ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට

ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට


ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට

(17.06.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් ඊයේ (16) මිය ගොස් තිබෙනවා.

හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට පෙර ලබාදී ඇත්තේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතය තහනම් කර තිබෙන ප්‍රමිතියෙන් බාල නිර්වින්දන එන්නතක් බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසා සිටින්නේ.

ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවටත් ලබා දී තිබුණේ මෙම නිර්වින්දන එන්නතම බවයි වාර්තා වන්නේ ෴


පැලවත්තේ පුද්ගල ඝාතනයක්

(17.06.2023 – 07:13 +0530 – hirunews.lk/sinhala)

පැලවත්ත නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (16) පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වන ගොකරදූව, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතිබවයි වාර්තා වන්නේ.

මරණකරු පාදයේ ඇති තුවාලයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඉහත පුද්ගලික වෛද්‍ය ආයතනයට ගොස් සිටියදී, වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර මරණකරු නිවසේ නොමැති අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයෙකු මරණකරුට මරණ තර්ජනය කර ඇති බවට පියා විසින් ප්‍රකාශයක්ද ලබාදී තිබෙනවා ෴


උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 දා ආරම්භ කෙරේ

(17.06.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 (2023) ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 දා සිට නැවත ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙහිදී නැටුම් දේශීය හා භරත, සංගීතය (පෙරදිග), ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යනාදි විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ අයදුම්පත්හි ලිපිනයන්ට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපැල් මඟින් යොමු කෙරෙන බව සඳහන්.

ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වන්නේ නම් 1911 ක්ෂණික දුරකතනයෙන් හෝ 011 278 4208, 011 278 4537, 011 278 6616, 011 278 5922 දුරකතන අංකවලින් තොරතුරු දැන ගත හැකිය ෴


හදවත් රෝගීන්ගේ වර්ධනයක්

(17.06.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ වායු දූෂණය ඉහළ යාම නිසා මීට ප්‍රධානතම හේතුවක් බවයි.

ශ්‍රී ලංකාවේද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් ඇති හෙයින් එම අවදානම හටගෙන ඇතැයි ද ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා.

මෙම අවදානම අඩුකර ගැනීමට එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළඳීය යුතු බවයි වෛද්‍ය පතිරණ පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහ හෘද රෝග පිළිබඳ විධිමත් පරේශ්ෂණයක් අවශ්‍ය බවයි ෴


පස්සරදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක්

(17.06.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුවී තිබෙනවා.

වෙළඳසැලක හිමිකරුගේ පුත්‍රයෙකු විසින් ඊයේ (16) දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වනවිට පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් ෴


‍උසස් පෙළ උපකාරක පන්ති නියාමනයකට ලක් කිරීමේ සූදානමක්

(17.06.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහු ප්‍රකාශකලේ උසස් පෙළ පන්තිවල අයකරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ළමුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බව ද ආචාර්ය සුරේන් රාඝවන් වැඩිදුරටත් පවසා සිටියේ ෴


පතලක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට

(17.06.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ගොඩකවෙල – කුඩුගල්දෙණිය ප්‍රදේශයේ පතලක් කැපීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) එහි පස් කණ්ඩියකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කළේ ඊයේ (16) රාත්‍රියේ මොවුන් නීතිවිරෝධී අයුරින් පතලක් කැපීමට ගොස් මෙම අනතුර මුහුණ දී ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 41 සහ 48 යන වයස්වල පසුවන රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති අතර ඔවුන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


මැදිරිගිරියේ කාන්තාවට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

(17.06.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය – මිරිස්හේන ධීවර ගම්මානයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට ඊයේ (16) භාර වීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි මිරිස්හේන ගම්මානයේම පදිංචිකරුවෙක්.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා භාවිත කළ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම ඝාතනය සිදුව තිබුණේ පෙරේදා (15) රාත්‍රියේයි ෴


මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයේ පුරප්පාඩුව නිසා ගැටලු රැසක්

(17.06.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව’ විසින් යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා නියමිත කාලය ඇතුළත අනුමැතිය ලබා නොදෙන්නේ නම්, දැනට පවතින විදුලි ගාස්තු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

එම සභාවේ සභාපති ධූරය තවමත් පුරප්පාඩු වී ඇති බැවින්, විදුලිබල මණ්ඩලය විසින් ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සහ තීරණයක් ගැනීමට නොහැකි බවයි එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ.

නියමිත කාලය ඇතුළත මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ගාස්තුවලට අදාළ යෝජනාව අනුමත කරන්නේ නම් පමණක්, ජූලි 01 වැනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය සූදානම් බවයි එහි සභාපති නලින්ද ඉලංගකෝන් සඳහන් කර සිටින්නේ.

පවතින ගැටලුකාරී තත්ත්වය නිසා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් මාස තුනකට (3) ආසන්න කාලයක් රැස්වී නොමැති අතර සභාපතිවරයෙක් නොමැතිව කිසිවක් කළ නොහැකි බවත්, මේ තත්ත්වය පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙන බවත්, මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴


එස්.අයි. ට තුවාල සිදුකළ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට

(17.06.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ගවයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් නැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් ගවයින් ප්‍රවාහනය කරන බවට යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල උඩුගම මාර්ගයේ 13 කන්ද අසල මාර්ග බාධකයක් යොදා තිබෙන්නේ ඊයේ (16) සවස ය.පොලිසියට ලද තොරතුරට අනුව මාර්ග බාධකය පසු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී මෙලෙස එම ත්‍රීරෝද රථ රියදුරු විසින් උප පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා.

යක්කලමුල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර ත්‍රිරෝද රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සැකකරු සතුව තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අරලියගහ මන්දිරයට හිස් පතුරම් කොපු රැගෙන ගිය ක්‍රීඩා විනිසුරුවරිය අත්අඩංගුවට

(17.06.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබා ලබා දීමේ උත්සවයකට පැමිණි ක්‍රීඩා විනිසුරුවරියක ගේ බෑගයේ තිබී හිස් පතුරම් කොපු තුනක් (3) සොයාගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ පිළියන්දල පාසලක ක්‍රීඩා තරඟ තීරකවරියක් ලෙස කටයුතු කරද්දී සංඥාව ලබා දීමට භාවිතා කරන අවියෙන් නිකුත් වූ හිස් පතුරම් ඇය විසින් බෑගයේ දමා ගත් බවකි. එම හිස් පතුරම් බෑගයෙන් ඉවත් කිරීමට අමතක ව ඇය අරලියගහ මන්දිරයට රැගෙන ආ බව පොලිසියට පවසා ඇත.

ක්‍රීඩා විනිසුරුවරිය සතුව තිබූ හිස් පතුරම් කොපු එම ක්‍රීඩා උළෙලට පොලිස් ක්ෂේත්‍රබලකා මුලස්ථානය විසින් අවසර මත ලබා දී තිබූ අවියක ඒවා බවද අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කොල්ලුපිටිය පොලීසිය විසින් සිදුකරනවා ෴

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට පැමිණි අවස්ථාවේ අත්බෑගයේ තිබී හිස් උණ්ඩ 3 ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් ක්‍රීඩා තරග විනිසුරුවරිය ඇප මත මුදා හැර තිබෙනවා ෴


වන අලියෙකුගෙ ගැටී තිදෙනෙක් (3) රෝහලේ

(17.06.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

අද (17) අලුයම් කාලයේ හබරන පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය ප්‍රදේශයේදි වන අලියෙකු වැන් රථයක ගැටි තිබේ .

වැන් රථයේ පුද්ගලියින් 4 ක් ගමන් කල ඇති අතර එයින් තිදෙනෙකු (3) තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම වැන්රථය කොළඹ සිට කාතන්කුඩි ප්‍රදේශයට ගමන් කර ඇති අතර රියදුරුගේ අපරික්ෂාකාරී රියධාවනය මෙම අනතුරට මුල් වී තිබෙන බව පොලීසිය පවසයි. වාහනයේ ගැටුන වන අලියා අනතුරෙන් පසුව මින්නේරිය වැවට යන අවස්ථාවේදී යතුරුපැදි දෙකකටත් (2) පහරදී ගොස් ඇත.

මින්නේරිය පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි ෴


පොලිස් ස්ථානාධිපතිට වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන් අත්අඩංගුවට

(17.06.2023 – 12:07 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපතිට වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන් වරයකු වූ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් පොලිස් සැරයන් වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එයින් මිදී පලා යාමට ද තැත්කර ඇති බව මාලබේ පොලීසිය පවසයි. බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස වෙඩි තැබීමට තැත් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

චෝදනාවට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ද කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *