ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න


ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

(21.05.2026 – 13:29 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

ජංගම දුරකථන අස්ථානගත වීම, නැතිවීම සහ සොරකම් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම දෛනිකව පැමිණිලි ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ජංගම දුරකථනයක් වෙනත් පාර්ශවයක අතට පත්වීමෙන් පුද්ගලික තොරතුරු, මූල්‍ය තොරතුරු, ඡායාරූප සහ සංවේදී දත්ත අවභාවිතා කිරීමේ අවදානමක් පවතින බව ද පොලිසිය සඳහන් කරයි.

විශේෂයෙන් සමාජ විරෝධී සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන යොදා ගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ද පොලිසිය අවධාරණය කරයි.

ජංගම දුරකථනයක් නැතිවූ හෝ සොරකම් වූ අවස්ථාවකදී පළමුව සිම්පත අක්‍රීය කළ යුතු බවත්, ඒ සඳහා අදාල දුරකථන සේවා සපයන ආයතනය සම්බන්ධ කර ගත හැකි බවත් පොලිසිය පෙන්වා දෙයි.

එමෙන්ම දුරකථනයේ IMEI අංකය වෙනම සටහන් කර තබා ගැනීම වැදගත් බව ද පොලිසිය පවසයි. එම අංකය ලබා ගැනීම සඳහා *#06# කෙටි යෙදුම භාවිත කළ හැකිය.

අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද දුරකථන සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී ඇති ‘I need’ මෘදුකාංග පද්ධතිය භාවිත කළ හැකි අතර, ඒ සඳහා https://ineed.police.lk/ වෙබ් අඩවිය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද දැනුම් දෙයි.

2024 වසරේදී අස්ථානගත වූ ජංගම දුරකථන 2796 ක් සොයාගෙන හිමිකරුවන්ට භාර දීමටත්, සොරකම් කරන ලද දුරකථන 928 ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම 2025 වසරේදී අස්ථානගත වූ දුරකථන 2355 ක් සොයාගෙන ඇති අතර, සොරකම් කරන ලද දුරකථන 1019 ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබේ.

තමන්ට අයත් නොවන දේපලක් හමු වූ විට එය ළඟම ඇති පොලිස් ස්ථානයකට භාරදීම ජනතාවගේ වගකීමක් බවත්, එසේ නොකළහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවත් පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි ෴


ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

(21.05.2026 – 09:41 +0530 – sinhala.adaderana.lk)

ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281 ක් වුවත් කලා භවනේ මේ වනවිට ඇත්තේ, සිතුවම් 239 ක් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය ෴


RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

(21.05.2026 – 05:47 +0530 – sinhala.adaderana.lk)

වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා සිදුකළ ද එහිදි ලබාදුන් පොරොන්දු මේ දක්වාත් ඉටු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව ඔවුන් පෙන්වා දෙයි.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සමග අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමේය සභාපති උමේෂ් අලුතාපල මහතා :

“RDA ඉංජිනේරුවරු RDAයෙන් පිටත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වේවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වේවා ගොඩක් කමිටුවලට සහභාගී වෙනවා. මේ දේවල්වලින් ඉවත් වෙන්නත් ඊට අමතරව සියලුම මාර්ග සංවර්ධන අධිකාරියේ පනතින් පැවරුණේ නැති නමුත් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සිදුකරන RDA ඍජුව සම්බන්ධ නැති කටයුතුවලින් ඉවත්වෙන්නත් තීරණය කරලා තියෙනවා. මේකේ බලපෑම වන්නේ ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතු සඳහා අපි සම්බන්ධ නොවීම තුළින් ගැටලු රැසකට මුහුණදෙන්න සිදුවෙනවා. විසඳුමක් නොලැබුණොත් අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන්නත් කටයුතු කරනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *