පාස්කු ප්‍රහාර අවස්ථාවේ දී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි

පාස්කු ප්‍රහාර අවස්ථාවේ දී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි


පාස්කු ප්‍රහාර අවස්ථාවේ දී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි

(16.06.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිලධාරියාට විරුද්ධව පවත්වන ලද මූලික විමර්ශනයේ දී විනය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 12 ක් යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ බවත්, එහිදී සියළුම චෝදනාවන්ට වරද පිළිගත් බැවින් එම නිලධාරියාව සේවයෙන් පහ කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව 2023.06.14 වන දින සිට ඔහුව සේවයෙන් පහ කරමින් පොලිස් මූලස්ථානය විසින් අදාල නියෝගය නිකුත් කර තිබෙනවා.

+


බොරැල්ල කනත්තේ විදුලි රැහැන් සොරාගෙන

(16.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරය අවට තිබෙන විදුලි රැහැන් සියල්ලම මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් කපා ගෙන ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ආදහනාගාරය ආරක්ෂාවට මෙන්ම අතුරු මාර්ග වල ද සවිකර තිබෙන විදුලි පහන් සියල්ලම අක්‍රිය වී ඇත.

සති දෙකකට (2) පමණ ඉහත දී මෙම සිදුවීම වී ඇති මුත් මේ වන තෙක් පාලනාධිකාරිය එයට කිසිදු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බොරැල්ලකනත්ත සේවකයින් හිරු ට පැවසීය.

බොරැල්ල කනත්තේ ආරක්ෂාව තර නොකළහොත් ආදාහනාගාරය ද අනාරක්ෂිත තත්ත්වයකට පත් විය හැකි බව එහි වැඩ කරන සේවකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි ෴


නිරුවත් දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින බවට සිසුවියකට තර්ජනය කළ යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට

(16.06.2023 – 08:49 +0530 – hirunews.lk/sinhala)

නිරුවත් වීඩියෝ දර්ශන ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට පාසල් සිසුවියකට තර්ජනය කළ මින්නේරිය යුධ හමුදා කඳවුරේ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ සිසුවිය කටුගස්තොට පොලිසියට කරණ ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුවයි.

විමර්ශනයේ දී හෙළිව ඇත්තේ අදාළ ශිෂ්‍යාව ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය හරහා මෙම යුද හමුදා සෙබළා සමග හිතවත්කමක් ඇති කර ගෙන ඇති බවයි.

ඔහු විසින් ඇයට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමක් අනුව එම සිසුවිය ඔහුට එවැනි ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

සැකකරු ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ ඇමතුම පටිගත කර ගෙන නැවත එය අදාළ සිසුවිය වෙත යොමු කර යළිත් එවැනි ඇමතුමක් ලබා ගන්නා ලෙසත්, එසේ නොකරන්නේ නම් නිරුවත් වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවටයි තර්ජනය කර ඇත්තේ.

සැකකරු ඊයේ (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 ක මුදල් ඇපයක් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සදහන් කළේ.

දරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ දී සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමව්පියන්ට දැනුම්දෙන්නේ ෴


අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ට මරණ තර්ජන

(16.06.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය දොළොස් (12) වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිල කාමරයේ රාජකාරි කරමින් සිටියදී පොලිස් සැරයන්වරයෙකු සිය බිරිඳ සමග පැමිණ ඇත්තේ ස්ථාන මාරුවක් සම්බන්ධව ගැටලුවක් විසඳා ගැනීමට ය. විනය හේතුවක් මත ස්ථාන මාරුවක් ලබා දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීමෙන් අනතුරුව කුපිත වූ සැරයන්වරයා සහ ඔහුගේ බිරිඳ කාර්යාලය තුළ කලහකාරී ලෙස හැසිරී වෙඩි තබා මරන බවට පොලිස් අධිකාරීවරයාට තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.

එම කාර්යාලයේ නිලධාරීන් විසින් පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුව සැරයන්වරයා දුරකථන ඇමතුමක් ගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මරණ තර්ජනය කිරීමක් සිදුකර ඇත. ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අනුරාධපුර පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


බඩල්ගම පුද්ගලයෙකු දියේ ගිලී මියයයි

(16.06.2023 – 09:30 +0530 – hirunews.lk/sinhala)

මහව – බඩල්ගම, මහවැවෙහි පුද්ගලයෙකු ඊයේ (15) උදෑසන දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

මියගිය තැනැත්තා වයස අවුරුදු 53 ක් වූ බඩල්ගම, බලල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා පසුගිය 14 වැනි දා සවස් කාලයේ දී බඩල්ගම මහවැවෙහි මාලු ඇල්ලීම සඳහා ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණ ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත කරන ලද සෝදිසියකදී මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෘත දේහය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර අති අතර මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


මුල් කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය අඩුවෙයි

(16.06.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala)

දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙම වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය 11.5% කින් පහත වැටී තිබෙනවා.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (15) නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය පෙර වසරට සාපේක්ෂව 0.8% කින් වර්ධනය වී ඇති බවයි.

නමුත් කර්මාන්ත සහ සේවා අංශ පිළිවෙලින් 23.4% කින් සහ 5% පහත වැටී තිබෙනවා ෴


කිව්.ආර්. ක්‍රමයෙන් තොරව ඉන්ධන නිකුත් කළ දකුණේ පිරවුම්හල්වලට ඉන්ධන නෑ

(16.06.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට (30) වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පිරවුම්හල් හිමියන් පවසන්නේ ඇතැම් රාජ්‍ය ආයතන කිව්.ආර්. ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බවයි.

එවැනි අත්‍යවශ්‍ය ආයතනවලට ඉන්ධන ඇතැම් පිරවුම්හල්වලින් ලබා දී තිබුණ ද සංස්ථා නීතිරීති අනුව කිව්.ආර්. ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීම නිසා ඉන්ධන සැපයීම අත්හිටුවීමට සිදු වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති ඉන්ධන පිරවුම්හල්වලින් සංස්ථාව නිදහසට කරුණු විමසා ඇති අතර ඔවුන්ට ඉන්ධන සැපයීම පිළිබඳව සලකා බලමින් සිටින බව ද වාර්තා වෙනවා ෴


දියතලාවේ අනතුරකින් හයකට (6) තුවාලයි

(16.06.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ පාසල් බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් හයදෙනෙකු (6) තුවාල ලබා තිබෙනවා.

අද (16) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් අතරින් පස් (5) දෙනෙකුම පාසල් සිසුන් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව හිරු වාර්තාකරු කියා සිටියා ෴


රාජකාරියට බාධා කළ කළ යතුරුපැදිකරුවෙකු පොලිස් අත්අඩංගුවට

(16.06.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

පොලිස් රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යතුරු පැදි කරුවෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය නගරයේ ලංගම බස් නැවතුම ඉදිරිපිට පදික මාරුවේ පදිකයන් මාරුවන විට අපරීක්ෂාකාරීව ධාවනය කළ යතුරු පැදි කරුවෙකු පොලිසිය විසින් නවත්වා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් රියදුරු බලපත්‍රය ඉල්ලූ විට පැදිකරු පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.

පොලිස් නිලධාරීන් විසින් පැදිකරු මෙල්ල කර පොලිස් ස්ථානයට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු විසින් සංඥා පුවරුවක හිස ගසාගෙන තුවාල සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


සිය දිවි හානිකරගත් වෛද්‍යවරයා අධි සාන්ද්‍රණයෙන් ඉන්සියුලින් එන්නත් කරගත්තේ දැයි සැකයක්

(16.06.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

සිය නිල නිවෙසේ ඇඳක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි තඹුත්තේගම රෝහලේ වෛද්‍ය අමිල සඳකැලුම් දිසානායක සියදිවි හානි කරගැනීමට ඉන්සියුලින් එන්නත් කරගත්තේ යැයි සැක කරන එන්නත් කටු නිල නිවෙස පිටුපස පුලුස්සා දමා තිබියදී තඹුත්තේගම පොලීසියට හමු වී තිබෙනවා.

එම එන්නත් කටු අඩක් පිලිස්සී තිබියදී හමු වී ඇති අතර, ඒවා අධිකරණ නියෝගයකින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

තඹුත්තේගම රෝහලේ සේවයේ නිරතව සිටි මේ වෛද්‍යවරයා සිය බිරියගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇති අතර, පසුගිය ජනවාරි 13 දායින් පසු දෙදෙනා අතර කිසිදු අදහස් හුවමාරුවක්ද සිදුව නැති බවත්, වෛද්‍යවරයාගේ මරණය බිරියට දැනුම් දීමෙන් පසු ඇයත්, වෛද්‍යවරයාගේ සහෝදරයකුත් පැමිණ මළ සිරුර හඳුනාගෙන මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ බව පොලිසිය පවසනවා.

මළ සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ඊ.ජී.යූ.එන්.යූ. ගුණරත්න විසින් පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14) පැවැත්වීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

සියදිවි හානි කරගෙන සිටි මේ වෛද්‍යවරයාගේ සිරුර හමු වී ඇත්තේ දින 3 ක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ ගැන රෝහල් සේවකයන් කළ සොයා බැලීමකදීයි ෴


11 හැවිරිදි දැරියකට අතවර කළ අ‍යකුට වසට 15 ක සිරදඬුවම්

(16.06.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 11 ක දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධව චෝදනා ලැබූ සැකකරුවකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු එම සැකකරුට වසර 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ 50 හැවිරිදි ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචිකරුවකුට.

මහාධිකරණ විනිසුරුවරයා විසින් සිරදඬුවමට අමතරව රුපියල් 5000 ක දඩයක් ද නියම කර තිබෙන අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතට තවත් මාසයක (1) බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

මෙම විත්තිකරු 2007 ජුනි මස 01 හෝ ඊට ආසන්න දිනයක තම බිරියගේ පළමු කසාදයේ 11 හැවිරිදි දියණියට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ෴


නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී දෙදෙනෙකු (2) මරුට

(16.06.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

දොම්පේ – ගිරිදර – දෙල්ගොඩ මාර්ගයේ මාලිද ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද (16) උදෑසන සිදුවූ අනතුරකින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථය කිරිදිවැල ප්‍රදේශයේ සිට නාවික හමුදා මූලස්ථානය වෙත ගමන් කරමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ලොරි රථයේ ගමන් ගත් 39 සහ 46 හැවිරිදි හපුතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් (2).

මේ අතර, වව්නියාව – කන්නාට්ටි ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ තවත් අනතුරකින් මව සහ දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථයක් එනතුරු මාර්ගයේ රැදී සිටියදී ලොරි රථයක් විසින් ඔවුන් අනතුරට ලක් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *