ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි

ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි


ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි

(15.06.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

ඒ සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම විසින් මෙම මූලික විරෝධතා මතු කළ අතර අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 19 වන දා තෙක් කල් දැමුණා ෴

++++++++

ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක්

(15.06.2023 – 15:56 +0530 – hirunews.lk/sinhala)

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අදාල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

සෝභිත රාජකරුණා සහ ඒ.මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කරු සම්බන්ධයෙන් මේ වනවිට මුදල් විශුද්ධීකරණයට අදාළ පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි ෴


සාදික්කා සහ කරාබු වගාවන්ටත් රෝගයන්

(15.06.2023 – 16:12 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක සාදික්කා සහ කරාබු වගාවන්ට කොළ හැළීමේ රෝගය සහ කඳන් විඳින ගුල්ලාගේ හානිය වර්ධනය වෙමින් පවතින බැවින් තම වගාවන් ආරක්ෂා කර ගැනීමට ගොවීන් උනන්දු විය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, පූජාපිටිය, උඩුනුවර, යටිනුවර සහ වත්තේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලින් සාදික්කා වගාවන්ට කොළ හැළීමේ දිලීර රෝගය වාර්තා වී ඇති බවයි.

මෙම රෝගයේ ලක්ෂණ ලෙස ගස්වලින් කොළ හැලීම දක්නට ලැබෙන අතර, ගහ මුල විශාල වශයෙන් කොළ වැටී තිබෙනු දැකිය හැකි බවත්, අතු ඉපල් බේරී ඇති අයුරු ද දක්නට ලබෙන බවත්ය.

මහනුවර කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් කරාබු ගසේ කඳන් විඳින ගුල්ලාගේ රෝගය වාර්තා වී ඇති බවත් මෙම රෝගය වැළඳුනු ගස්වල කඳන් කොටසේ ඇල්පෙනෙත්තක් තරම් කුඩා සිදුරු දක්නට ලැබෙන බවත් මෙම කඳන් විදින ගුල්ලා ගසේ කඳන් තුල ජීවත් වෙමින් බිත්තර දමන බවත් එමගින් කීටයින් බෝවිම සිදු වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී කීය.

මෙම රෝගයන් පාලනය කිරිම සඳහා නිසි කෘමිනාශක යෙදීම සිදු කළ යුතු බවත් ඒ සඳහා රෝගය හදුනා ගත් වහාම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරින් හමුවී උපදෙස් ලබා ගන්නා ලෙස හෝ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් අපනයන ආදායම ලබා දෙන කරාබු සහ සාදික්කා වගාවන්ට මෙම රෝගය පැතිරුණහොත් අස්වැන්න අඩු වීමත් අස්වැන්නේ තත්වය බාල වීමත් සිදුවිය හැකි බවත් එමගින් අපනයන ආදායම මෙන්ම ගොවීන්ගේ ආදායමද අඩු විය හැකි බැවින් මෙම රෝගී තත්වයන් ගැන නිසි අවධානයෙන් සිට ඉක්මනින් ප්‍රතිකාර කර රෝගය පාලනය කර ගැනීමට පියවර ගන්නා ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් දුරටත් කීය ෴


ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත් නිකුත් කිරීම ඇරඹේ

(15.06.2023 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ සිට ආරම්භ කළා.

ඒ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද එහි සමාරම්භය සිදුකළ අතර ඊට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද එක්ව සිටියා ෴


ටෙලිකොම් පෞද්ගලීකරණයට එරෙහි පෙත්සම් දෙකක් (2) ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

(15.06.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (2) විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළා.

ඒ ටෙලිකොම් වෘත්තීය සමිති දෙකක් (2) විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගයකින් අනතුරුවයි ෴


බලපත්‍රයේ අනුමත ප්‍රමාණයට වඩා ‘ගාන්ඩිස් දැව කඳන්’ ප්‍රවාහනය කල ලොරි රථයක් අත්අඩංගුවට

(15.06.2023 – 17:36 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රයේ අනුමත ප්‍රමාණයට වඩා ‘ගාන්ඩිස් දැව කඳන්’ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් රියදුරු සමග අද (15) දින හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් වන අඩවි කාර්යාලය මගින් මස්කෙලිය සාමිමලේ සිට මොරටුව දක්වා දැව කඳන් 20 ක් ප්‍රවාහනය කිරිමට බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, ලොරි රථය අත්අඩංගුවට ගත් අවස්තාවේ ලොරි රථයේ දැව කඳන් 40 ක් තිබු බවයි ලොරි රථය පොලිස් භාරයට ගත් රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබු දැව කඳන් 40 සදහා වන අඩවි කාර්යාලය මගින් දැව කඳන් වල මුද්‍රව සදහන් කර තිබුණද බලපත්‍රයේ ප්‍රවාහනය කිරිමට අනුමැතිය ලබා දි ඇත්තේ දැව කඳන් 20 ට පමණක් බව පොලිසිය නිලධාරින් සිදු කල මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත්තේ.

අප වාර්තාකරු මේ සම්බන්ධයෙන් හැටන් වන අඩවි කාර්යාලයේ වන අඩවි නිලධාරි කවිදු රුක්ෂාන්ගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලොරි රථයේ දැව කඳන් 20 ක් පමණක් ප්‍රවාහනය කිරිමට බලපත්‍ර නිකුත් කර ඇති බවත්, තම කාර්යාලයේ නිලධාරියෙකු අදාල දැව කඳන් 20 ලොරි රථයට පැටවිමෙන් අනතුරුව එම නිලධාරියාට නොදන්වා කොන්ත්‍රාත්කරු විසින් තවත් දැව කඳන් 20 ක් ලොරි රථයට පටවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තම කාර්යාලය මගින්ද විමර්ශනයක් සිදු කරන බවයි ෴


මරණ දඬුවම නියමව සැඟව සිටි පුද්ගලයෙක් රාගම දී අත්අඩංගුවට

(15.06.2023 – 18:45 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියමව සැඟව සිටි පුද්ගලයෙක් රාගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54 ක පුද්ගලයෙක්.

රාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සහෝදරයාට 2001 වසරේ දී චෝදනා එල්ල වී තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා (2) රක්ෂිත බන්ධානාගරගතව සිට ඇති අතර 2004 වසරේ ඇති වූ සුනාමි ඛේදවාචක‍ය අවස්ථාවේ දී මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට බස් රථයකින් රැගෙන යමින් සිටිය දී අදාළ පුද්ගලයා පලා ගොස් තිබෙනවා.

ඉන්අනතුරුව බන්ධනාගාරගතව සිටි පුද්ගලයා 2012 වසරේ දී නිදොස් කොට නිදහස් කෙරුණු අතර පලා ගිය පුද්ගලයාට මරණීය දණ්ඩනය නියම කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


අහසට වෙඩි තැබූ සජබ සංවිධායකට ඇප

(15.06.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

හොරණ බොරළුගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න අද (15) ඇප මත මුදා හැරුණා.

ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු ඊයේ (14) පස්වරුවේ තමන්ට අයත් ඉඩමකට ගොස් ඇති අතර එහි පිටස්තර පිරිසක් රැදී සිටිනු දැක මොහු ඔවුන් සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඉඩම බලා ගැනීමට එහි රැදී සිටි යුවලට පිටස්තර පුද්ගලයන් ගෙන්වා නොගන්නා ලෙස මොහු මීට පෙර දන්වා ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයා ඉඩමේ රැදී සිටි පිරිස සමඟ ඇතිකරගත් ආරවුලෙන් පසුව ඔහුට අයත් බලපත්‍ර සහිත පිස්තෝලයෙන් අහසට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

ඊයේ (14) පස්වරුවේ ඔහුට අයත් ඉඩමකට ගිය අවස්ථාවේ එහි පිටස්තර පිරිසක් රැදී සිටිනු දැක, ඔවුන් සමග ඇති වූ ආරවුලක දී එහි සිටි දෙදෙනෙකු (2) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේ ඔහුට අයත් බලපත්‍ර සහිත පිස්තෝලයෙන් අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කර තිබුණේ.

ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ හොරණ පොලිසිය 70 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර එහිදී වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සහ පතොරොම් 03 ක් ද පොලිස් භාරයට ගැණුනා.

අද (15) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. ඔහු සතුව තිබූ ගිනි අවි බලපත්‍රය ද අධිකරණය භාරයට ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴


පන්ති කාමරයේ විදුලි පංකා නවා ඩෙස් පුටු එල්ලූ සාමාන්‍ය පෙළ සිසුන්ට අපූරු දඬුවමක්

(15.06.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දිනයේ සිසුන් පිරිසක් විභාග ශාලාවක් ලෙස භාවිත කළ පන්ති කාමරයේ විදුලිපංකා නවා ඩෙස් පුටු එල්ලා අලාභ හානි සිදුකළ සිද්ධිය සමාජයේ මතු කළේ දැඩි සංවාදයක්.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට ඊට අදාළව චෝදනා එල්ල වූ අතර, අද (15) ඔවුන් පාසලට කැඳවා විදුහල්පතිවරයා සහ පොලීසිය දැඩිව අවවාද කළා.

අනතුරුව අදාල සිසුන්ගේ වියදමින් හානිකළ දේපල යළි පිලිසකර කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+


ඩොලරය ගැන බියවන්න එපා – රංජිත් සියඹලාපිටිය

(15.06.2023 – 22:44 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලුම සහ සැපයුම අතර පවතින වෙනස්කම් හේතුවෙන් ඩොලරය උච්චාවචනය සිදු වන බවත්, ඒ පිළිබඳ බියක් ඇති කර නොගත යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රුපියලේ අගය අද (15) දිනයේ දී තවදුරටත් අවප්‍රමාණය වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාත අනුව රුපියල අද (15) තවදුරටත් අවප්‍රමාණය වී තිබුණා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335 ක් ලෙසයි.

ගැණුම් මිල රුපියල් 31 ක් ලෙස දැක්වුණා.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318.99 ක් ලෙස දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 303.19 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඩොලරය උච්චාවචනය වීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මෙලෙස අදහස් දක්වා සිටියා.

+


සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3 ක මිල අඩු කරයි

(15.06.2023 – 23:10 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස අලෙවිසැල් ජාලය මගින් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3 ක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 13 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 275 ක්.

පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 5 කින් අඩු කිරීමත් සමග එහි නව මිල රුපියල් 195 ක් වන අතර

රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 4 කින් අඩු කර රුපියල් 295 කට අලෙවි වෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *