අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට


අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට

(15.06.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

එහි සමාරම්භක අවස්ථාව අද (15) පස්වරු 3 ට හෝමාගම ප්‍රාදේශීය කාර්යාලයේදී ආරම්භ වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් වංචා කරන ජාවාරම්කරුවන් පිරිසක් පිලිබඳව ‘හිරු CIA’ හරහා පසුගියදා විශේෂ අනාවරණයක් කළ අතර අදාළ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමට ඉන් පසුව බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමු වුනා.

ඒ අනුව අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ උප කාර්යාලවලදී ලබාදීම සිදුකළ හැකියි.

ඒ අනුව ජනතාවට මින් පසු විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිමේ අවශ්‍යතාවක් මතු නොවෙයි.

මෙම නව වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසුව වුවත් යම් අයෙකුට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ වුවද අයදුම්පත් බාර දීමට හැකියාවක් පවතිනවා.

එමෙන්ම වයස අවුරුදු 16 ට අඩු ළමුන් සදහා මෙම මාර්ගගත ක්‍රමවේදය අදාළ නොවන අතර විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගත වූ අයට ද මෙම ක්‍රමවේදය අදාළ නොවන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කර සිටින්නේ ෴


ව්‍යාපාරිකයකුට පහරදී මුදල් කොල්ලකෑ පිරිසක් සොයා පොලිස් විමර්ශන

(15.06.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොතේ ඉඟුරු විකිණීමට තිබෙන බවට පළ කළ දැන්වීමකට අනුව ඒවා මිලදී ගැනීමට කල්ලංචිය ප්‍රදේශයට ගිය ව්‍යාපාරිකයෙකුගේ මුදල්, ජංගම දුරකථනය සහ බැංකු කාඩ්පත් සොරාගත් පිරිසක් සොයා කල්ලංචිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉඟුරු කිලෝ දෙදහසක් (2000) විකිණීමට තිබෙන බවට මුහුණු පොතේ දැන්වීමක් පළකර තිබෙනවා. ඒවා මිලදී ගැනීමට ගිය අරණායක ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මෙලෙස කොල්ලකෑමට ලක්වී ඇත.

මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමේ තිබූ ජංගම දුරකථනයට ව්‍යාපාරිකයා ඇමතුමක් දුන් පසු ඔවුන් පැවසු ස්ථානයට ගිය විට කණ්ඩායමක් විසින් ව්‍යාපාරිකයාට පහරදී ඔහු සතු භාණ්ඩ මෙලෙස කොල්ලකා ඇති බව ඔහු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා ෴


විදුලි සැර වැදී දෙදෙනෙකු (2) මරුට

(15.06.2023 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව, අමිර්තකලී ප්‍රදේශයේදී නිවෙසක වහලක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු (2) විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කරන ආකාරයට මඩකලපුව, අමිර්තකලී ප්‍රදේශයේ නිවෙසක වහලයක් අලුත්වැඩියා කරමින් සිටි තිදෙනකු (3) වහලයේ පීලි තහඩුවක් දැමීමට යාමේදී එම නිවෙසට විදුලිය ලබා දෙන ප්‍රධාන වයරය තහඩුවට කැපීමෙන් තිදෙනාටම විදුලි සැර වැදී තිබෙනවා.

පසුව මේ තිදෙනා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනෙකු (2) මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් හා 36 ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


නඩු භාණ්ඩ සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් දැලේ

(15.06.2023 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ඉංගිරිය පොලිසියේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මහරගම හා අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඉංගිරිය පොලීසිය විසින් නඩු භාණ්ඩයක් ලෙස රඳවා තිබූ ත්‍රීරෝද රථයක් මෙලෙස සොරා ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ පෙත්සමට අදාළ මෝසම අගවිනිසුරු හමුවට

(15.06.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිණිගැනීම පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති මෝසම අගවිනිසුරුවරයා හමුවට යොමුකිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) තීරණය කර තිබෙනවා.

ඒ පෙත්සම්කර පාර්ශවය ඉදිරිපත් කර ඇති මෝසම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහායි.

මෙම පෙත්සම් ලබන ජුලි මස 10 වනදා යලි කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහිදී තීරණය කර අති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


දිනකට ඩෙංගු වැළදුණු 4 ක් රිජ්වේ ළමා රෝහලට

(15.06.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

දිනකට ඩෙංගු උණ රෝගය වැළදුණු දරුවන් 4 දෙනෙකු හෝ 5 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට ඩෙංගු උණ වැළදුණු දරුවන් 34 දෙනෙකු පමණ රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර අද (15) දිනයේදී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට සඳහන් කළ රජයේ ඖෂධවේදින්ගේ සංගමය මේ වන විට සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡාවක නිරත වනවා.

එම සංගමයේ නියෝජිතයෙකු සඳහන් කළේ සාකච්ඡා අසාර්ථක වුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට කටයුතු කරන බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිවයි මොවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණේ ෴


එතනෝල් සහිත ලොරියක් පොලිස් අත්අඩංගුවට.

(15.06.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව එතනෝල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එගොඩ උයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 11 කට ආසන්න, ලීටර් 1300 කට අධික ප්‍රමාණයක් බැරල් හතක (7) අසුරා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එගොඩ උයන ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සුවඳ විලවුන් නිෂ්පාදනයට යැයි පවසා මත්පැන් සැකසීමට මෙම එතනෝල් රැගෙන යමින් තිබූ බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු සහ එතනෝල් තොගය අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


උතුරේ ධීවරයන් මෝදිට ලියයි

(15.06.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

උතුරේ ධීවර සංගම් එකමුතුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය යාපනය කාර්යාලයේ මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකාමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් වෙත භාර දුන් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

අදාළ ලිපිය යාපනය ධීවර සංගමයේ නියෝජිත අන්නලිංගම් අන්නරාසාගේ මූලිකත්වයෙන් යොමුකර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ මෙරට මුහුදු සීමාවට පැමිණ අනවසරයෙන් ධීවර කටයුතු වල නියැලෙන ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන හානිය සහ බලපෑම් වහාම නතර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර කඩිනමින් පියවරක් ගන්නා ලෙසද එහි සඳහන්.

එසේම, චීනයේ ආයෝජන ව්‍යාපෘතියක් වන මුහුදු කූඩැල්ලන් වගාව මෙරට මුහුදු සීමාවට නුසුදුසු බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා ෴


පාන් මිල අඩු කිරීමේ තීරණයෙත් වෙනසක්

(15.06.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

අද (15) දිනයේදි පාන් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණත් එය සිදුනොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කලේ, බලපත්‍රලාභින්ට පමණක් තිරිගු පිටි ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට ගෙන ඇති තීරණය ඊට හේතු වී ඇති බවයි ෴


ණය නිසා අතරමන්වූවන්ට පිළිසරණක්

(15.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ණය පහසුකම් ලබාගත් පුද්ගලයන්ගෙන් දහසක (1000) පමණ පිරිසක් පසුගිය වසරක කාලය තුළ ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුවෙන් උපදේශන සේවා ලබාගෙන තිබෙනවා.

එම පිරිස අතරින් සියයට 75 කට ආසන්න ප්‍රතිශතයක් අවිධිමත් ක්‍රම ඔස්සේ ණය සහ මූල්‍ය පහසුකම් ලබාගත් පුද්ගලයන් බව සඳහන්.

ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත වී ඇති දේපළ ඇප මත ණය පහසුකම් ලබාදෙන පුද්ගලයන්ගෙන් සහ වැඩි පොලී අනුපාත යටතේ ලියාපදිංචි නොවූ ආයතන මගින් මූල්‍ය පහසුකම් ලබාගත් පුද්ගලයන් ඒ අතර වැඩි වශයෙන් සිටින බව ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දැනට උපදේශනය සඳහා යොමුවූ පිරිසෙන් සියයට 50 ක ප්‍රතිශතයකට සාර්ථක විසදුම් ලබාදී තිබෙනවා.

සෙසු ගැටලු විසදුම් සඳහා අදාළ අංශ සමඟ සම්බන්ධීකරණය කර ඇති බව සඳහන්.

ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේයි.

විධිමත් මූල්‍ය ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ට පිළිසරණක් නොලැබුණු විට එම දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකියි.

පසුව අදාළ මූල්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කර ඊට විසදුම් ලබාදීමට ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව මැදිහත් වනවා.

එමෙන්ම අවිධිමත් ක්‍රම ඔස්සේ ණය ලබාගත් පුද්ගලයන්ටද සිය ගැටලු ඉදිරිපත් කළ හැකි අතර එහිදීද මහබැංකුව නිකුත් කර ඇති නිර්දේශ යටතේ උපරිම මැදිහත් වීම සිදුකරන බව ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර මහබැංකුව යටතේ මූල්‍ය පාරිභෝගික සහන දෙපාර්තමේන්තුව නමින් නව ඒකකයක්ද ස්ථාපිත කර තිබෙනවා.

1935 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් ජනතාවට සිය මූල්‍ය ගැටලු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැකියි ෴


දුක් ගැහැට විඳ දරුවන් ජීවත් කරනා අහිංසක පවුල සරණක් සොයයි

(15.06.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

සිය දරු පවුල රැකගැනීම සඳහා අසීමිත කැපකිරීම් කරන මව්වරුන් සහ පියවරුන් මේ සමාජයේ ඕනෑ තරම් අපිට මුණ ගැහෙනවා.

ආර්ථික අපහසුතා රැසක් මැද අනේකවිද දුක් කම්කටොලු විඳදරා ගනිමින් මහපාරේ ඇවිද යමින් රැකියාවේ යෙදෙන, එවැනි මවක් සහ පියෙක් පිළිබඳ සංවේදී පුවතක් කොළඹ ප්‍රදේශයේ දී ‘හිරු කැමරා කාචය’ට හසු වුණා.

කොසු, ඉදල් විකුණමින් සිය ජීවිකාව සරි කර ගැනීමට මහත් වෙහෙසක් දරණ මේ පවුල හිරු ප්‍රවෘත්ති කැමරාවට හසුවුනේ කොළඹ රාජකීය විදුහල අවට ප්‍රදේශයේ ඇවිදයමින් සිටියදීයි.

කලුතර නගරයේ කුලී නිවසක දිවි ගෙවන මේ පියා සහ මවත්, දරු දෙදෙනාත් (2) සෑම දිනකම කොළඹට පැමිණෙන්නේ කොසු ඉදල් විකුණා තම ජිවිකාව රැකගැනීමේ අපේක්ෂාව ඇතිවයි.

කුලී රැකියාවේ නිරතව සිටි ඒ.එස්.සී. මදුරංග නමැති මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර සිදුවූ අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර එතැන් සිට, ඔහු සිය අඹු දරුවන් සමඟ මහපාරට වැටී ඇත්තේ කුලී නිවසේ ණය මුදල් ගෙවා ගැනීමේ අපහසුතාවය නිසයි.

ආබාධිත තත්ත්වයේ පසුවන සිය සැමියාට ශක්තියක් වෙමින් චතුරාණි නමැති කාන්තාවත්, වයස අවුරුදු 5 ක සහ වයස අවුරුද්දක් (1) පමණ වූ සිය දරු දෙදෙනා (2) සමඟ මහමඟ ඇවිද යන්නේ පවතින ආර්ථික ගැටලු වලින් කෙසේ හෝ මිදීමේ අදිටන ඇතිවයි.

තම ලෙයින් උපන් දරුවන් මහමඟ දමා යන මව්පියන් සුලබ මෙවන් කාලයක, සිය දරු දෙදෙනා (2) වෙනුවෙන් ආර්ථික දුෂ්කරතා සියල්ල විඳදරාගන්නා මේ මව සහ පියා සමාජයට දෙන්නේ මව්පිය වගකීම පිළිබඳව නිහඬ නමුත් ප්‍රබල පණිවුඩයක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කරුණකි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *