‘වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්’ – රංජිත් සියඹලාපිටිය

‘වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්’ – රංජිත් සියඹලාපිටිය


‘වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්’ – රංජිත් සියඹලාපිටිය

(15.06.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවයි.

එවැනි තත්වයක් තුළ ණය ක්‍රමයකින් වාහන ආනයනය කිරීම ප්‍රවේශමින් කල්පනා කළ යුතු කරුණක් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ෴


ඩොලරය ඉහළට

(15.06.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනපද ඩොලරයක අද (15) ගැනුම් මිල රු. 311.60 ක් දක්වාත් විකුණුම් මිල රු. 328.92 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (14) දිනයේ ද ඩොලරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබූ අතර එය රුපියල් 9.77 ක අගයක් බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් වෙනස් වී තිබූ වාර්තා වෙනවා.

ඒ අනුව මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 313.46 අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 328.20 ලෙසයි.

ලංකා බැංකුවේ එම අගය රු. 315.00 ලෙස හා විකුණුම් මිල රු. 335.00 ලෙස වෙනස් වුණා.

සම්පත් බැංකුව එම අගයන් වාර්තා කර තිබුණේ රු. 311.28 හා රු. 328.00 ලෙසයි.

NDB හි ඩොලරයේ ගැනුම් මිල රු. 307.00 වූ අතර එහි විකුණුම් මිල රු. 327.00 ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම HNB හි එම අගයන් රු. 313.00 හා රු. 330.00 ලෙස ප්‍රදර්ශනය කර තිබූ බවයි වාර්තා වන්නේ ෴


සමුළුවකට එංගලන්තයට ගිය පොලිසියේ 4 ක් සැඟවේ

(15.06.2023 – 10:10 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සිවු (4) දෙනෙකුට සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොලිස් නිලධාරීන් හය (6) දෙනෙකුගෙන් සම්න්විත කණ්ඩායමක් පසුගිය මාසයේදී මෙරටින් පිටත්ව ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එහෙත් පසුහිය 04 වන දා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණ ද, මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ ඉන් දෙදෙනෙකු (2) පමණක් බවයි වාර්තා වන්නේ.

මේ වන තෙක් මෙරටට නොපැමිණ ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) සහ කොස්තාපල්වරු දෙදෙනෙක් (2).

පොලිසිය සඳහන් කරන්නේ මෙම නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වීමට ගොස් ඇත්තේ මෙරට පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය නියෝජනය කරමින් බව‍යි.

මේ වන තෙක් මෙරටට පැමිණ නැති නිලධාරීන්ගෙන් කිහිපදෙනෙකු පොලිස් මූලස්ථානයෙන් වසර 05 ක නිවාඩු ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් මෙම සමුළුවට සහභාගි වීමට ගොස් ඇත්තේ තමන්ගේ පෞද්ගලික මුදලින් බවත් අනාවරණය වෙනවා.

+


ප්‍රේම සම්බන්ධතාවයක් මත පුද්ගලයෙක් පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් සියදිවි නසාගනී

(15.06.2023 – 10:32 +0530 – hirunews.lk/sinhala)

සිය ප්‍රේම සබඳතාවය හේතුවෙන් පුද්ගල‍යෙක් සියදිවි නසාගෙන තිබෙනවා.

පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් මෙම පිපිරීමක් සිදුකරගෙන මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මැණික්හින්න, ගල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

ඊයේ (14) රාත්‍රියේදී කැලෑ බද ප්‍රදේශයකදි අවුරුදු 36 ක් වන පුද්ගලයෙක් මෙසේ තම දිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා

(15.06.2023 – 11:01 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 15 වැනි දින පැවැත්වෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අද (15) සිට ජූලි 06 දක්වා අයදුම්පත් කැඳවනු ලබන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11 ට අඩු අවුරුදු 10 හෝ 10 ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණක් බව සඳහන් ෴


‘උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක්’ ජනපති

(15.06.2023 – 11:11 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහයවීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතල තත්ත්වයකදී හැර එය වෙනස් කිරීමට නොහැකිවන අන්දමින් අදාළ නීති සකස්කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

සාමාන්‍යපෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී නිලධාරින්ට ප්‍රකාශ කළා.

රජයේ සහ පෞද්ගලික පාසල්වලද ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් තහවුරු විය යුතු බවත් ඒ සඳහා පරීක්ෂක කාර්යාල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැහැදිලි කර තිබෙනවා ෴


පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

(15.06.2023 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ජංගම දුරකථනයක් රැගෙනයෑම වැළැක්වූ පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

මුව ආවරණයක් නොමැතිව ජංගම දුරකථනයක් ද සහිතව අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කළ මෙම ව්‍යාපාරිකයාට ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් වරයා ජංගම දුරකථනය රැගෙන යාමට නොහැකි බවත් මුව ආවරණයක් පැළඳිය යුතු බවත් පවසා ඇත.

එයට උරණ වී ඇති ව්‍යාපාරිකයා සැරයන්වරයාගේ නිල ඇඳුමෙන් ඇද තල්ලු කර දමා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කර තිබෙන බව පොලීසිය පවසයි ෴


නුවරඑළිය රක්ෂිතයක දර කඩන්න ගිය කතක් අතුරුදන්

(15.06.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය, බෝඹුරුඇල්ල රක්ෂිතයට ඊයේ (14) දර කැඩීම සඳහා ගොස් සිටි කාන්තාවක් අතුරුදන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ පීඩාවත්ත, ලවර්ස්ලිප් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඊයේ (14) සවස 02:00 ට පමණ ඥාති පුතෙකු සමඟ එම රක්ෂිතයට ගොස් දර සොයමින් සිටින විට ඥාති පුතාට මෙම කාන්තාව මඟ හැරී තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නුවරඑළිය පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


නුවරඑලිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරිමේ යෝජනාවට විරෝධය

(15.06.2023 – 12:06 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි, සැමුවෙල් බේකර් යන ආණ්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලයක් ලෙස පැවත එන නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හඳුන්වනු ලබන වර්තමාන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක, තැපැල් සේවකයන්ගේ සහ මහජනතාවහේ දැඩි විරෝධතාවක් එල්ල වී තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත විදෙස් සංචාරකයන් තම සංචාරය තුළ විශේෂ කාලයක් වෙන් කර ගන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයට පැමිණ එහි සුබපැතුම්පක් තැපැල් මගින් තමන්ගේ රටේ සිටින පවුලේ සාමාජිකයන්ට යැවීමටයි.

මෙවන් වටිනාකම්වලින් හා මෙරටට විදේශ විනිමය ගෙන එනු ලබන ශ්‍රී ලංකාවට හා නුවරඑළියට මිල කළ නොහැකි සම්පතක් ලෙස එදා මෙදා තුර සැලකෙන නුවරඑළිය තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මූලික පෙළේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් යටතට පවරා සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති රජයේ යෝජනාවට සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය, එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හා නුවරඑළිය ස්වේච්ඡා සංවිධානය ඔවුන්ගේ විරෝධතාවයන් නොයෙක් අන්දමින් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තැපැල් සේවකයන්ගේ සංගම් සියල්ල තමන්ගේ විරෝධතාවය තැපැල් කාර්යාලය අවට ස්ථාන කිහිපයකදී වචනවලින් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පෙන්වා තිබුණු අතර නුවරඑළිය හඬ සංවිධානය මාධ්‍ය වෙත සිය විරෝධතාවය වාචිකව ප්‍රකාශ කරන්නට ද කටයුතු කරනු ලැබුවා.

නුවරඑළිය හඩ සංවිධානයේ ලේකම් පියසේන කහදගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
ඓතිහාසික වටිනාකම්වලින් පරිපූර්ණ නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් සඳහා අලෙවි කිරිමේ රජයේ සැලසුමට නුවරඑළිය රැකගැනීම වෙනුවෙන් දේශපාලනික හා ව්‍යාපාරික අරමුණින් තොරව කටයුතු කරන සිය සංවිධානයේ සියලුම සාමාජිකයන්ගේ බලවත් විරෝධතාවය ලේකම්වරයා වශයෙන් තමන් නිල වශයෙන් ප්‍රකාශ කරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *