වශයෙන් දත්ත පද්ධතියට ඇතුළත් කෙරෙනවා.

එම කෝටාව ප්‍රයෝජනයට නොගන්නා අපනයනකරුවන් යම් කාල සීමාවකින් පසුව එම පද්ධතියෙන් ඉවත් කෙරෙනවා.

ශ්‍රී ලංකාවට විදෙස් රටවලින් ආනයනය කෙරෙන කරුංකා ඉන්දියාව වෙත ප්‍රතිඅපනයන කිරීම සහ ‘ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම’ උල්ලංඝණය වීම හේතුවෙන් පසුගිය කාලයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් කරුංකා අපනයන ප්‍රභව ස්ථාන සහතික ලබා දීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මෙම ඩිජිටල් ක්‍රියාවලිය ඔස්සේ පුවක් සැපයුම්කරුවන්, ඔවුන් සපයන ප්‍රමාණයන් ඇතුළත් නිසි තොරතුරු ඇතුළු කිරීම හරහා එම ගැටලුකාරී අවස්ථාවන් මඟහැරවීම තුළින් අපනයනය කෙරෙන ශ්‍රී ලාංකීය කරුංකා අනන්‍යතාවය තහවුරු කෙරෙනවා ෴


තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩ යටතට ගෙන ඒමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(18.06.2023 – 11:32 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘නිශ්චිත භාණ්ඩ’ යටතට ගෙන ඒමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව සඳහන්.

මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ අනුව යම් හෙයකින් වෙළෙඳෙපොලේ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ ෴


යාපනය – කොළඹ සැප බස් රියකින් කේරළ ගංජා ඇදලා

(18.06.2023 – 11:43 +0530 – hirunews.lk/sinhala)

යාපනය හා කොළඹ අතර ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වවුනියාව පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ රාත්‍රී කාලයට ධාවනය වන මෙම බස් රථවලින් යාපනයේ සිට කොළඹට කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට වවුනියාව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව බස් රථය පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක (2) පැකැට්ටුවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා ෴


මරණ තර්ජන සිදු කර කොල්ලකෑම් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.06.2023 – 11:55 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධ පෙන්වා මරණ තර්ජන සිදු කර නිවසක භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු (2) උහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25, 32 හැවිරිදි අම්පාර උහන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි (2). අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) තියුණු ආයුධ රැගෙන උහන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට තර්ජන එල්ල කර යතුරුපැදියක් ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ල කා පලා ගොස් තිබුනි.

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) තදින්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති අයවලුන් වන අතර ඔවුන්ට අධිකරණයේ නඩු රැසක් ද පවතින බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලීසිය පවසයි ෴


උතුරේ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 350 ට ස්ථිර පත්වීම්

(18.06.2023 – 12:42 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාතේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 350 දෙනෙකුට ස්ථිර ගුරු පත්වීම් ප්‍රදානය කෙරුණා.

මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරුණේ යාපනය විද්‍යා පීඨ ප්‍රධාන ශාලාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්. චාර්ල්ස් අතින්.

මේ අවස්ථාවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්තාන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් සමන් බන්ධුලසේන උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥානම් යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් සහභාගි වී සිටියා.

මෙම පත්වීම් උතුරු ප්‍රදේශයේ දුෂ්කර හා අති දුෂ්කර පළාත්වල සේවය කිරීම සඳහා ලබා දී තිබුණ බවයි වාර්තා වන්නේ ෴


මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නමක් යෝජනා වෙයි

(18.06.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යවා තිබෙනවා.

ඒ අනුව එහි අනුමැතිය ලැබීමෙන් පසු මෙම මහාචාර්යවරයා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට පත් කිරීමට නියමිත බවයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශකර සිටියේ ෴


සුගතදාස ක්‍රීඩා සංකීර්ණ සේවක සංගමයෙන් චෝදනාවක්

(18.06.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය තුරඟ තරගපිටිය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් වෙත පවරා වෙනත් පුද්ගලයකුට ලබා දීමේ සූදානමක් පවතින බවට සුගතදාස ක්‍රීඩා සංකීර්ණ සේවක සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් එන්.ජී. කරුණාතිලක සදහන් කළේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය වෙත ණයගැති පුද්ගලයකු සඳහා මෙම වටිනා ඉඩම පවරා දීමට සූදානම් වන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය කියා සිටියේ ජනාධිපති ලේකම් විසින් තුරග තරග පිටිය තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පවරන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇතත් මෙතෙක් තුරග තරග පිටිය පවරා දීමක් සිදු කර නොමැති බවයි.

වෙනත් පාර්ශ්වයකට එය පවරා දීම සම්බන්ධයෙන් මෙතෙක් තමන් දැනුවත් වී නොමැති බව ද ඔහු සදහන් කළා ෴


ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලින් ජනතාවව සහනයක් නෑ

(18.06.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ආනයනික බිත්තර බේකරි හිමියන්ට ලබා දීම‍ තුළින් කිසිදු සහනයක් ජනතාවට නොලැබුණු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ අවම වශයෙන් එම බිත්තර ජනතාවගේ පරිභෝජනයට ලබා දුන්නේ නම් පෝෂණ ගැටලුවට හෝ විසඳුමක් ලැබෙන බවයි.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර, රුපියල් 35 ක මිලකට පසුගියදා බේකරි හිමියන්ට ලබා දුන් බව පැවසුණ ද, බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඊයේ (17) කියා සිටියේ බේකරි හිමියන් වෙත ලැබුණ් ආනයනික බිත්තරවලින් සියයට 10 ක් පමණක් බවයි.

බේකරි හිමියන් ප්‍රකාශ කරන කරුණු අනුව ආනයනික බිත්තර තොගවලින් සියයට 90 කට සිදු වූයේ කුමක්දැයි සමස්ත ලංකා ආපනශාල හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රශ්න කරනු ලැබුවා ෴


යාපනය විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක් වූ සිසුන්ට යළි ශිෂ්‍ය වරම්

(18.06.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ පන්ති තහනම් කළ සිසුන් 31 දෙනාගෙන් 28 දෙනෙකුට යළිත් ශිෂ්‍යහාවය ලබා දීමට යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව සිසුන් 28 දෙනාට ලබන 19 වෙනිදා සිට යළිත් ශිෂ්‍යභාවය හිමි වන අතර, ඉතිරි සිසුන් තුන්දෙනා (3) සදහා අහෝසි කළ ශිෂ්‍යභාවය ඒ අයුරින්ම තව දුරටත් ක්‍රියාත්මක වන අතර ඔවුන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී තව දුරටත් සලකා බැලීමටද නියමිතයි.

ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් 31 දෙනාගෙන් 28 දෙනෙකුට යළි ශිෂ්‍යහාවය ලැබී ඇත්තේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බවයි අප වාර්තාකරු පවසන්නේ.

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන (2) හා තුන්වන (3) වසර වල මෙම සිසුන් පිරිසගේ පන්ති තහනම ක්‍රියාත්මක වූයේ යාපනය විශ්වවිද්‍යාලය තුළදී සිසුන් පිරිසකට අමානුෂීය අන්දමට පහර දීම හා එක් සිසුවෙකුට බරපතල ලෙස තුවාල සිදු කිරීමේ චෝදනාවන් නිසායි ෴


දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වන දා පාර්ලිමේන්තුවට

(18.06.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ මේ වන විට එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම රටේ මූල්‍ය ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පවතින බලතල තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත ද අනිද්දා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වේගවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය ඉවහල් වනු ඇති බවයි වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ෴


මන්නාරමේ ඝාතනයක් සම්බන්ධයෙන් එකම පවුලේ හතරදෙනෙකු (4) අත්අඩංගුවට

(18.06.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, මුරුන්කන් – අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එකම පවුලේ හතරදෙනෙකු (4) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (17) දිනයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙම පවුලේ තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයාගේ සහෝදරයෙකුවයි මෙම පිරිස පහරදී ඝාතනය කර තිබුණේ.

කෙසේ වෙතත් ඝාතනයට අදාළව එකම පවුලේ පියා, පුතු සහ මාමා මෙන්ම බෑණාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *