කම්කරු නීති වෙනස් කිරීමෙන් වැඩකරන දින ගණන සහ පැය ගණන වෙනස් කිරීමට යෝජනා – දරු උපතකදී පියවරුන්ටත් නිවාඩු

කම්කරු නීති වෙනස් කිරීමෙන් වැඩකරන දින ගණන සහ පැය ගණන වෙනස් කිරීමට යෝජනා – දරු උපතකදී පියවරුන්ටත් නිවාඩු


කම්කරු නීති වෙනස් කිරීමෙන් වැඩකරන දින ගණන සහ පැය ගණන වෙනස් කිරීමට යෝජනා – දරු උපතකදී පියවරුන්ටත් නිවාඩු

(14.06.2023 – 19:42 +0530 – hirunews.lk/sinhala)

කම්කරු නීති වෙනස් කිරීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත ලබන මාසය වනවිට කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරන බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ හත්වන (7) සැසිය අද (14) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එහිදී මේ දක්වා ඉදිරිපත්ව තිබෙන යෝජනාවලට අදාලව සිදු කිරීමට අපේක්ෂිත සංශෝධනයන්ගේ සංක්ෂිප්තයක්ද ප්‍රසිද්ධියට පත් කෙරුණා.

ඒ අනුව සේවයට බදවා ගැනීමේදී හෝ සේවා ස්ථානය තුළ සේවයකු වෙනස් ලෙස සැලකීම වැලැක්වීමට නව පනත් කෙටුම්පත් තුලින් නීතිමය ප්‍රතිපාදන හදුන්වා දීමටයි යෝජනා කර ඇත්තේ.

එමෙන්ම පඩිපාලක සභා අඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබද සඳහන් විධි විධාන අතර ඇති විෂමතා ඉවත් කර සෑම සේවයකුටම සමාන නෛතික තත්වයක් ඇති කිරීමටත් නව පනත් කෙටුම්පතෙන් අපේක්ෂිතයි.

නව කම්කරු නීති සංශෝධනය මගින් සේවකයාගේ කැමැත්ත මත වැඩ කරන දින සහ පැය ගණන වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම රැකියා ස්ථානයේ සියලු කරදර, හිරිහැර කිරීම් හා ලිංගික හිංසනය වැලැක්වීමට අදාළ නීතිමය ප්‍රතිපාදනද සංශෝධිත කම්කරු පනත් කෙටුම්පතට ඇතුලත් කෙරෙන බවයි කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටියේ.

මෙම කම්කරු පනත් කෙටුම්පත මගින් අර්ධකාලීන රැකියාවල නිරත වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදුන්වා දී තිබෙනවා. යම් කොන්දේසි වලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සදහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන ලිහිල් කිරීම සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම දරු උපතකදී පීතෘ නිවාඩු සම්බන්ධයෙන්ද නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට කටයුතු කරන බවද කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අතිකාල සේවයේ නිරත ප්‍රමාණය හා ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් ඒකමතික ක්‍රමයක් හදුන්වා දීමට නියමිත අතර වැඩකරන සේවකයින්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබද නීතිමය ප්‍රතිපාදනද මෙම පනත් කෙටුම්පත් ඇතුලත්.

මේ අතර විදේශීය සේවකයෙකු ශ්‍රී ලංකාවේ සේවය කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටියක් හදුන්වා දීම මෙන්ම පුහුණුවන්නන්, ආධුනිකයින්, අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් හී නිරත වන අතරතුර සේවයේ නිරත අයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමටද මෙමගින් අපේක්ෂිතයි.

සේවකයින්ගේ වෘත්තිය ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය සුබසාධනය පිළිබදව මෙම සංශෝධිත කම්කරු පනත් කෙටුම්පත් මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් පවසා සිටියේ.

+

විදේශ සංචිත අඩුනොකර වාහන ගෙන්වන්න ආනයනකරුවන් සූදානම්

(14.06.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින විදේශ සංචිත යොදා නොගනිමින් වාහන ආනයනය කිරීමට තමන්ට හැකියාව පවතින බව ‘සමස්ත ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.

වාහන ආනයනය සම්බන්ධයෙන් යළිත් වරක් සමාජ අවධානය යොමුවුණේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සංවාදයට ලක්වීමත් සමගයි.

වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ලඟාකර ගැනීමට රේගුවට නොහැකි වී ඇති බවයි එහිදී රේගු නිලධාරින් ප්‍රකාශ කළේ.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (14) අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, එහි විකුණුම් මිල රුපියල් 318.99 ක් ලෙස අද (14) දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 303.19 ක් ලෙසයි.

ඊයේ (13) එහි විකුණුම් මිල රුපියල් 309.22 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල රුපියල් 294.91 ක් ලෙස සටහන් වුණා.

+

හොරණ වෙඩි තැබීමක්

(14.06.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

හොරණ පෝරුවදන්ඩ ප්‍රදේශයේ දී අද (14) පස්වරුවේ අහසට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය සදහන් කලේ පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් කිසියම් පිරිසක් බිය ගැන්වීමේ අරුමුණින් අහසට වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ගිණි අවියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

ජනපති සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර සාකච්ඡා අවසන්

(14.06.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පස්වරුවේ පැවැත්වුණා.

ජනාධිපතිවරයාගේ දැනුම්දීමකට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙම රැස්වීම කැඳවා තිබුණා.

ඒ අනුව, තමන් මෙම රැස්වීමට සහභාගි වන බව රැස්වීමට ආරම්භයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙරේදා (12) දිනයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවා තිබු නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් හැර අනෙකුත් සියලුදෙනා එම සාකච්ඡාවට සහභාගි නොවීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකර ආණ්ඩුව පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු නියෝජිතයන්ට එම රැස්වීමට සඳහා ආරාධනා කර තිබීම ඊට හේතු වුණා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහභාගි වී තිබුණා.

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද (14) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව පසුගියදා පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

මේ අතර ප්‍රංශ සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙලේ සාකච්ඡා සභාවක් ඇමතීමට ආරාධනා කර තිබෙනවා.

ඒ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින්. ජනාධිපතිවරයා ලබන 16 වනදා මහා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ලබන 22 වනදා අදාළ ගෝලීය නායක සමුළුව පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිතයි ෴

+

සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක වෙඩි තැබීමේ සිද්ධියකට අත්අඩංගුවට

(14.06.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala)

හොරණ – බොරළුගොඩ ප්‍රදේශයේ වතුයායකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක, හිටපු පා.ම. පී.ඩී. අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා සන්තකේ තිබූ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් (3) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කර ඇති බව පොලිසිය පවසනවා.

සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

මත්පැන් දන්සැලක් දෙන බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ තරුණයින් ඇප මත මුදාහැරේ

(14.06.2023 – 21:36 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් දන්සලක් පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය (6) දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී එක් සැකකරුවෙකු රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග කළේ.

කටුනායක පදිංචි වයස 20 ත් 25 ත් අතර පසුවන තරුණයන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴

+

බන්ධනාගාරවල තද බදය හොඳටම වැඩි වෙලා

(14.06.2023 – 21:50 +0530 – hirunews.lk/sinhala)

රැඳවියන් 11,762 ක් පමණක් රැඳවිය හැකි රටපුරා බන්ධනාගාරවල රැඳවියන් 26,791 ක් රඳවා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසුවා.

බන්ධනාගාරවල තදබදය සියයට 250 කින් ඉහළ ගොස් ඇතැයිද ඇය සඳහන් කළා.

ඇතැම් බන්ධනාගාර වල තදබදය සියයට 300 කින් 400 කින් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය (09) වැනිදා පැවැත්වූ රැස්වීමේදී මේ බව අනාවරණය වුනා.

බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් 17,502 ක් රිමාන්ඩ් සිරුකරුවන් බවත් ඒ අතර 10,470 ක්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවත් මෙහිදී තොරතුරු අනාවරණය වුනා.

එසේම වැරදිකරුවන් බවට අධිකරණයෙන් නියමවූ පුද්ගලයන් 9,289 ක් සිටින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉන් 3,569 ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවද සඳහන් කළා.

මේ අතර දඩ මුදල් ගෙවා ගත නොහැකි 1309 ක්ද බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර ප්‍රධානීන් සඳහන් කළා.

දඩමුදල් ගෙවාගත නොහැකි පිරිස් වෙසක් පොසොන් වැනි අවස්ථාවලදී විශේෂ සමාව යටතේ නිදහස් කළද නැවත කෙටිකලක් තුළ වැරදිකරුවන් ලෙස බන්ධනාගාරගතවීම විශාල ගැටලුවක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මෙහිදී පැවසුවා.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය වුනා.

මේ අනුව නව මධ්‍යස්ථාන නවයක (9) පුනරුත්ථාපන කටයුතු සිදුවන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මෙම තත්වය පාලනය සදහා අවශ්‍ය යෝජනා සහ සැලසුම් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළා.

බන්ධනාගාරයන්හි පුද්ගල ශරීර පරීක්ෂාව කරන සහ භාණ්ඩ මලු පරීක්ෂා කරන යන්ත්‍ර 11 කින් 4 ක් ක්‍රියා විරහිත බවද මෙහිදී තොරතුරු අනාවරණය වුනා.

මෙම යන්ත්‍ර වසර 10 කට වැඩි කාලයක් පැරණි බැවින් අලුත්වැඩියාවට යන වියදම දෙස බැලීමේදී නව යන්ත්‍ර මිලදී ගැනීම ලාබදායී බව නිලධාරීහු පෙන්වා දුන්නා.

මේ අනුව සියලු බන්ධනාගාරවලට අදාළව අවශ්‍ය යන්ත්‍ර පිළිබදව සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කෝපා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ෴

+

මැතිවරණ කොමිසමෙන් ජනතාවට දැනුම් දීමක්

(14.06.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂය සඳහා ජන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරී මට්ටමින් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ග්‍රාම නිලධාරීවරයා නිවසට නොපැමිණියේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවන ලෙසයි.

2022 ජන්දහිමි ලියාපදිංචි විස්තර ලබාගත හැකි ක්‍රම කිහිපයක් ඇති අතර ඒ අතර ග්‍රාම නිලධාරීන්ගෙන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ https://www.elections.gov.lk වෙබ් අඩවියෙන් මෙම විස්තර ලබා ගත හැකි‍යි ෴

+

‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා ට

(14.06.2023 – 16:27 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමිවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධර්මා සමරනායක මහත්මිය විසින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

එම නඩුවේ දී කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, පැමිණිලිකාර සමරනායක මහත්මිය විසින් සිදුකරන ලද්දේ අදාළ ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවය.

එම ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට මුදල් ගෙවා ඇති බවත් අදාළ සමාගම වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

2013 වසරේ එම නඩුවේ තීන්දුව ලබාදුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කර්තෘ අයිතිය පැමිණිලිකාර සමරනායක මහත්මියට හිමි බවට තීන්දු කොට බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකරන ලෙසත් සරසවිය ප්‍රකාශන සමාගම වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නඩු විභාගයේ දී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම, රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු වන බවට නිගමනය කර තිබේ.

අදාළ වාණිජ මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබුණි.

ඒ අනුව සරසවි ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සරසවි ප්‍රකාශන සමාගමට රුපියල් 25,000 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට නියෝග කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *