මවක් තම දරු දෙදෙනා (2) අම්බලන්ගොඩ නගරයේ දමා යයි

මවක් තම දරු දෙදෙනා (2) අම්බලන්ගොඩ නගරයේ දමා යයි


මවක් තම දරු දෙදෙනා (2) අම්බලන්ගොඩ නගරයේ දමා යයි

(13.06.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මාස 06 ක බිළිදෙකු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන අවුරුදු 6 ක දරුවෙකු මහමඟ දමා ගිය පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ ත්‍රීරෝද රථ රියදුරෙකු මෙම දරුවන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත බාරදුන් බවයි.

මාස 06 බිළිදා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ වැඩිමහල් සොහොයුරා තවමත් අම්බලන්ගොඩ පොලිස් භාරයේ පසුවන අතර මව කවුරුන්ද යන්න පොලිසිය හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

~

මේ අතර පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තම දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා දුරකතන සංඥා කුළුනකට නැග විරෝධතාවයේ නිරත වූ පියෙකු තිරප්පනේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සති දෙකකට (2) පමණ පෙර බිරිඳ තම දියණිය හැර දමා ගොස් ඇති අතර ඇය නිවසේ තනිකර රැකියාවකට හෝ යාමට නොහැකි බවයි මෙම පියා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ නිසා දරුවා දැනට ඉගෙනුම ලබන පාසලෙන් ඉවත් කර තම උපන් ගම් ප්‍රදේශයේ පාසලට ඇතුළත් කර ගැනීමට පහසුකම් සලසන ලෙස ඉල්ලමිනුයි මොහු මෙලෙස දුරකතන සංඥා කුළුණක් මත නැග විරෝධතාවයේ නිරතව ඇත්තේ ෴

+++++++++

දරුවන් දෙදෙනා (2) දමාගිය මව අම්බලන්ගොඩ පොලිසියට එයි

(13.06.2023 – 19:19 +0530 – hirunews.lk/sinhala)

මාස 6 ක සහ අවුරුදු 9 ක සිය දරුවන් දෙදෙනා (2) ත්‍රිරෝද රථයක දමා ගිය මව අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ අම්බලන්ගොඩ – කුලීගොඩ ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා (2) ත්‍රිරෝද රථයක තබා ගොස් තිබුණේ එහි රියදුරුට සුළු වේලාවක් දරුවන් බලා ගන්නා ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් බොහෝ වේලාවක් යන තුරු ඇය නොපැමිණීම හේතුවෙන් අදාළ ත්‍රිරෝද රථ රියදුරු විසින් දරුවන් දෙදෙනා (2) අම්බලන්ගොඩ පොලීසියට බාරදී තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව අද (13) පස්වරුවේ දරුවන් දෙදෙනා (2) ගාල්ලේ ළමා නිවාසයකට භාරදීමට නියෝග කර තිබුණා.

කෙසේ වෙතත් අද (13) පස්වරුවේ දරුවන්ගේ මව අම්බලන්ගොඩ පොලීසියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ තමන් දරුවන්ගේ පියා සෙවීම සඳහා පිටත්ව ගිය බවයි.

එහෙත් මව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අම්බලන්ගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළා. මෙම දරුවන්ගේ පියා ධීවර රැකියාවේ නිරතවන බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ෴


වෙඩි වැදීමෙන් පුද්ගලයකු රෝහලේ

(13.06.2023 – 07:05 +0530 – hirunews.lk/sinhala)

මැදගම, ඌරුමුත්තාව ප්‍රදේශයේදී ඊයේ (12) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයා 37 හැවිරිදි රුවල්වෙල, තඹාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයාට වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරුදු 65 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඔහුගේ ඉඩමට තුවාලකරුගේ ගවයකු ඇතුළු වීම හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද (13) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කිඹුලකුගේ පහර කෑමට ලක්වී විශ්‍රාමික ගුරුවරියක් මියයයි

(13.06.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ දී වලව ගඟේ දිය නෑමට ගිය වයස අවුරුදු 75 ක් වූ විශ්‍රාමික ගුරුවරියක කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා ෴


පුංචි ඡන්දය සහ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

(13.06.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)

දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම ම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සංවාදයට බඳුන් වුණා.

උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ නාමයෝජනා අවලංගු කර ඡන්ද විමසීම යලි කැඳවූ පසු නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බවයි.

ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711 ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේ දී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටියා ෴


අදානි සමූහය වැඩ අරඹයි

(13.06.2023 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ඉන්දියාවේ අදානි සමූහයේ කළමණාකරණ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්ධානා ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

ඊයේ (12) පැවති මෙම හමුවේ දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අදානි සමූහය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීම තම අපේක්ෂාව බවයි ෴


ෂාෆ්ටර්ගේ සිම්පත බිරිඳට දෙන්න අධිකරණය බැහැ කියයි

(13.06.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බැවින් ඔහු භාවිතා කළ දුරකථන අංකය ඇතුළත් සිම් පතක් ඔහු ගේ බිරිඳ වෙත ලබා දීමට නියෝගයක් නිකුත් කර නොහැකි බව අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක තොරතුරු විමර්ශන අංශයෙන් විමසීමක් කළ යුතු බවටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට ඊයේ (12) දැනුම් දුන්නේ.

දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ දුරකථන අංකය ඇතුළත් සිම්පතක් තමන් වෙත ලබාදීමට නියෝගයක් ලබාදෙන ලෙසට ඔහුගේ බිරිඳ අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළේ.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකථන අංකයට අදාල සිම් පතක් ඔහුගේ බිරිඳට ලබාදිය හැකිද යන්න පිළිබඳව ඊළඟ නඩුවාරයේදී අධිකරණය වෙත දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. නඩුව වැඩිදුර විභාගය මෙම මස 15 දා දක්වා කල් තැබුණා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පසුගිය මස 08 වැනිදා ගොඩගත් අතර දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පසුව දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණා ෴


රෝහල්වල ලෙඩ වුණු යන්ත්‍ර හදන්න රුපියල් බිලියන 4 ක්

(13.06.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

දැනට රෝහල් කිහිපයක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර ඇතුලු අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 4 ක මුදලක් අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මාස 05 ක සිට ක්‍රියාවිරහිත වී ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් රෝගී ජනතාව දුෂ්කරතාවන්ට පත්ව ඇති බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප මීට පෙර අනාවරණ කළා.

එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය ද අක්‍රිය වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කර තිබුණා.

මේ අතර දැනට රජයේ රෝහල් සතුව එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 13 ක් පවතින අතර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ තිබූ යන්ත්‍රය ද මීට වසර 2 කට පෙර අක්‍රිය වූ බැවින් දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 11 පමණක් බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ, තුම්පනේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද හැකි ඉක්මනින් විසදන බවයි ෴


දෙහිවල පුද්ගල ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(13.06.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී පසුගිය 10 වැනි දින පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ සකකරු පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි ෴


මහජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට

(13.06.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් මුදල් ලබාගත් මහජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති ලේකම්වරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වගකීම්වලින් නිදහස් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාකාරිකයින්ගේ මාසික වැටුප් ලබා ගැනීමට අවශ්‍ය අත්සන ලබා දීමට මෙලෙස මුදල් ලබා ගෙන ඇති බව විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.

සැකකාර ලේකම්වරයා ජ්‍යේෂ්ඨ ඩිපෝ පරීක්ෂක තනතුරක් ද දරන අයෙකු බවට හෙළි වී තිබුණා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොතුවිල් ඩිපෝවේ වෘත්තීය සමිති සභාපතිගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකරු සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


දික්වැල්ලේ වෙඩි තැබීමකින් එක් අයෙක් රෝහලේ

(13.06.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

මාතර, දෙමටපිටිය, දික්වැල්ල ප්‍රදේශයේදී අද (13) වෙඩි තැබීමකින් එක් (1) අයකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අද (13) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බව වාර්තා වෙනවා ෴


යතුරුපැදි අනතුරින් අයෙක් (1) මරුට

(13.06.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල-මාතර මාර්ගයේ මිහිරිපැන්න තැපැල් කාර්යාලය අසලදී යතුරුපැදියක් අනතුරට පත්ව පැදිකරු මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ අය කරාපිටිය රෝහලට ඇතුළත් කිටීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය අය වයස අවුරුදු 45 ක් වූ දොඩන්ගොඩ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


‘පාන් ආඥා පනත’ අවලංගු කෙරේ

(13.06.2023 – 10:08 +0530 – hirunews.lk/sinhala)

වසර 159 ක් පැරණි ‘පාන් ආඥා පනත’ අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධි විධාන සමග ගැටළු පැන නැගීම හේතුවෙන් එය අවලංගු කිරීමටයි යෝජනා වී ඇත්තේ.

පාන් විකිණිම නියාමනය කිරිමට සහ විකිණිමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වු පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන පරිදි මෙම පාන් ආඥා පනත 1864 දි සම්මත කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *