රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වෙයි

රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වෙයි


රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වෙයි

(14.06.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, එහි විකුණුම් මිල 318.99 ක් ලෙස අද (14) දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ 303.19 ක් ලෙසයි.

ඊයේ (13) එහි විකුණුම් මිල 309.22 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල 294.91 ක් ලෙස සටහන් වුණා ෴

+

නාවික හමුදා ඉතිහාසය වෙනස් කළ කිමිදුම් මෙහෙයුම

(14.06.2023 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඔස්ට්‍රේලියා කලාපයට අයත් මුහුදේ දී අනතුරට පත් චීන යාත්‍රාවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා සිය දායකත්වය ලබා දුන්නා.

මෙම මෙහෙයුම, ශ්‍රී ලංකා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් ගැඹුරු මුහුදේ වැඩිම දුරක් ගොස් දියත් කළ මෙහෙයුම ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

ලු පෙන්ග් යුආන් යු 028 නමැති චීන ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඔස්ට්‍රේලියා සෙවීම් සහ මුදා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේ දී අනතුරට පත්ව තිබුණේ පසුගිය මස 16 වැනිදායි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත, අනතුරට පත් නෞකාවේ ධීවරයින් සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව මේ මස 10 වැනිදා පිටත්ව ගියේ නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් ද සමගින්.

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම එහි ළඟා වනවිට ගැඹුරු මුහුද දැඩි ලෙස රළු වී තිබුණා.

එහෙත්, නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායමේ දෙදෙනෙක් (2) පළමුව යාත්‍රාව තුළට පිවිස එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙහෙයුම දියත් කළා.

උඩුකුරුව පෙරළී තිබූ යාත්‍රාවට පිවිසීම ඉතා අපහසු වුවත්, යාත්‍රාවේ සියලුම ස්ථාන නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම එහි තිබූ මළ සිරුරු 14 ක් ගෙන තිබෙනවා.

යාත්‍රාවේ තිබී සොයාගත් මළ සිරුරු 14 න් 2 ක් විධිමත් එකඟතාවකින් පසු එම ස්ථානයේ තිබූ ඩි ටියාන් නමැති චීන ටග් යාත්‍රාවට භාර දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගත්තා.

සෙසු මළ සිරුරු 12 ගොඩට ගැනීමට නොහැකි තත්ත්වයට නරක් වී තිබූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළා.

මෙම මෙහෙයුම, ශ්‍රී ලංකා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් ගැඹුරු මුහුදේ වැඩිම දුරක් ගොස් දියත් කළ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක් වනවා ෴

+

‘සුදු වීම උන්මාදයක් වෙලා’ වෛද්‍ය ඉන්දිරා කහවිට

(14.06.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කරන්නේ ඇතැම් කාන්තාවන්ගේ ආකල්පමය ගැටලු හේතුවෙන් සම සුදු කිරීම සඳහා භාවිත කරන අලේපන නිසි සොයා බැලීමකින් තොරව භාවිත කිරීමට පෙළඹී ඇති බවයි.

ආලේපන විශාල සංඛ්‍යාවක් විකිණීමට තිබ්බත් කිසිවෙකුත් එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමක් නොකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වෛද්‍යතුමිය ප්‍රකාශ කළේ බොහෝ දෙනා සැලකිලිමත්වෙන්නේ එම ආලේපනයෙන් කොපමණ සුදු වනවා ද යන්න සහ ඉක්මනින් සුදු විය හැකිද යන කාරණා ගැන මිස එය ආරක්ෂිත ද? රෙජිස්‍ටර් කර තිබේද යන්න ගැන නොවන බවයි.

එමෙන්ම සුදු කියන්නේ මිථ්‍යාවක් පමණක් බවත් වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම උන්මාදයක් වී අති බවත් ඇය සඳහන් කර සිටියා.

වෛද්‍යතුමිය මෙම අදහස් පළ කළේ අද (14) සෞඛ්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

+

රිදියගම සෆාරි උද්‍යානයේ ෂීනා සිංහ ධේනුව යළිත් වරක් පැටවුන් දෙදෙනෙකු බිහි කරයි

(14.06.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

රිදියගම සෆාරි උද්‍යානයේ ෂීනා සිංහ ධේනුව යළිත් වරක් පැටවුන් දෙදෙනෙකු (2) බිහි කර තිබෙනවා.

මෙලෙස ෂීනා තුන්වැනි (3) වරට මව් පදවියෙන් පිදුම් ලැබුවේ ගැහැණු පැටවුන් දෙදෙනකු (2) බිහි කරමින්.

වයස අවුරුදු 14 වන ෂිනා මින් පෙර අවස්ථා 2 කකදී පැටවුන් බිහි කර තිබෙනවා.

රජයේ සත්ත්ව හුවමාරු වැඩසටහන යටත් ජර්මන් රජයේ පරිත්‍යාගයක් ලෙස ෂිනා මෙරටට හිමිවී ඇත්තේ මීට වසර 6 කට පමණ පෙරයි.

දෙහිවල සත්ත්වෝද්‍යානයට හිමිවූ මෙම සිංහ ධේනුව පසුව රිදියගම සෆාරි උද්‍යානය වෙත ගෙනැවිත් තිබෙනවා.

සත්ත්ව උද්‍යාන පාලකවරයා සඳහන් කළේ ඉදිරි සති දෙක (2) තුළ එම පැටවුන් මහජන ප්‍රදර්ශනයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

+

කතරගම පාද චාරිකාවේ නිරත වූ කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

(14.06.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයට සහභාගි වීම සදහා පාද යාත්‍රාවේ එමින් සිටි කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

යාල වනෝද්‍යානයේ ලිං 3 ප්‍රදේශයේදී ඊයේ (14) මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය – ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්.

ඇගේ මෘත ශරීරය දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴

+

මහර බන්ධනාගාරයේ ගැටුම ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

(14.06.2023 – 14:50 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැඳවියන් පිරිසක් මරණයට පත් වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභිආයචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ගැටුමෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නැමති රැදවියකුගේ බිරිද විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂකවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයායි.

පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය අප්‍රේල් මස 26 වැනිදා වැලිසර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ අධිකරණ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි ෴

+

උතුරේ ධීවරයින්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙත්සමක්

(14.06.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන හානි බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා වෙත 13 දා පෙත්සමක් යවා තිබෙනවා.

උතුරේ එක්සත් ධීවර සමීති සංගම් එකමුතුව නියෝජනය කරමින් මෙම පෙත්සම එහි සභාපති ඒ. අන්නාරාසා විසින්
යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත බාරදී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යැවීම සඳහායි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලගදීම ඉන්දියාවේ සංචාරයක් අරඹන බැවින් එහිදී පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට අවසන් විසදුමක් ලබා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමීති එකමුතුව ඉල්ලා තිබෙනවා.

ඉන්දීය ධීවරයින් බලහත් කාරයෙන් උතුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වන අතර වාරයේ චීන ධීවර සමාගම් ශ්‍රී ලංකාවේ දකුණේ ධීවර සංගම් තුළට රිංගා නීති විරෝධී ලෙස මසුන් මැරීම නිසා උතුරේ ධීවරයින්ට හා ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති නිසා මේ ගැටලු ඉන්දීය හා ශ්‍රී ලංකා නායකයින් විසින් සාකච්ඡා කොට අවසන් නිගමනයකට පැමිණිය යුතු බව උතුරේ ධීවර සමීති පෙන්වා දෙනවා.

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන විවිධ බලපෑම් වසර හතළිහකටත් (40) වඩා වැඩි කාලයක් සිදු වන නිසා මේ ප්‍රශ්නය විසදා ගැනීමට රටවල් දෙකම ලබා ගත් කාලය හොදටම ප්‍රමාණවත් වන නිසා මෙවර එම ප්‍රශ්න වලට ස්ථිර විසදුමක් ලබා ගන්නා ලෙසද උතුරේ ධීවර සංගමය විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ වැඩිදුරටත් සදහන් කොට තිබෙනවා ෴

+

යාපනයේ එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු (3) ලන්ඩනයේ රිය අනතුරකින් මරුට

(14.06.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ලන්ඩනයේ චිචෙස්ටර් (Chichester) නගරයේ ඩන්ක්ටන් (Dunston) ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් යාපනයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු (3) මියගොස් තවත් හතර දෙනෙකු (4) 13 දා තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර සිටින තවත් කාන්තාවක් ඉතා බරපතල තත්ත්වයේ සිටින අතර ඇය මෝටර් රථය පදවා ගෙන ගිය කාන්තාව වනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකිනි.

ලන්ඩනයේ පදිංචි වී සිටින මියගිය අයගේ ඥාති පුතෙකු විසින් මියගිය පිරිස හඳුනාගෙන තිබෙනවා.

ඔහු ප්‍රකාශ කොට ඇත්තේ විවාහ මංගල්ලය සදහා පවුලේ උදවිය මෝටර් රථ දෙකකින් (2) ගමන් කළ බවත් ඉන් බී.එම්.ඩබ්ලිව් (BMW) වර්ගයේ මෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මියගිය අයගේ මළ සිරුරු තුන (3) යාපනයට රැගෙන ඒම සදහ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි හතක් (7) පමණ වැය වන නිසා අවසන් කටයුතු ලන්ඩනයේදී සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කොට ඇති බවද ඔහු ප්‍රකාශ කොට තිබෙනවා.

මියගොස් ඇත්තේ මව හා දියණියන් දෙදෙනෙකු (2) වන අතර ඔවුන් වසරකට ඉහතදී යාපනයේ සිට කැනඩාවට ගොස් මීට දින කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් ඇත්තේ විවාහ මංගල්ලයකට සහභාගී වීම සඳහායි.

චිචෙස්ටර් නගරයේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා ෴

+

ත්‍රිරෝද රථයක් විකුණන මුවාවෙන් රුපියල් ලක්ෂ 10 ක් අරන් පැන්න නාවික සෙබළා කොටු

(14.06.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථයක් විකිණීමට තිබෙන බව පවසා ගෙන්වා ගත් පුද්ගලයකු සතු මුදල් කොල්ලකා පලා ගිය නාවික හමුදා සෙබළකු ඕකෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 10 ක මුදලක් රැගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගැනීමට පැමිණි පුද්ගලයා නීති විරෝධී මත්පැන් අලෙවි කරන ස්ථානයකට ගෙන්වා ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී පොලිසියෙන් පැමිණෙන බව පවසමින් පුද්ගලයා අත තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදල ද රැගෙන නවික හමුදා සෙබලා පලා ගොස් තිබෙනවා.

මෙම කොල්ලකෑමට යුද හමුදා සෙබළුන් දෙදෙනකු (2) ද සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට ඕකේවෙල පොලිසිය විමර්ශන සිදුකරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *