අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි


අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

(16.06.2023 – 17:40 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව අනාවරණය වුණි.

ඒ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදීය.

බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගතයුතු බවට කාරක සභාවේදී සාකච්ඡා කෙරුණි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු විය.

වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම වෙළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ‘ගිග් ආර්ථික’ තත්ත්වය (Gig economy) පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගීවී තිබේ.

‘ගිග් ආර්ථිකය’ (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බවද යෝජනා විය.

එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ෂණය කරගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා විය.

ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සඳහා වන කුළුණු ද්විත්වයේ විසඳුම පිළිබඳ ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බව මෙහිදී අනාවරණය විය.

ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2 ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දී තිබේ.

ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසි අයුරින් බදු නොගෙවන බවද අනාවරණය විය ෴


මුතු රාජාව ගුවන් ගමන සඳහා පුහුණු කරයි

(16.06.2023 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින හීලෑ ඇතුන් අතුරින් දිගම දළ යුගලය හිමි ‘මුතු රාජා’ හස්තියා මෙරටදී රැක බලාගැනීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් යළි තායිලන්තය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජූලි 01 වැනිදා ගුවන් යානයකින් නැවතත් තායිලන්තයට රැගෙන යාමට පෙර එම ගුවන් ගමන සඳහා හස්තියා පුහුණු කරවීම මේ දිනවල සිදුවන අතර මුතුරාජා වෙනුවෙන්ම තනන ලද ආරක්ෂිත කූඩුවක් ඒ සඳහා භාවිත කෙරෙනවා ෴

+


රුසියාව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරයි

(16.06.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

රුසියාවේ, පසුගියදා පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM යනු රුසියාවේ විශාලතම විදුලිබල නිෂ්පාදකයා වන අතර න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, විවිධ නව්‍ය න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන නිෂ්පාදන නිපදවන ආයතනයක් බව සඳහන්.

මේ වනවිට ඔවුන් ලොවපුරා රටවල් 11 ක සමාගම් 34 ක් සමඟ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම දැවැන්ත ආයතනය ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා ෴


‘ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා’ – ජනපති

(16.06.2023 – 22:27 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර පහ (5) ඇතුලත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ.

අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018-2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමින් ජනපති මේ බව පවසා සිටියා ෴


විරෝධතාවයේ නිරත පිරිසකට තවත් පිරිසක් පහර දෙයි

(16.06.2023 – 22:58 +0530 – hirunews.lk/sinhala)

මීරිගම බානගල කන්ද ප්‍රදේශයේ කළුගල් කැඩීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළව සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයකට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

මෙහිදී පිරිසක් විරෝධතාවයේ යෙදී සිටි තිදෙනෙකුට (3) පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන් දෙදෙනෙකු (2) මීරිගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර කළුගල් කොරියේ බදු ගැනුම් පාර්ශවය මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා ෴


පොහොර වවුචර් 90% ක් බෙදා අවසන්- ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව

(17.06.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මෙවර යළ කන්නයේදී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සදහා වවුචර්පත් සියයට 90 ඉක්මවා නිකුත් කර ඇති බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වවුචර්පත් හෙක්ටයාර 1 ක් සදහා රුපියල් 20,000 ක් හා හෙක්ටයාර දෙකක් (2) සදහා රුපියල් 40,000 ක් වශයෙන් වගා බිම් ප්‍රමාණය අනුව ලබා දීමටයි රජය කටයුතු කර ඇත්තේ.

යූරියා පොහොර, බන්ඩි පොහොර හෝ කාබනික පොහොර වවුචර්පත්වල වටිනාකම අනුව එක්වර ලබාගත හැකි පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ පැකේජයක් වශයෙන්ද ලබාගැනීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම වවුචරයේ වටිනාකම අනුව කොටස් වශයෙන් පොහොර මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

ඊයේ (16) රාත්‍රියේ සිට තවත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර පොහොර තොග සියලු‍ම දිස්ත්‍රික්ක වෙත යැවීමට ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම කටයුතු යොදා තිබෙනවා ෴


ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනයට විශේෂ ඒකකයක්

(17.06.2023 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබදවත්, එම පාසල් පද්ධතිය මගින් සිසු දරුවන්ට ලබාදෙන අධ්‍යාපන හා එහි ගුණාත්මකභාවය ඉහළ නැවීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එසේම, ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සදහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව මෙහිදී අනාවරණ වුණා.

ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ පවතින ගැටලු‍ පිළිබද ද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කරන ලද අතර එකී ගැටලු‍ නිරාකරණය කිරීමට ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙසයි කාරක සභාවේදී අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.

එසේම රජයේ පාසල්වල පවතින ගුරු හිගය පිළිබදව ද අවධානය යොමු කෙරුණු අතර ඉංග්‍රීසි හා උසස් පෙළ පන්ති සදහා ගුරුවරුන්ගේ හිගයක් පවතින බව ද අනාවරණ වුණා ෴


පරිගණකයක් ලබා දෙන බව පවසා තරුණියක් ගැබ්බර කළ පොලිස් කොස්තාපලයෙකුගේ වැඩ තහනම්

(17.06.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

පියාගෙන් සිදුවන හිරිහැර ගැන පැමිණිලිකිරීමට පැමිණි 18 හැවිරිදි තරුණියක් රවටා නිවෙසකට කැඳවාගෙන ගොස් ඇයට දරු ගැබැක් ලබා දුන් පොලිස් කොස්තාපලයෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.

ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම කොස්තාපලයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ අදාළ තරුණිය විසින් සිදුකළ පැමිණිල්ල මත මූලික පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි.

මෙම කොස්තාපලයා පසුගිය පෙබරවාරි 09 වැනි දින රාජකාරියේ නිරතව සිටිය දී මෙම තරුණිය සහ ඇගේ මවගේ සහෝදරිය සමඟ පොලීසියට පැමිණ ඇත්තේ පියාගෙන් කරදර සිදුවන බව බවසමින් ය.

ඒ මොහොතේ පොලිස් නිලධාරිණියක් නොමැති බව පවසා මොවුන් දෙදෙනා රැය පහන්වනතුරු පොලීසියේ රඳවා ගැනීමට මෙම කොස්තාපලයා කටයුතු කර ඇත.

ඉන්පසු උදෑසන පොලිස් නිලධාරිනියක් පැමිණ එම පැමිණිල්ල සටහන් කොටගෙන ඔවුන් දෙදෙනා නිවෙස් වෙත පිටත්කොට යවා තිබෙනවා.

නමුත් පසුව පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම පොලිස් කොස්තාපලයාට මෙම පැමිණිල්ල සටහන් කර ගැනීමට හැකියාව තිබී ඇති බවයි.

කෙසේ වෙතත් තරුණියගෙන් දුරකථනය අංකය ඉල්ලාගෙන ඇති මෙම පොලිස් කොස්තාපලයා පසුගිය පෙබරවාරි මස 11 වැනිදා මෙම තරුණියට ඇමතුමක් ලබා දී ඇත්තේ තරුණියට වැඩි දුර අධ්‍යාපනය සඳහා තම පරිගණකය ලබා දීමට ඇයට පැමිණෙන ලෙසයි.

එම දැනුම්දීම මත එම තරුණිය පරිගණකය ලබා ගැනීමට පැමිණ ඇති අතර එහිදී මෙම කොස්තාපලයා මෙම තරුණිය කල්අඩිය ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරී තිබෙනවා.

ඇගේ කැමැත්ත මත මෙලෙස හැසිරී ඇති අතර ඉන් පසු තරුණිය ගැබ් ගැනීම නිසා ඒ පිළිබඳ පොලීසියට දන්වා තිබෙනවා.

ඒ අනුව අදාල විමර්ශණ මෙහෙයවීමෙන් අනතුරුව මෙම පොලිස් නිලධාරියාගෙ වැඩ තහනම් කළ අත‍ර ඔහු පිළිබඳ විනය පරීක්ෂණද පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට අසභ්‍ය ඡායාරූප එවූ රියැදුරා අත්අඩංගුවට

(17.06.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප ගෙන ‘වට්ස් ඇප්’ මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට යැවූ එම අමාත්‍යාංශයේම රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 15 වැනිදා වේයන්ගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට කළ බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය 61 වියැති දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක්.

අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියැදුරෙකු වන අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක් බවයි මුලික පොලිස් විමර්ශනවලදී දී අනාවරණය වී ඇත්තේ.

පරිපාලන නිලධාරිනිය සමග අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටිය දී සැකකරු නිලධාරිනියගේ රියදුරෙකු වශයෙන් ද සේවය කර ඇති බවත්, ඇය විශ්‍රාම ගැනීමෙන් පසු ඇයගේ මුහුණු පොතේ මිතුරකු වශයෙන් සම්බන්ධ ව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

පසුව අදාළ සැකකාර රියැදුරා විශ්‍රාමික නිලධාරිනියගේ දුරකථන අංකය ලබාගෙන දිගින් දිගටම අසභ්‍ය ඡායාරූප සහ තම රහස් ප්‍රදේශ ඡායාරූප ගෙන වස්ඇප් මාර්ගයෙන් විශ්‍රාමික පරිපාලන නිලධාරිනියගේ ජංගම දුරකථනයට යවා ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගෙන තම නිරුවත සජීවිව විශ්‍රාමික නිලධාරිනියට ප්‍රදර්ශනය කර ඇති බවත් විමර්ශන වලදී හෙළිවී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *