ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින්

ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින්


ගත වූ මාස 5 තුල ලාදුරු රෝගීන් 600 ක් වාර්තා වෙයි – වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹින්

(17.06.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසා සිටියේ වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ලාදුරු රෝගීන් 100 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66 ක්, මඩකලපුවෙන් 56 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් 47 ක් වාර්තා වී ඇති බවයි.

යම් අයෙකුට ලාදුරු යැයි සැක කෙරන සම මතුපිට ලපයක් ඇත්නම් 075 408 8640 යන දුරකථන අංකයට එහි ඡායාරූපය ‘වට්ස්ඇප්’ කර තොරතුරු ලබාදිය හැකි අතර එහිදී රෝගී තත්ත්වයක් නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ ෴


පාර්ලිමේන්තුවේ විශ්‍රාමික උසස් නිලධාරියෙකුට විශ්‍රාම වැටුපට අමතරව පෙර වැටුප සහ තවත් සුඛෝපභෝගී පහසුකම්

(17.06.2023 – 12:23 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා බව වාර්තා වෙනවා.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් හා සේවකයන් දැඩි අප්‍රසාදය පළකර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක්ම පැමිණෙන අතර ඒ පැමිණෙන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබා ගන්නා බවත් සඳහන්.

රජයේ ඉහළ ප්‍රධානියකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්ව ඇතත් මැති ඇමැතිවරුන් රැසක්ද ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළකර ඇති අතර රටේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි පත් කිරීම් කර වැටුප් ගෙවීම සහ අනෙකුත් පහසුකම් ලබාදීම බරපතළ ගැටලුවක් නොවේද? ෴


සීනිගම දේවාලය අසලදී රත්ගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වෙඩි

(17.06.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

සීනිගම දේවාලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් එක්සත් ජාතික පක්ෂ රත්ගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔහු අද (17) පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්න ප්‍රදේශයයේදී ඔහුට අයත් කැබ්රථයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව වාර්තා වන අතර වෙඩි ප්‍රහාර මධ්‍යයේම ඔහු හික්කඩුව පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව හික්කඩුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බව සඳහන්.

මන්ත්‍රීවරයා ‘රත්ගම විදුර’ නැමති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බවද වාර්තා වෙනවා ෴


සුරාබදු නිලධාරින්ට පිස්තෝල

(17.06.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසා සිටින්නේ නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ වැඩිදුරටත් පවසා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි ෴


ඖෂධ මිල අඩු කරන කමිටුව අහෝසි කරලා

(17.06.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාව භාවිතයට ගන්නා ඖෂධ වර්ග 8,000 කට ආසන්න ප්‍රමාණයක් පැවතියත් පසුගියදා මිල අඩු කර ඇත්තේ ඖෂධ වර්ග 30 ක පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.

එහි සභාපති රවී කුමුදේෂ් කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ ඖෂධ මිල අඩු කරන කමිටුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මේ වනවිට අහෝසි කර ඇති බවයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ ඊයේ (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ පවසා සිටියේ මිල අඩු කර ඇත්තේ ඖෂධ වර්ග 60 ක පමණක් බවයි ෴


LTTE ප්‍රවර්ධනය කළ බවට 13 දෙනෙක්ට චෝදනා

(17.06.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ.ය යළි පණගැන්වීම ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඊයේ (16) චෝදනා පත්‍රයක් ගොනු කර තිබෙනවා.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ‘දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ’ ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීම සඳහා ඔවුන් මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළඳාමේ යෙදී සිටින බවටයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා කර ඇත්තේ.

එම වාර්තාවලට අනුව සැකකරුවන් විදේශීය වට්ස්ඇප් අංක භාවිත කරමින් නීතිවිරෝධී වෙළෙඳාම් සිදු කර තිබෙනවා.

මෙම 13 දෙනා අතර ඉන්දීය ජාතිකයන් වන ‘එම්. සෙල්වකුමාර්’, ‘විකී’ හෙවත් ‘පෙරුමාල්’ සහ ‘අයියප්පන් නන්දු’ සිටින බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් වන ‘සින්නයියා ගුණසේකරන්’ හෙවත් ‘කිඹුලාඇලේ ගුණා’, ‘පුෂ්පරාජ්’ හෙවත් ‘පූගුඩුකන්නා’, ‘මොහොමඩ් අස්මින්’, ‘අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා’ හෙවත් ‘කොට ගාමිණී’, ‘ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු’ හෙවත් ‘බුම්මා’, ‘කංකානම්ගේ නලින් චතුරංග’ හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’, ‘ධනුක රොෂාන්’ හෙවත් ‘කෙසෙල්වත්තේ ධනුක’, ‘ගමගේ සුරංග’ හෙවත් ‘වැල්ලේ සුරංග’, ‘සින්නයියා තිලීපන්’ හෙවත් ‘කිඹුලාඇළේ ගුණගේ පුතා’ ඇතුළත් බව සඳහන්.

ඉන්දීය ජාතිකයන් වන විකී සහ නන්දු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව 2022 දෙසැම්බර් මාසයේදී අනෙක් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් පකිස්ථානය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සහ අවි සැපයුම්කරුවෙකු වන ‘හාජි සලීම්’ සමඟ එක්ව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, මොහුත් සමඟ සින්නයියා ගුණසේකරන් හෙවත් ගුණා සහ පුෂ්පරාජා හෙවත් පූගුඩිකන්නා සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් නම් කර තිබෙනවා.

හාජි සලීම්, පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශය හෙවත් අයි.එස්.අයි. සමඟ එක්ව කටයුතු කර ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඔහු ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ තවත් රටවලට මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් සිදුකර ඇති බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය පුනර්ජීවනය කිරීමට මුදල් ලබාදීමට ඔවුන් සිදුකර ඇති බවටද හෙළි වුණා.

මෙම පිරිස පසුගිය වසරේ ඉන්දියාවේ ට්‍රිචි විශේෂ කඳවුරේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, විත්තිකරුවන් අපරාධවලින් ලැබෙන ආදායමෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණා.

එමෙන්ම ඔවුන් සතුව තිබී පෙර සක්‍රිය කළ ඉන්දීය සිම් කාඩ්පත් සහිත ජංගම දුරකථන කිහිපයක් ද, විවිධ ඩිජිටල් උපාංග, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන, රුපියල් ලක්ෂ 80 ක මුදල් සහ රන් කැබලි 9 ක් ද ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.

මෙම මුදල් සහ රත්‍රන් මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් ඒවා වන අතර චෙන්නායි සහ ශ්‍රී ලංකාව අතර හවාලා ජාලයන් හරහා ඒවා ප්‍රවාහනය කර තිබෙනවා ෴

+


තොරතුරු අනාවරණය නොකළාට බුද්ධි අංශ සැරයන්ගේ වැඩ තහනම්

(17.06.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට අපොහොසත් වූ මදුරන්කුලිය පොලිසියේ බුද්ධි අංශ භාර පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

මදුරන්කුලිය පොලිස් බල ප්‍රදේශයේ මාළු වගා කිරීමේ ව්‍යාපෘතියක් ලෙස හඟවමින් මහා පරිමාණ වැලි කැණීම් ජාවාරම් ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත. පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා එය වටලා එහි තිබූ යන්ත්‍රසූත්‍ර ඇතුළුව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබේ.

එම නිසා මාස ගණනාවක් මදුරන්කුලිය පොලිසියේ බුද්ධි අංශය භාරව සිටි මෙම සැරයන්වරයා තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස වැඩ තහනමට ලක්කර ඇති බව පොලිසිය පවසයි ෴


චණ්ඩි පාට් දැමූ කොස්තාපල්ට ඇප

(17.06.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයකු අයුතු ලෙස සිරකර තබා පහර දීමේ දීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ශරීර ඇප මත මුදාහැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර තිබෙනවා.

පිහියක් සහ අත් විලංගුවක් සහිතව එම පාසලට ගොස් ඇති පොලිස් සැරයන්වරයා එම පාසලේ විදුහල්පතිවරයා නිල කාමරයේ සිර කර පහර දී තිබෙන බව වාර්තා වෙනවා.

විදුහල්පතිවරයා විසින් මඩකලපුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානයට පැමිණි කොස්තාපල්වරයා කලහකාරී ලෙස හැසිරී ඇති බව ද බවද පොලිසිය පවසයි ෴


ස්ත්‍රී දූෂකයින් සොයා ගම්පොලින් විමර්ශන

(17.06.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් දූෂණය කර රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් සොයා ගම්පොල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයේ නිවසක සිටි 44 හැවිරිදි කාන්තාවක් මෙලෙස සිය නිවස තුළදීම නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් දූෂණයට ලක් කර ඇති බව පොලීසිය පවසයි.

කාන්තාවට තියුණු ආයුධ පෙන්වා බිය කිරීමෙන් අනතුරුව සැකකරුවන් නිවසේ තිබූ රුපියල් ලක්ෂ හයකට (6) අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් ජංගම දුරකථන ද කොල්ල කා කොල්ලකා පලාගොස් ඇති බව අනාවරණයවී තිබෙනවා ෴


අත්බෝම්බය සැඟවු ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවේ

(17.06.2023 – 15:39 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන ප්‍රදේශයේ පුද්ගලික සමාගමක ඉදිරිපිට අත්බෝම්බයක් සැඟ වූ එම ආයතනයේම ආරක්ෂක නිලධාරියෙකු කිරුලපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 73 හැවිරිදි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 13 වැනිදා එම ආයතනයේ ඉදිරිපිට මල් පෝච්චියක තිබී අත්බෝම්බය කිරුලපන පොලීසිය විසින් සොයාගෙන තිබුණි. විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.

ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය ෴


දීඝවාපිය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

(17.06.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

දීඝවාපිය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.

පැරණි ස්තූප ඉදිකිරීමේ දී භාවිත කළ නිශ්චිත සම්මත ගඩොල් නිශ්පාදනය කිරීම සහ ව්‍යූහය පවත්වා ගැනිම සදහා නිශ්චිත බදාමයක් තෝරා ගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

දීඝවාපිය රජමහා විහාර පරීශ්‍රය තුළ යෝජිත විශ්‍රාම ශාලා, බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා.

වැඩ නිමකිරීමෙන් පසු ඇස්තමේන්තු ගත උස අඩි 268 ක් වන මෙම දීඝවාපිය ස්තූපයේ මේ වන විට බිම් මට්ටමේ සිට ගර්භය දක්වා අඩි 57 ක උසක් තෙක් වැඩ අවසන් කර ඇති බව එම සාකච්ඡාවේදී හෙළිව ඇති බව සදහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *