හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කාන්තාවකට පණ එයි

හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කාන්තාවකට පණ එයි


හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කාන්තාවකට පණ එයි

(13.06.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.

අදාළ කාන්තාව වයස අවුරුදු 76 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබෙනවා.

ඒ අනුව ඥාතීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී අදාළ කාන්තාව මියගොස් නොමැති බව අනාවරණය වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට එම කාන්තාව කලින් ප්‍රතිකාර ලබා සිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු ඇති බවද වාර්තා වනවා ෴


සෞඛ්‍ය ක්ෂේත්‍රය නව බඳවාගැනීම්

(13.06.2023 – 10:10 +0530 – hirunews.lk/sinhala)

නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක (2) තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200 ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවයි.

නව වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වනිදාට වන විට සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබා වෙන බවත් පසුගිය සති කිහිපය තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 222 කට අලුතින් පත්වීම් ලබා දුන් බවත් ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම ඔහු ප්‍රකාශ කර සිටියේ කැඩී ඇති මැෂින් සකස් කිරීමට රුපියල් බිලියන 4 ක් වෙන්කර ඇති අතර ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් සුබවාදි බලාපොරොත්තු තබාගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙමින් පවතින බවයි.

අනිද්දා (15) දිනයේ සිට සියයට 16 කින් ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර සෑම මාස 03 කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිත බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබෙනවා ෴


මූල්‍යාතනයක හිමිකරුවකු පැහැරගැනීමට සැක චීවරධාරියකු අත්අඩංගුවට

(13.06.2023 – 10:16 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් මූල්‍ය ආයතනයක හිමිකරුවෙක් පැහැරගෙන ගිය සිදුවීමකට සම්බන්ධ චීවරධාරියකු දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මැයි මස 11 වැනි දා දකුණු මාකොළ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණි චීවරධාරියකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව කියන දෙදෙනෙකු (2) එම ආයතන හිමිකරු පැහැරගෙන ගොස් ඔහුගේ ගමන් බලපත්‍රය සහ නිවෙසේ ඔප්පුව බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙන බවයි.

දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පැමිණී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරකු ද, ඔවුන් පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයට අයත් කැබ් රථයක් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව දෙමටගොඩ පොලිසිය පවසනවා ෴


බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකාලා

(13.06.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු සාමාන්‍ය අධිකාරීවරයෙකුගේ නිවසට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව බොරලැස්ගමුව පොලීසිය පවසනවා.

පිහියක් රැගෙන නිවසට ඇතුළු වූ නාදුනන පුද්ගලයා නිවැසියන් බිය ගන්වා ඇමරිකානු ඩොලර් 10,400 ක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් පනස්පන් ලක්ෂ පනස් දාහක් (55,50,000) සහ රන් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සොයා බොරලැස්ගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


මැතිවරණ සඳහා නව පනතක්

(13.06.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala)

‘මැතිවරණ විශේෂ විධිවිධාන පනත’ නමින් නව පනතක් හදුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනත, ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් වෙන් වෙන් වශයෙන් පනත් සංශෝධනය කිරීම වෙනුවට නව මැතිවරණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා ෴


පදවියේදී නීතිඥවරයෙකුට පහරදීමක්

(13.06.2023 – 11:07 +0530 – hirunews.lk/sinhala)

රාජකාරි නිමවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වන ජානක ඉන්ද්‍රජිත්ට වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පදවිය – අලිවංගුව ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර යතුරුපැදිය නවත්වා හිස් වැසුම ගලවා ඊයේ (12) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පහරදීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර නඩුවකට පෙනී සිටීම හේතුවෙන් පහරදීම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ ෴


පොලිස් සැරයන්වරු දෙදෙනකුට (2) පහර දුන් පිරිසක් දැලේ

(13.06.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කහවත්ත රෝහල් භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට (2) පහර දුන් පුද්ගලයින් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය පවසනවා.

පෙරේදා (11) කහවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් රෝහල්ගතව සිටින තුවාල ලැබූවන් බැලීමට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට යාමේදී මෙලෙස පොලිස් සැරයන්වරුන්ට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා (2) කහවත්ත රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ජනපති ලබන සතියේ විදෙස්ගත වෙයි

(13.06.2023 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමඟ මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බවයි ෴


ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

(13.06.2023 – 12:08 +0530 – hirunews.lk/sinhala)

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2018.08.06 දින කැබ්නට් අනුමැතිය ලැබී තිබෙනවා.

එම අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙන අතර ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා ෴


සබරගමුව පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

(13.06.2023 – 12:25 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක පත් කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම කළ බවයි වාර්තා වන්නේ ෴


අක්මීමණ නිවෙසක නිදා සිටි අයකු ඝාතනය කරලා

(13.06.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, අක්මීමණ ප්‍රදේශයේ නිවෙසක නිදා සිටි පුද්ගලයකු අද (13) පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වූ ගාල්ල, කපුහෙම්පල, කාතුහේනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ අද (13) අලුයම මේ පුද්ගලයාගේ නිවෙසට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු විසින් නිවෙසේ සාලයේ නිදා සිටි මෙම පුද්ගලයාගේ හිසට පිහියකින් ඇන ඝාතනය කර පලා ගොස් ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි ෴


පාසල් උපකරණවල මිල තවදුරටත් පහළට

(13.06.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල ඉදිරි සති 2 තුළ තවදුරටත් පහළ දැමීමට හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම සහනය ජනතාවට ලබා දිය හැකි බවයි.

මේ අතර, රුපියල ශක්තිමත් වීම හමුවේ තීන්ත, යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල මෙතෙක් පහළ ගොස් නොමැති බවට ජාතික ඉදිකිරීම් සේවක සංගමය චෝදනා කරනවා ෴


ආගම යනු අන් අයට මඩ ගැසීමේ මෙවලමක් නොවේ – කාදිනල් රංජිත් හිමිපාණන්

(13.06.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ආගම යනු අන් අයට මඩ ගැසීමේ මෙවලමක් නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින්.

සාන්ත අන්තෝනි මුනිදුන්ගේ 189 වැනි වාර්ෂික මංගල්‍යය සැමරීම වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ පිහිටි සාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ සන්ධ්‍යා මෙහෙයක් පැවැත්වුනේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානන්ත්වයෙන් ෴


රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ ලිපිය ඉවත් කර ගනී

(13.06.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන තිබෙනවා.

මේ බව අනාවරණ වුණේ අදාළ ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණයේ අද (13) කැඳවූ අවස්ථාවේදීයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන ඇති බවයි.

එම කටයුතුවලට අදාලව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියා. ඒ අනුව මෙම පෙත්සම මේ මස 26 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *