වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 ක් උස්වැටකෙයියාව කර්මාන්තශාලාවකින් හමුවේ

වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 ක් උස්වැටකෙයියාව කර්මාන්තශාලාවකින් හමුවේ


වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 ක් උස්වැටකෙයියාව කර්මාන්තශාලාවකින් හමුවේ

(16.06.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පරිභෝජනයට නුසුදුසු පරිදි වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 කට ආසන්න තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් සොයා ගෙන තිබෙනවා.

ඒ වර්ණ ගැන්වූ පරිප්පු වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වූ තොරතුරක් මත ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමග පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය සිදුකළ පරීක්ෂණයකදීයි.

ඊයේ (15) අදාළ කර්මාන්තශාලාව වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ලඟා වන විටත් කිසිදු වර්ණකයක් යෙදීමෙන් තොරව වෙළදපොලට නිකුත් කළ යුතු ආනයනික පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු වර්ණකාරක යොදා ප්‍රතිනිෂ්පාදනය කරන ආකාරය දක්නට ලැබුණා.

එලෙස වර්ණ ගැන්වූ පරිප්පු තොගය අදාළ කර්මාන්තශාලාවේ ගබඩාවකට දමා එය මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ඒවායේ සාම්පල රස පරීක්ෂක වෙත යොමුකර එහි වාර්තාව ලැබුණු පසු එම කර්මාන්තශාලාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද නියමිතයි.

ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රෙගුලාසි අනුව ආනයනික පරිප්පු කිසිදු ලෙසකින් වර්ණ ගන්වා වෙළඳපොලට නිකුත් කළ නොහැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

+


ජනපති සාමාන්‍ය පෙළ ගැන තීරණයක් ගැනීමට යයි

(16.06.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු‍ සිසුන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභින්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (16) එක්වෙමින්.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය හා තාක්ෂණවේදය විෂයන්ට අදාළව ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වනදා සිට ජූලි 31 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, අදාළ විෂයන්වල පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් පෞද්ගලික ලිපිනවලට තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

+


නීති විරෝධී ධීවර කටයුතු කළ පුද්ගලයින් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

(16.06.2023 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති නීතිවිරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු සිදු කළ ධීවරයන් හතර (4) දෙනකු සහ ඩිංගි යාත්‍රා හතරක් (4) නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ 24 ත් 45 ත් අතර වයසේ පසුවන පෙරියපාඩු, කෝකිලායි සහ පුල්මුඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් ධීවරයන්, නීති විරෝධී ආම්පන්න සහ ඩිංගි යාත්‍රා කුච්චවේලි ධීවර පරික්ෂක කාර්යාලය වෙත ඉදිරි විමර්ශන සඳහා භාර දී තිබෙන බව නාවික හමුදාව පවසයි ෴


වවුනියාවේ අනතුරකින් මව සහ දියණියක් මියයාමත් සමග උණුසුම් තත්ත්වයක්

(16.06.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී පාසල වෙත යාමට බස් රථයක් එනතුරු මාර්ගයේ රැදී සිටි මවක් සහ දරුවෙකු ලොරි රථයට යටවීමෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරෙන් පසු ලොරි රථය පලායාමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත්, පසුව ප්‍රදේශවාසීන් විසින් රියදුරු අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

ලොරි රථයට ගිනි තැබීමට පිරිසක් උත්සාහ කළ නමුත් පොලීසිය මැදිහත් වී එය වැළැක්වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ ෴


පන්කුළම රක්ෂිතයේ ගස් කැපු අයෙක් අත්අඩංගුවට

(16.06.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පුල්මුඩේ පන්කුළම රක්ෂිතයේ අනවසරයෙන් ගස් කැපු පුද්ගලයෙකු පුල්මුඩේ පොලිස් විශේෂ බලකා නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්කුළම රක්ෂිතයේ අක්කර 02 ක ප්‍රදේශයක ගස් කපා ඇති මොහු වැඩිදුර විමර්ශන සඳහා පදවි ශ්‍රී පුර බීට්ටු අඩවි වන නිළධාරීන් වෙත භාර දී ඇතිබව සඳහන් ෴


පුද්ගල ඝාතනයකට පනාමුරේ දී අයෙක් අත්අඩංගුවට

(16.06.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

කතුරකින් ඇන සිය මිතුරා ඝාතනය කළ පුද්ගලයෙකු පනාමුර පොලීසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියදී මත්පැන් සම්බන්ධව ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස පහර පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු විමර්ශනවලින් අනතුරුව අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අධ්‍යාපනයත් ඩිජිටල්කරණය කරනවා

(16.06.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

විද්‍යා පීඨ 19 ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342 ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.

1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරුව 1986 වර්ෂයේදී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතියක් බිහි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විද්‍යා පීඨ ගුරු පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (16) පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමින්.

එහිදී බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2355 ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමීව පළාත් පළාත් 8 ක සිදු වුණා.

ඉදිරියේදී මෙම විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිවු වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන අතර දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කර ගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

ඒ සඳහා මීපේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී ලබා දෙන පශ්චාද් උපාධි පාඨමාලා උපස්ථම්භක වන බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ගුරු අභ්‍යාස විද්‍යාල වැනි අදාළ ආයතන සමඟ එක්ව එම වැඩසටහන් සංවිධානය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරත් අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවේ 2030 වන විට සපුරාගත යුතු තිරසර ඉලක්ක හඹා යන ගුණාත්මක අධ්‍යාපනයක දරුවන් නිරත කරවීමේ නියමුවන් ලෙස අද පත්වීම් ලබන ගුරුභවතුන් අධ්‍යාපන පද්ධතියට පිළිගන්නා බවයි.

එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 15 දක්වා ලබා දෙමින් සංවර්ධිත රටකට සමාන ප්‍රතිශතාත්මක අගයක් රඳවාගැනීමට ද අපට හැකියාව පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නා.

අවශ්‍ය ආයතන පිහිටුවීම හා නව තාක්ෂණය භාවිත කිරීම ඒ සඳහා මනා පිටුබලයක්ව ඇති බවත් රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරිමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බවත් අමාත්‍යවරයාගේ කතාවේ අන්තර්ගත වුණා.

වෙසෙසින්ම දැනුම අතින් ඉදිරියෙන් සිටින අපට ආකල්පමය වෙනසකටත් වඩා අත්‍යවශ්‍යව ඇත්තේ කුසලතා වර්ධනයක් බවත් ඒ සඳහා අනාගත පරපුර රැගෙන යාම නව පත්වීම්ලාභී ගුරු භවතුන් වෙත පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් සිහිපත් කළ අමාත්‍යවරයා පාසල්වල පවතින ගුරු හිඟය මගහැරවීම සඳහා කඩිනමින් මෙම පත්වීම් ලබා දීමට කැප වී ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට ප්‍රශංසාව පළ කළ අතර මේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයාට ද සිය කෘතවේදීත්වය පළ කර සිටියා ෴


කන්කසන්තුරය වරායේ ඉදිකළ නව මගී පර්යන්තය විවෘත වෙයි

(16.06.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රතිපාදනයක් වැය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කන්කසන්තුරය වරායේ ඉදිකළ නව මගී පර්යන්තය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල විසින් විවෘත කර තිබෙනවා.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දියාවට අයත් එම්.වී.එම්ප්‍රස් අති සුඛෝපභෝගි නෞකාවෙන් පැමිණි සංචාරකයින් 800 කට ද මෙම නව පර්යන්තය මගින් පහසුකම් සපයා තිබුණා.

ඉදිරියේදී අදාළ වරාය තුල නව ජැටි 2 ක් සහ ගබඩාවක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා ෴


ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(16.06.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ (ලෝ-ලෙවල් පාර) අලුත්වැඩියා කටයුතු කඩිනම් කර මාස තුනක් (3) ඇතුළත එය අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා එළෙස උපදෙස් දී ඇත්තේ අද (16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී බවයි වාර්තා වන්නේ ෴


පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට (2) ප්‍රශංසා

(16.06.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් 45718 ජේ.ඒ. සෙනවිරත්න හා 47436 ඒ.පී. ජයතිස්ස යන නිලධාරින් දෙදෙනාට (2) අනුරාධපුර පොසොන් උත්සවයේ විශේෂ පොසොන් රාජකාරි අතර තුරදී රත්මල් ගහ වැව රබෑව ප්‍රධාන මාර්ගයේ තබලගොල්ල වැව ආසන්නයේ දී මුදල් පසුම්බියක් වැටී තිබියදී හමුවී ඇත. එහි රුපියල් 49,500 ක් මුදල් සහ ජාතික හැදුනුම්පත බැංකු ඒටීඑම් කාඩ් 3 සහ එහි රහස්‍ය අංක පවා තිබි ඇත.

පසුව නියම හිමිකරු වන සංජනා දිවංජලි යන අයව සොයා හොරව්පතාන පොලිස් ස්ථානයට ගෙන්වා ඇයගේ එම මුදල් සමගින් නැතිවු මුදල් පසුම්බිය නැවත ඇයට භාරදෙන ලදී.

එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ (2) අවංක භාවයට සහ පොලිස් සේවයේ නමට කල එම ක්‍රියාව ඇගයීමකට ලක්කර උපහාර සහතික පත්‍රයක් සහ ත්‍යාගයක් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අතින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදි ප්‍රදානය කරන ලදි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *