හදිසියේ මිය යන අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු නොකර මුදා හරින ලෙසට හදිසි මරණ පරික්ෂකවරුන්ට බලපෑම්

හදිසියේ මිය යන අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු නොකර මුදා හරින ලෙසට හදිසි මරණ පරික්ෂකවරුන්ට බලපෑම්


හදිසියේ මිය යන අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු නොකර මුදා හරින ලෙසට හදිසි මරණ පරික්ෂකවරුන්ට බලපෑම්

(15.06.2023 – 14:49 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් පුද්ගලයන්ගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු නොකර එම සිරුරු මුදා හරින ලෙසට වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රාදේශිය නායකයන් තමන්ට බලපැම් එල්ල කරන බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් කිහිපදෙනෙකු විසින් ‘සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමය’ට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙනවා.

තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් අයගේ සිරුර සම්බන්ධයෙන් සිරුරු මුදා හැරිමට අදාල බල ප්‍රදේශයේ පොලිසිය මගින් හදිසි මරණ පරික්ෂකවරුන්ගේ වාර්තාවක් ලබා ගන්නා බවත්, එවැනි වාර්තාවක් ලබාදිමට ප්‍රථම මිය අයගේ ඥාතින් කැදවා සාක්ෂි සටහන් කර ගන්නා බවත්, එසේ සටහන් කර ගන්නා සාක්ෂි පරස්පර විරෝධි නම් එම සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට තමන්ට බලතල ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් කියා සිටින්නේ.

එසේ පශ්චාත් මරණ පරික්ෂණ සදහා යොමු කරන ඇතැම් සිරුරු සම්බන්ධයෙන් එම වෘත්තිය සමිතියේ ප්‍රාදේශිය නායකයින් තමන්ට දුරකථනයෙන් ඇමතුමක් ලබා දි සිරුර මුදා හරින ලෙසට බලපැම් සිදු කරන බවත්, එසේ සිරුර මුදා නොහැරිය හොත් එම ප්‍රාදේශිය නායකයින් විසින් තමන්ට විවිධ අයුරින් රාජාකාරියට බාධා සිදු කරමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් සංගමය වෙත කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ ෴


හෙරොයින් සමග පුද්ගලයෙකු කිරුළපන දී අත්අඩංගුවට

(15.06.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් දෙසිය තිස් පහයි (235) මිලිග්‍රෑම් හාරසීයක් (400) සමග පුද්ගලයෙකු කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු දෙහිවල සිට කිරුළපන දක්වා යතුරුපැදියකින් එමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව කිරුළපන ස්ටැෆර්ඩ් මාවත හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 235 මිලිග්‍රෑම් 400 ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක්, ජංගම දුරකථන දෙකක් හා යතුරු පැදියක් සැකකරු සන්තකයේ තිබී පොලිස් බාර‍යට ගනු ලැබුවා.

සැකකරු දෙහිවල සරණංකර පාරේ පදිංචි ‘බඩෝවිට සුරේෂ්’ නමැති 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ ෴


දැරියන් දෙදෙනෙකුට (2) සහ තරුණියකට (1) හදි කළ තිදෙනකු (3) අත්අඩංගුවට

(15.06.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මානසික ආබාධවලින් පෙළෙන දැරියන් දෙදෙනකු (2) සහ තරුණියක (1) අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු ඇතුළු තිදෙනෙකු (3) කුලියාපිටිය සහ දඹගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්වී ඇති දැරියන් 10, 11 හැවිරිදි වියෙහි පසුවන අතර තරුණිය 26 හැවිරිදි බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෙබළා ඇතුළු තිදෙනා (3) අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


වන අලි ප්‍රහාරයට ලක්වූ කාන්තාවක් මිය යයි

(15.06.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

කතරගම පූජා භූමිය වෙත පාද යාත්‍රාවේ යෙදී සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි ත්‍රිරිකුණාමලය ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

යාල වනෝද්‍යානයේ ‘කලාප අංක දෙක ලින් තුන’ ප්‍රදේශයේදී මෙලෙස වන අලියා පහර දී ඇති බව පොලීසිය පවසයි ෴


මුල්ලේරියාවේ පස් (5) හැවිරිදි ජොනතන්ගේ මරණයේ සැකකරු යලිත් රිමාන්ඩ්

(15.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාවේ 5 හැවිරිදි දරුවාගේ මරණයේ සැකකරු (තණකොළ කපන්නා) ජුනි 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක ක්‍රීඩා කරමින් සිටියදී තණකොළ කපන යන්ත්‍රයක තලය වැදීමෙන් පස් (5) හැවිරිදි ජොනතන් මියගොස් තිබුණේ ඉකුත් 08 වැනිදා පස්වරුවේයි ෴


මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විසින් 20 Kg ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනේ

(15.06.2023 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වල දමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇතැයි යුදහමුදාව පවසනවා.

මාලි රාජ්‍යෙය් ටෙසාලිට් සිට ගාඕ දක්වා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුමක් අතරතුරදී යුදහමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ 4 වන කණ්ඩායම විසින් කාන්තාර වැලි බිම් මාර්ගයක වලදමා තිබූ මෙම අධිබලැති බෝම්බය සොයාගත් බවයි සඳහන් වන්නේ.

එහිදී ප්ලාස්ටික් උපකරණයකට අධිබලැති පුපුරණ දව්‍ය අඩංගු කොට තිබිය දී සොයාගත් අතර සාමසාධක හමුදාවේ රථපෙල ඉලක්කකර ගනිමින් මෙලෙස බෝම්බය අටවා ඇතැයිද යුදහමුදාව සැකපල කර සිටිනවා.

මේ අතර පසුගිය මැයිමස 22 වනදා සාමසාධක රථපෙලක් ටෙසාලිට් දක්වා ගමන්කරමින් තිබියදී ශ්‍රී ලංකා යුදහමුදා ආරක්ෂක රථයක් මාර්ගයේ අටවා තිබූ බිම්බෝම්බයකට හසුවීමෙන් එක් (1) යුද හමුදා නිලධාරියෙකු ඇතුලු සිව් (4) දෙනෙකු තුවාල ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භටපිරිස් විසින් ජීවිත අවදානම, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භූමියේ දුෂ්කරතා ගැන නොතකා, භටකාර්ය සම්පාදක රථ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ භාණ්ඩ ප්‍ර‍වාහනය කරන ට්‍රක් රථ සඳහා ආරක්‍ෂාව සපයන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ ෴


ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට නියම කෙරේ

(15.06.2023 – 15:37 +0530 – hirunews.lk/sinhala)

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ජාතික ගොවිජන බලමණ්ඩලය සමග අද (15) පැවැති සාකච්ඡාවේදී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා එම තීරණය ගෙන ඇති බව සඳහන්.

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


ගාලු පාර, හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගයට සම්බන්ධ කරමින් අලුතින් ලංගම බස් සේවාවක්

(15.06.2023 – 15:44 +0530 – hirunews.lk/sinhala)

ගාලු පාර, හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මඟින් ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින්, කොළඹට ඇතුළුවන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොළ සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කටුබැද්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතන පරිශ්‍රයේදී බස් රථ ධාවනයට එක් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් සිදු කෙරුණා.

කොළඹට ඇතුළු වීම සහ පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිත කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමඟ් විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටලු සඳහා විසඳුම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අවස්ථාවට එක්ව සිටියේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ ඇතුළු නිලධාරීන් පිරිසක් ෴


බිරිඳ ඝාතනය කල සැමියා පොලිස් අත්අඩංගුවට

(15.06.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරවුලක් නිසා වෙන්ව සිටි බිරියගේ ගෙල කපා ඝාතනය කළ සැමියකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඹුසැමි යුවළ අතර ඇතිවූ විරසකය හේතුවෙන් ඔවුන් වෙන් වෙන්ව ජීවත් ව තිබෙනවා. සිය බිරියට අනියම් සම්බන්ධතාවයක් පවතින බවට ලද තොරතුරක් මත වයික්කාල ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවෙසට පැමිණි සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා පලා ගොස් තිබෙනවා.

වෙන්නප්පුව පොලීසිය විමර්ශන සිදුකර වටවල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු හෙට (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


වෑන් රථයක් කොල්ලකෑ පිරිසක් වලපනේ පොලිසියට කොටු

(15.06.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ වෑන් රථයක් සොරාගත් කාන්තාවන් දෙදෙනකු (2) ඇතුළු 8 දෙනෙකු වලපනේ පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස වලපනේ ප්‍රදේශයේ පදිංචි කරුවන්. කාන්තාවන් දෙදෙනා (2) පැමිණ වෑන් රථය කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා රියදුරු සමග වලපනේ නගරයට පැමිණ ඇත. එලෙස පැමිණි වෑන් රථය පාළු ස්ථානයක නවතා සිටියදී එම ස්ථානයට පැමිණි පිරිමි පුද්ගලයින් හය (6) දෙනා රියදුරු බිය ගන්වා වෑන් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


දරුවන් විසින් නොසලකා හැරුණු පියෙකු වෑතර රෝහලේ

(15.06.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

තම දරුවන් විසින් නොසලකා හරින ලද ආදරණීය පියෙක් පිළිබඳ සංවේදී කාරණාවක් වෑතර රෝහලෙන් වාර්තා වෙනවා.

දරුවන්ට ලෝකයක් දකින්නට මඟ පෙන්න වූ මෙම තාත්තා දරුවන් විසින් මගමඟ දමා ගොස් සිටිය දී 1990 සුවසැරිය මඟින් කළුබෝවිල රෝහල හරහා වෑතර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මාස 8 ක පමණ කාලයක සිට මෙම තාත්තා රෝහලේ කාර්‍යමණ්ඩලයේ සත්කාර මැද ජීවිතය ගතකරනවා.

ශෝකයට කරුණ නම් මෙම තාත්තාගේ දරුවන් වටින් වර මේ පියා රෝහල් ගත කිරීමේ දී ලබා දී ඇති සියලු ලිපිනයන් පවා සාවද්‍ය වීමයි.

කරුණාවෙන් දයාවෙන් හදාවඩා ගත් තම පියා මෙලෙස අසරණ කිරීම කෙතරම් නම් ශෝකයට කරුනක් ද? ෴


චීන පරිත්‍යාගයක් ලෙස පහසු නඩත්තු ජල කම්හලක් මාතලේ ආරම්භ වෙයි

(15.06.2023 – 16:25 +0530 – hirunews.lk/sinhala)

චීන විද්‍යා ඇකඩමිය විසින් පරිත්‍යාග කරන ලද පහසු නඩත්තු ජල කම්හලක් සඳුදා (11) මාතලේ, මැටිහක්ක ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා.

මෙම ජල කම්හල තුලින් ප්‍රදේශයේ ගම්වාසීන් 800 කට දිනකට භූගත ජලය ලීටර් 120,000 ක් පානීය ජලය බවට පත් කෙරේ.

මෙම අවස්තාව සඳහා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද සහභාගි වී සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *