‘තෙල් නෑ’ කියා සමාජ මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට
‘තෙල් නෑ’ කියා සමාජ මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට
(22.03.2026 – hirunews.lk)
මෙරට ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCID) විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම සැකකරු විසින් සිදු කරන ලද මෙම අසත්‍ය ප්‍රචාර මඟින් විදේශිකයන් මෙරටට පැමිණීම අධෛර්යමත් කිරීම, සංචාරක ව්‍යාපාරයට හානි සිදුකිරීම මෙන්ම මහජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට පොළඹවන සුළු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුව අද (22) කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙලිසිය පවසනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා ෴
ජාතික නිදහස් පෙරමුණේ නායකවිමල් වීරවංශ මහතාගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව
+
විදේශිකයන් දෙදෙනෙකුගේ (2) බෑගයක් කුඩාඔයදී සොරකම් කල තරුණයෙක් අත්අඩංගුවට
(22.03.2026 – hirunews.lk)
ඇල්ල සිට මිරිස්ස දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුගේ (2) ගමන් මල්ලක් සොරකම්කර පලා ගිය සැකකරුවෙකු කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල හේවාඉන්න ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙක්.
අදාළ විදේශකයින් දෙදෙනා (2) බස් රථයෙන් ඇල්ල සිට මිරිස්ස බලා ගමන් කරමින් සිට ඇති අතර, බස් රථය තේ පානය සඳහා කුඩාඔය ප්‍රදේශයේ අවන්හලක් අසල නවතා තිබෙනවා.
එම අවස්ථාවේදී අදාළ ඉන්දියානු ජාතිකයින් දෙදෙනා ද සිය බෑගය ආසනය මත තබා තේ පානය සඳහා අවන්හලට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම අවස්ථාවේදී සැකකාර තරුණයා විදේශකයින් දෙදෙනාගේ බෑගයද රැගෙන බස් රථයෙන් බැස වෙනත් බසයක නැගී පලා ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල විදේශිකයින් දෙදෙනා කුඩාඔය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව බස් රථයේ සීසීටීවී පරීක්ෂා කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, සැකකරු මහනුවර සිට කතරගම දක්වා දිවෙන බස් රථයේ පැමිණෙමින් සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් කුඩාඔය ප්‍රදේශයේදී බස් රථය නවතා පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද laptop පරිගණක දෙකක් (2), අයිපෑඩ් එකක් (1), ඒ අයි පෑඩ්එකක් (1) ඇතුළු රුපියල් ලක්ෂ දහයකට (10) ආසන්න වටිනාකමකින් යුත් විදේශිකයන්ගෙන් සොරකම් කරන ලද භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
ඉන්ධන තොග රැස්කර තබාගත් දෙදෙනෙක් (2) කොටු
(22.03.2026 – hirunews.lk)
බලපත්‍ර නොමැතිව විශාල වශයෙන් ඉන්ධන තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) දිවයිනේ ප්‍රදේශ දෙකකදී (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
රාමනාදපුරම් සහ අම්බලන්තොට යන පොලිස් වසම් තුළදී ඊයේ (21) මෙම වැටලීම් සිදුකර තිබෙනවා.
රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්දිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී කාලයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 1220 ක් සහ ඩීසල් ලීටර් 530 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
රාමනාදපුරම් පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර, හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2200 ක් (බැරල් 11 ක්) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
21 වනදා සවස සිදු කළ මෙම වැටලීමෙන් පසු සැකකරු සහ ඉන්ධන තොගය වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්.
අම්බලන්තොට පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා ෴
බාලවයස්කාර දරුවකුට ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙක් (2) හලාවතදී අත්අඩංගුවට
(22.03.2026 – hirunews.lk)
හලාවත පොලිස් වසමේ කාක්කපල්ලිය හන්දියේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් (Saloon) තුළදී පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට හලාවත මූලස්ථාන පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වී තිබුණා.
අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ ‘109’ හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත හලාවත මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධිය ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේදී සිදුවූවක් බවයි.
ඒ අනුව, සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (21) කාක්කපල්ලිය සහ බණ්ඩාරවත්ත යන ප්‍රදේශවලදී හලාවත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 58 යන වයස්වල පසුවන කාක්කපල්ලිය ප්‍රදේශයේම පදිංචිකරුවෝයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴
‘පික්මී’ සහ ‘ඌබර්’ ඉන්ධන කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටී
(22.03.2026 – hirunews.lk)
දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි.
ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන් සහ බෙදාහැරීම් හවුල්කරුවන් සඳහා වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම පිළිබඳව සලකා බැලීමක් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම මූලික ජංගම දුරකථන යෙදුම් සේවාවන් දෙක ශ්‍රී ලංකාව පුරා සතියකට ගමන්වාර සහ බෙදාහැරීම්වාර මිලියන ගණනක් සඳහා පහසුකම් සපයයි. ඉන්ධන සීමාකිරීමේ තත්වය යටතේ මෙම සේවාවන් සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ, දැනට වාහනයකට සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය මත පදනම්ව රියදුරන්ට සහ භාණ්ඩ බෙදාහරින්නන් හට එම ඉල්ලුම සපුරාලීම අතිශයින් දුෂ්කර වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
ගමන්වාර ප්‍රමාණයන් සහ රියදුරු / භාණ්ඩ බෙදාහරින්නන්ගේ ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් ඉන්ධන භාවිතය කාර්යක්ෂම කිරීමටත්, අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පුද්ගලික වාහන භාවිතය අවම කිරීමටත් මෙම ජංගම දුරකථන යෙදුම් සහාය වනු ඇත. අත්‍යවශ්‍ය සේවා සැපයීමට අමතරව, සංචාරක කර්මාන්තයටද දායක වන අතරම මෙම සේවාවන් මත තම ආදායම සඳහා රඳා පවතින දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමටද මෙම ජංගම දුරකථන යෙදුම් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇත.
සාමූහික මාධ්‍ය ප්‍රකාශනයකදී පික්මී සහ ඌබර් සඳහන් කළේ, “මාර්තු 21දින රජය විසින් සාමාන්‍ය ඉන්ධන කොටාව වැඩි කිරීමට ගනුලැබූ තීරණය පවත්නා අපහසුතාවන් අවම කිරීමට ගනුලැබූ නිශ්චිත පියවරක් ලෙස අප අගය කොට සලකනවා.
නමුත් ශ්‍රී ලංකාව පුරා අත්‍යාවශ්‍ය ප්‍රවාහන සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් පවත්වාගෙන යාමට ජංගම දුරකථන යෙදුම් ඔස්සේ ක්‍රියාත්මක වන රියදුරන් සිදුකරන කාර්යභාරය සලකා බැලීමේදී, වැඩිකල ඉන්ධන කෝටාව එම සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවේ. එමනිසා ජංගම දුරකථන යෙදුම් ඔස්සේ ක්‍රියාත්මක වන රියදුරන්ට සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව සලකා බලන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.
අත්‍යාවශ්‍ය ප්‍රවාහන සහ බෙදාහැරීමේ සේවාවන් අඛණ්ඩව සිදු කිරීමටත්, එම සේවාවන් සපයන රියදුරන්ගේ ජීවනෝපාය නිසිලෙස පවත්වාගැනීමටත්, මෙම කාලය තුළ ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ සේවාවන් මත යැපෙන ජනතාවට අඛණ්ඩව සේවා සඳහා ප්‍රවේශය පවත්වාගෙන යාමටත්, මෙම සේවාවන් සඳහා ඉන්ධන ලබාදීම ශක්තිමත් කිරීම උපකාරීවේ.” යනුවෙනි ෴
ඩීසල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
(22.03.2026 – hirunews.lk)
බලපත්‍ර රහිතව ඩීසල් ලීටර් 2,200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඩීසල් තොගය බැරල් 11 ක දමා තිබූ බවයි හුංගම පොලිසිය සඳහන් කළේ.
ඊයේ (21) දින සවස අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබුණා.
සැකකරු අම්බලන්තොට පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඔහු අවුරුදු 80 ක් වන ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අම්බලන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
යාපනයේ මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් කොටු වෙයි
(22.03.2026 – hirunews.lk)
යාපනය, ඌරුජු ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ගබඩාවක නීතිවිරෝධී ලෙස සඟවා තිබූ දැවැන්ත ඉන්ධන තොගයක් යාපනය දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය විසින් අද (22) වටලනු ලැබුවා.
එහිදී අත්අඩංගුවට ගත් ඉන්ධන තොගයට ඩීසල් ලීටර් 4,700 ක්, පෙට්‍රල් ලීටර් 800 ක්, භූමිතෙල් ලීටර් 400 ක් ඇතුලත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මෙහෙයුමේදී එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
තැපැල් ප්‍රවාහනය දවසක් ඇර දවසක් සිදු කිරීමට තීරණයක්
(22.03.2026 – 16:34 +0530 – sinhala.adaderana.lk)
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවය.
ඒ අනුව මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරීමටත් සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය නතර කිරීමටත් තැපැල් පරිපාලනය විසින් තීරණය කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් තැපැල් ප්‍රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් තැපැල් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස් තැපැල් සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පැවසූ ඒ මහතා මෙරටින් විදෙස් රටවල්වලට පිටත්වන තැපෑලත් මේ වන විට දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බවත් සඳහන් කළේය.
කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා දින හැර අන් සෑම දිනයකදීම සිදුවන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව පාරිභෝගිකයින්ට සිය තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල වෙත ලබා දීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය ෴
IOC ඉන්ධන වර්ග කිහිපයක මිල යළිත් ඉහළට
(22.03.2026 – 19:48 +0530 – sinhala.adaderana.lk)
අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් ඉහළ නංවා තිබේ.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572 ක් දක්වාද ඉහළ දමා තිබේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 487 ක් දක්වාද ඉහළ නැංවීමටද පියවර ගෙන ඇති අතර එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 398 කි.
මේ අතර Xtra Green Diese මිල රුපියල් 588 ක්ද, XtraMile Diesel මිල රුපියල් 551 ක්, මෙන්ම XtraPremium පෙට්‍රල් මිල රුපියල් 465 ක් ලෙසද ඉහළ දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴