‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට


‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

(13.06.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala)

බුදු දහමට අපහාස කළා යැයි චෝදනා ලැබූ නතාෂා එදිරිසූරියගේ සිද්ධියට අදාළව වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක් සඳහා ‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක, අද (13) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණා ෴

++++++++

බෲනෝගේ යූ ටියුබ් නාළිකාවට මුදල් යෙදවූ පුද්ගලයා ට කැඳවීමක්

(13.06.2023 – 15:11 +0530 – sinhala.adaderana.lk)

බෲනෝ දිවාකර නැමැත්තාගේ SL VLOG යූ ටියුබ් නාළිකාවට මුදල් යෙදවූ බවට නම කියවුණු ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක අද (13) පෙරවරුවේ පොල්හේන්ගොඩ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.

ඒ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක :

“අපිට දැනුම්දුන්නා මෙතනට ඇවිල්ලා අපේ වත්කම්වල ප්‍රකාශයක් ලබා දීලා. තියෙන සියලුම තොරතුරු පොලීසියට ලබාදෙන්න කියලා. ඉතාමත්ම හොඳ දෙයක්. අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනයේ ඉන්න සහ එන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන්ගේ ආදායම් මාර්ග පිළිබඳ පාරදෘශ්‍යභාවය තිබිය යුතුයි. මෙතනදී සිද්ධ වෙන්නේ දේශපාලන පළිගැනීමක්. අපි දේශපාලනයට එන්න සූදානම් වෙනකොට එක එක දේවල් කරලා එක වළක්වන්න හදනවා.”

සිදුහත් චරිතයට මෙන්ම බෞද්ධ සංස්කෘතියට අවමන් වන ආකාරයේ ප්‍රකාශ සිදුකරමින් ‘මෝඩාභිමානය’ නමින් ප්‍රහසනයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ නාතාශා එදිරිසූරිය නමැති කාන්තාව පසුගිය දා අත්අඩංගුවට ගැණුනි.

අනතුරුව නතාශා එදිරිසූරියට අධාර අනුබල දීමේ චෝදනාව මත බෲනෝ දිවාකර නැමැත්තාවද අත්අඩංගුවට ගැණුන අතර පසුව ඔවුන් දෙදෙනාවම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේවන විට ඔවුන් දෙදෙනාව ජුනි මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

+


පියෙකු දියණියට සහ පුතුට පහරදී දිවි නසාගැනීමට තැත් කරයි

(13.06.2023 – 19:06 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 7 ක දියණියට සහ පස් හැවිරිදි (5) පුතුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමට තැත් කර, පසුව ගෙළ වැළලාගෙන සියදිවි නසාගැනීමට තැත් කළ 30 හැවිරිදි පියෙකු පිළිබඳ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් අද වාර්තාවුණා.

ඔවුන් තුන්දෙනාම (3) මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴


රාජ්‍ය පරිපාලන ලේකම්, පළාත්පාලන ආයතන බලතල සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමේ ලිපිය ඉවත් කරගනී

(13.06.2023 – 19:11 +0530 – hirunews.lk/sinhala)

නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන ඇතැයි නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ඊට අදාළව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදියි.

මෙම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මෙම රිට් පෙත්සම ගොනුකර තිබෙනවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම කටයුතුවලට අදාළව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි.

පෙත්සම මේ මස 26 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


මාළු මිලදී ගැනීමට කේතයක්

(13.06.2023 – 19:22 +0530 – hirunews.lk/sinhala)

මාළු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාළු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

අද (13) පෙරවරුවේ ගම්පහ ධීවර සංස්ථා පරිශ්‍රයේදී මාළු මිලදී ගැනීම පිනිස කේතයක් හඳුන්වාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළ අතර බැංකු 28 ක සම්බන්ධීකරණය යටතේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවට සහනයක් ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියා.

මාළු ලබාගෙන සිය ඡංගම දුරකතනයේ ඇති කේතයක් ඔස්සේ බැංකු හරහා මුදල් ගෙවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

(13.06.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදුකළ හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එම පනත් කෙටුම්පත පදනම් කරගනිමින් මාධ්‍ය මර්ධනය කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට විකාශන අයිතියක් අවලංගු කිරීමට හෝ අලුතින් විකාශන බලපත්‍රයක් ලබාදීමට තනි බලයක් තිබුණද, එවැනි ක්‍රියාවක් කිසිදු විටක සිදුකර නොමැති බවද ඔහු කියා සිටියා ෴


කාන්තාවක් ඝාතනය කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

(13.06.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව ඇටවල වත්ත ප්‍රදේශයේදී පෙරේදා (11) එක් දරු මවක් නිවසක් තුළදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (13) යුධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සාලියපුර, මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යුධ හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 12 දා මෙම ඝාතනය සිදුව තිබූ අතර මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ ඉඳුරුව ඇටවල වත්ත ප්‍රදේශයේ පදිංචි තිස් හත් (37) හැවිරිදි කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා විදෙස් ගතව සිට ඇති අතර ඇය, මෙම යුධ හමුදා සෙබළා සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ ෴


වෛද්‍ය වාර්තා විකුණා මුදල් ගරන ජාවාරම කොටු කරගත් ‘හිරු CIA’ මෙහෙයුම

(13.06.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

තැලසීමියා රෝගීන්ගේ වෛද්‍ය වාර්තා විකුණා මුදල් ගරන ජාවාරමක් පිළිබඳව කුරුණෑගලින් වාර්තා වනවා.

අසරණ රෝගීන්ට ජනතාව සද්භාවයෙන් දක්වන අනුග්‍රහයක් කිසිසේත් අවතක්සේරුවට ලක් නොකළ යුතු වුවත් ‘හිරු CIA’ මෙම ජාවාරම රට හමුවේ හෙළිකරන්නේ රෝගීන් විකුණා මුදල් ගරන මෙවැනි වංචනික ක්‍රියා නැවැත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට සිහිපත් කරමින්.

මෙරටින් වාර්ෂිකව තැලසීමියා රෝගීන් 65 ත් 100 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර ඉන් සියයට 50 ක්ම රෝගීන් හඳුනාගැනෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

තැලසීමියා රෝගයේ ඇති සංකීර්ණභාවය නිසාම රෝගියෙකුට සිය ජීවිත කාලය පුරාම රුධිර පාරවිලයනය කිරීම හෝ සිරුරේ අතිරික්ත යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාරවලට මුහුණ දීමට සිදුවනවා.

ඒ සඳහා රෝගීන්ගේ පවුල්වලට දැරිය නොහැකි වියදමක් අවශ්‍ය වන අතර බොහෝ දෙනා එවැනි පවුල්වලට උපකාර කරන්නේ සද්භාවයෙන්.

එහෙත් සරණක් සොයාගත නොහැකි බොහෝ පවුල් මුදල් එකතු කරගැනීම සඳහා දැඩි මහන්සියක් දරන අතර රෝගියා පිළිබඳ වෛද්‍ය වාර්තා පෙන්වමින් පොදු ප්‍රවාහනවලදී කිසියම් මුදලක් සාධාරණව සොයාගැනීම ඔවුන්ගේ අරමුණයි.

එහෙත් මේ අසරණභාවය දඩමීමා කරගනිමින් සල්ලි ගරන ජාවාරමක් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක බවට ‘හිරු CIA’ වෙත තොරතුරු වාර්තා වුණා.

මේ ඔබ දකින්නේ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම්පොළෙන් පිටත්වන බස් රථයක් තුළ එවැනි ජාවාරම්කරුවන් පිරිසක් වංචනිකව මුදල් එක් රැස් කරන ආකාරයයි.

මෙහිදී අදාළ රෝගියා සම්බන්ධයෙන් වන කෙටි වීඩියෝ පටයක්ද බස්රථයේ මගීන්ට ප්‍රදර්ශනය කෙරෙනවා.

බැලූ බැල්මට මෙහි යම් විශ්වසනීයත්වයක් පෙන්නුම් කළත් මේ පිටුපස විහිදුණු ජාවාරම සම්බන්ධයෙන් අප කරුණු රැසක් අනාවරණ කරගත්තා.

ඒ අනුව මෙම ජාවාරම ආරම්භ වන්නේ අදාළ රෝගියාගේ පවුලේ ඥාතියෙකුගෙන් ලබාගන්නා වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින්.

ඒ අනුව අප තහවුරු කරගත්තේ බස්රථ තුළදී දෛනිකව උපයාගන්නා මුදලින් ඉතාම සුළු කොටසක් රෝගියාගේ ඥාතීන් වෙත ලබාදී මෙම ජාවාරම අඛණ්ඩව කරගෙන යාමට ජාවාරම්කරුවන් පිඹුරුපත් සකසා ඇති බවයි.

අදාළ වාර්තා කුරුණෑගල තැලිසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නිල වශයෙන් ඥාතීන් වෙත නිකුත් කර ඇති ඒවා වීමත් මොවුන්ට මෙම ජාවාරම පහසුවෙන් කරගෙන යාමට ඉඩහසර සලසා දී තිබෙනවා.

මෙම ජාවාරම පිළිබඳව ප්‍රදේශයේම විශේෂ පණිවුඩකරුවෙකුද මෙලෙස ‘හිරු CIA’ වෙත අනාවරණයක් සිදු කළා.

අසරණ රෝගීන්ට ජනතාව සද්භාවයෙන් දක්වන අනුග්‍රහයක් කිසිසේත් අවතක්සේරුවට ලක් නොකළ යුතු වුවත් ‘හිරු CIA’ මෙම ජාවාරම රට හමුවේ හෙළි කරන්නේ රෝගීන් විකුණා මුදල් ගරන මෙවැනි වංචනික ක්‍රියා නැවැත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට සිහිපත් කරමින්.

මෙම ජාවාරම සඳහා නීතිය ක්‍රියාත්මක කරනතුරු ‘හිරු CIA’ අවධානයෙන්.

+


පානදුරේ හොර කච්චේරියක් වටලයි

(13.06.2023 – 20:41 +0530 – hirunews.lk/sinhala)

පානදුර, පරත්ත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා හිටපු නගර සභා ලිපිකරුවෙකු අද(13) පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 65 ක් වන එම ප්‍රදේශයේම පදිංචි අයෙක්.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරු, විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ ව්‍යාජව සැකසූ රබර් මුද්‍රා 31 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


රත්තරන් මිල ඉහළට

(13.06.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයේ අගය පසුගිය දින දෙකේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා.

රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 150,000 ඉක්මවූ බවයි වාර්තා වන්නේ.

රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 173,000 ක දක්වා ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන්ට තම පංතියේ සිසුන් වෙත මුදල් අයකර පංති පැවැත්වීම තහනම්

(13.06.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ ගුරුවරුන් තමන් උගන්වන පන්ති වල සිසු සිසුවියන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අය කොට අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යු.බී. හේරත් විසින් මෙම චක්‍රලේඛය නිකුත් කොට ඇති බව සඳහන්.

එම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරුභවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවෙයි.

දරුවන්ට වන අසාධාරණය වළකාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේගේ තීරණයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මකවන අතර වඩා සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුළ ස්ථාපිත කිරීම එමගින් අරමුණ වී ඇති බව පළාත් ආන්ඩුකාරවරයා සඳහන් කර සිටී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *