ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් හෙට (15) සිට

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් හෙට (15) සිට


ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් හෙට (15) සිට

(14.06.2023 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට (15) සිට ආරම්භ කරන බව‍ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

නව වැඩපිළිවෙල යටතේ අයඳුම් කර දින තුනක් (3) ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගත හැකි බවත් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔහු පවසන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින (1) සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වන බවයි ෴

+

සූපවේදී පබිලිස් සිල්වාගේ කෘතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

(14.06.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ 2005 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු ‘ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්’ නමැති සිංහල පොතේ ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් උද්ගතව තිබුණා.

මෙම ගැටලුකාරී තත්ත්වය සමථයකට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා.

මෙම තීන්දුව පබිලිස් සිල්වාට සහ මෙම කෘතියෙහි ප්‍රකාශකයන් වන සරසවි ප්‍රකාශකයන්ට පක්ෂව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය වාර්තා වන අන්දමට, ‘ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රට වට ඉවුම් පිහුම්’ නමැති කෘතියෙහි ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් 2013 වසරේ වාණිජ මහාධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව නඩුවේ විත්තිකාර අභියාචනාකරු වන සරසවි ප්‍රකාශකයෝ (පෞද්ගලික) සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී මෙම කෘතියෙහි කතුවරයා වන සූපවේදී පබිලිස් සිල්වාට සහ සරසවි ප්‍රකාශකයන්ට පක්ෂව එම තීන්දුව ප්‍රකාශ කොට ඇත්තේ මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක විසින්.

එහෙත් මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ ධර්මා එස්. සමරනායක නමැත්තියක් විසින් බවයි වාර්තා වන්නේ. ඇය සිංහල කාන්තා පුවත්පතක හිටපු කර්තෘවරියක්.

කෘතිය සම්පාදනය කිරීම වෙනුවෙන් ඇයට සරසවි ප්‍රකාශකයන් විසින් ගෙවීමක් කර තිබුණේ පබිලිස් සිල්වාගේ ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.

පොතේ ප්‍රකාශන අයිතිය සම්පූර්ණයෙන්ම හිමිව තිබුණේ සූපවේදී පබිලිස් සිල්වාටයි.

පොතේ හිමිකරු ලෙස ඔහු සරසවි ප්‍රකාශකයන් සමඟ ගිවිසුමකට එළැඹ තිබුණ අතර එහි කොන්දේසි මත සරසවි ප්‍රකාශකයෝ සූපවේදී පබිලිස් සිල්වාට කර්තෘභාග ගෙවා තිබෙනවා.

එහෙත් එහි හයවන සංස්කරණය සිදු වුණ 2008 වසරේදී මෙම කෘතිය සම්පාදනය කරන ලද ධර්මා එස්. සමරනායක විසින් පොතේ කතුවරිය තමන් බැවින් ඇයට කර්තෘභාග හිමි විය යුතු යැයි සරසවි ප්‍රකාශකයන්ට එරෙහිව මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එහිදී මහාධිකරණය විසින් ඇයට පක්ෂව තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශන අයිතිය ධර්මා එස්. සමරනායක සතු වන බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම සරසවි ප්‍රකාශකයන්ට පොත ප්‍රකාශනය කිරීම, බෙදාහැරීම, සන්තකයේ තබාගැනීම සහ විකිණීම වළක්වමින් ස්ථිර වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ සම්පාදකයාට ගෙවීමක් කරන ලෙස ද ප්‍රකාශකයාට නියෝග කර තිබෙනවා

පසුව සරසවි ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය විභාග කිරීමෙන් ද, සියලු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් සහ මහාධිකරණය විසින් ලබාදුන් පූර්ව තීන්දුව ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශ කර ඇත්තේ කෘතියේ කතෘ, හිමිකරු සහ ප්‍රකාශන හිමිකරු වන්නේ ධර්මා එස්. සමරනායක නොවන බවයි.

එමෙන්ම මහාධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කරන ලෙසත්, ධර්මා එස්. සමරනායක විසින් කරන ලද පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුවක් ලබා දී තිබෙනවා ෴

+

යාපනය කොටුවේ සිට ගාලු කොටුවට පා ගමනින් පැමිණ වාර්තාවක් පිහිටුවීමට සූදානම්වන අයියා මලෝ

(14.06.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් (3) වැනි කෙටි කාලයකින් නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට නිවුන් සොහොයුරන් දෙදෙනෙක් (2) සූදානම් වෙනවා.

මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා අද (14) අලුයම 04:00 යාපනය කොටුව ඉදිරිපිටින් ගමන් ආරම්භ කරනු ලැබූ අතර. දින තුනක් (3) අඛණ්ඩව ගමන් කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවීමට සූදානම්වන බවයි වාර්තා වන්නේ.

යාපනය, කොටුවේ සිට ගාල්ල, කොටුව දක්වා නොනැවතී පා ගමනින් ගමන් කර ලෝක වාර්තාවක් පිහිටුවීම තම අරමුණ බවයි ඔවුන් පවසන්නේ.

මෙම සොයුරන් දෙදෙනා (2) බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්.

යාපනය ඒ-9 මාර්ගය ඔස්සේ අනුරාධපුරය දක්වා පැමිණ අනුරාධපුරයේ සිට පුත්තලම දක්වා ද පුත්තලමේ සිට මීගමුව දක්වා පැමිණ මීගමුවේ සිට කොළඹ දක්වා ද ඊට පසුව ගාල්ල දක්වා ද ගමන් කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ ෴

+

ගුණාත්මක මාධ්‍ය දර්ශකයක් සකස් කිරීමට වසර 10 ක ජාතික සැලැස්මක්

(14.06.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ගුණාත්මක මාධ්‍ය දර්ශකයක් සකස් කිරීම වෙනුවෙන් වසර 10 ක් අරමුණු කොට ගත් ජාතික සැලැස්මක් සකස් කිරීම පිළිබඳව මාධ්‍යය, තාරුණ්‍යය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එම කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි.

කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ හොරණ ශ්‍රී පාලි මණ්ඩපය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ සහා පැමිණ සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය කියා සිටියා.

මෙහිදී ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය, ගුණාත්මකව ටෙලිනාට්‍යය සකස් විය යුතු ආකාරය, මෙරට ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සහ ළමයින් සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියා කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා ෴

+

පාසල් ගුරුවරියක් අමානුෂික ලෙසින් ඝාතනය කෙරේ

(14.06.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala)

පාසල නිමවී නිවස වෙත යමින් සිටි පාසල් ගුරුවරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඌරුබොක්ක – දොළමුල්ල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

ඝාතනයට ලක් වූ ගුරුවරිය 26 වියෙහි පසු වූ අයෙක් බව සඳහන් ෴

+

පාතාල සාමාජික රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූනා’ ජුනි 19 වැනිදා දක්වා රිමාන්ඩ්

(14.06.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala)

පාතාල සාමාජික ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරු මූනා’ නැමැත්තා ජුනි 19 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා.

පසුගිය පෙබරවාරි 24 වනදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොල පොලීසිය වෙත භාරදී තිබුණා.

එහිදී ‘බූරු මූනා’ නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමෙන් අනතුරුව මාර්තු මස 17 වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

පාසල් ළමුන් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් පෙරළී සිසුන් 9 ක් සමග රියදුරා රෝහලේ

(14.06.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ විදුහල් දෙකක (2) පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් පෙරළී යාම නිසා සිසුන් නව (9) දෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරා ලබා තිබෙනවා.

තුවාලකරුවන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

යාපනය පොලීසිය ප්‍රකාශ කළේ උදෑසන ත්‍රීරෝද රථ දෙකකින් (2) පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබියදී එක් ත්‍රීරෝද රථයක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා එම ත්‍රීරෝද රථයේ සිටි සිසුන්ද අනෙක් ත්‍රීරෝද රථයේ නංවා ගෙන ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථය තාප්පයක ගැටී පෙරළී යාම නිසා මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්.

අනතුරට පත්ව ඇත්තේ යාපනය කොලුම්පුතුරේ හින්දු විද්‍යාලයේ හා කොලුම්පුතුරෙයි තුරෙයිරාසා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් නව දෙනෙකි.

තුවාල ලැබූ දස (10) දෙනාගේම තත්ත්වය අසාධ්‍ය නොවන බව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට සිටි අතර සිද්ධියෙන් කෝපයට පත් දෙමව්පියන් පිරිසක් කාර්මික දෝෂයට ලක් වූ ත්‍රීරෝද රථයේ රියදුරාට පහර දීමට උත්සහ කොට ඇත්තේ ළමයින් නිසි ලෙස පාසලට රැගෙන යාමට ඔහු අපොහොසත් වූ බව කියමිනි.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

+

දස (10) හැවිරිදි සිසුවි‍යක් අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(14.06.2023 – 18:34 +0530 – hirunews.lk/sinhala)

දස (10) හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු යටවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

සිසුවියගේ මව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිටින මෙම පුද්ගලයා එම නිවස තුළදී මෙම අපයෝජනය සිදුකර ඇති බවයි යටවත්ත පොලීසිය පවසන්නේ ෴

+

ප්‍රේම සබඳතාවක් නිසා ගුරිවරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

(14.06.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි ගුරුවරියක ඝාතනය කර තිබෙනවා.

පාසල නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී අද (14) පස්වරුවේ ඇය ඝාතනය කර ඇති බවයි පොලිසීය සදහන් කළේ.

ප්‍රේම සබඳතාවක් නිසා ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ඝාතනය සිදු කළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ගතවූ කාලය තුළ දකුණු පළාතෙන් වෙඩි තැබීම් සහ තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ පුද්ගල ඝාතන පිළිබද සිද්ධීන් රැසක් වාර්තා වුණා.

ඊට ආසන්නතම සිදුවීම ඊයේ (13) වාර්තා වූයේ මාතර දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයෙන්.

එහිදී පුද්ගලයෙකුට මොටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.

එමෙන්ම ගාල්ල අක්මීමන කපුහෙම්පළ ප්‍රදේශයේදී සහ කොස්ගොඩ ඉදුරුව ඇටලවත්ත නැගෙනහිර ප්‍රදේශයෙන්ද ඊයේ (13) ඝාතන සිද්ධීන් වාර්තා වුණා.

පොලීසිය සදහන් කළේ වසරේ (2023) මේ දක්වා කාලය තුළ වැඩිම පුද්ගල ඝාතන සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී ඇති බවයි.

මේ අතර වෙන්නප්පුව වයික්කාල අළුත්තොට ප්‍රදේශයේදී බේකරියක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේද අද (14) අළුයම් කාලයේදීයි.

තිස් දෙහැවිරිදි (32) වියේ පසු වූ ඇය දෙදරු මවක් වන අතර සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *