භාණ්ඩ 7000 ට කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානියට අපනයනය කිරීමට අවස්ථාව

භාණ්ඩ 7000 ට කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානියට අපනයනය කිරීමට අවස්ථාව


භාණ්ඩ 7000 ට කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානියට අපනයනය කිරීමට අවස්ථාව

(12.06.2023 – 16:35 +0530 – hirunews.lk/sinhala)

එක්සත් රාජධානියේ නව ජීඑස්පී වෙළෙඳ යෝජනා ක්‍රමය (New UK GSP Scheme) “Developing Countries Trading Scheme (DCTS)” හරහා භාණ්ඩ 7000 කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එරට වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමට මෙරට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

තීන්ත කර්මාන්තය හා ටයිල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සමාගම්හි විධායක නිළධාරීන් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්තයන් නැවත යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී අද දින (12) පවත්වනු ලැබූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.

පසුගියදා පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳ අමාත්‍යවරුන්ගේ හමුව සඳහා එක්සත් රාජධානියේ නිළ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා, ඉදිරියේදී එක්සත් රාජධානියේ “Developing Countries Trading Scheme (DCTS)” නව ජීඑස්පී වෙළෙඳ යෝජනා ක්‍රමය හරහා දේශීය භාණ්ඩ 7000 කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට හැකි බවද, බංගලාදේශය සමඟ වෙළෙඳ ගිවිසුම හරහාද මෙරට නිෂ්පාදකයන් සඳහා පුළුල් අවස්ථාවන් රාශියක් උදා වන බවත් එම වාසිදායක අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගැනීම තුළින් සිය ව්‍යාපාරයද රටද දියුණු කර ගැනීම උදෙසා කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කළ බවයි වාර්තා වී ඇත්තේ.

එම ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව දේශීය නිෂ්පාදකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලෙසට ලෙසට වාණිජ දෙපාර්තමේන්තු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන බවයි වර්තා වන්නේ.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ මිල ගණන් ඩොලරයේ වෙනස්වීමට සාපේක්ෂව සැළකිය යුතු අන්දමින් පහළ ගියද දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි මිල ගණන් අඩු නොවීම ගැටලුවක් බවයි.

රජය මගින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීම වෙනුවෙන් ආනයනයන් සීමා කළද, ඉන් අයුතු ප්‍රයෝජන ගෙන අනවශ්‍යය ලෙස අතිවිශාල ලාභ ලබා ගැනීමට හෝ පසුගිය අර්බුධ සමයේ ලැබූ අලාභ පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරමින් යලි පියවා ගැනීමට උත්සහ නොදැරිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ වන විට රජය මගින් IMF ණය පහසුකම ලබා ගැනීම, ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම,උද්ධමනය ප්‍රතිශතයක් ලෙස තනි අගයක් කරා ගෙන ඒම හා බැංකු පොළී අනුපාත පහත දැමීම ආදී ආර්ථික අවපාත තත්ත්වයෙන් මිදීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් පවතින අතර,ඒ සඳහා නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ආශ්‍රිතවද යළි පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් එම නිෂ්පාදනයන්හි මිල ගණන් පහත හෙළිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

රජය විසින් සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී තවත් ප්‍රමුඛ ක්ෂේත්‍රයන් පවතිත්දීත් රුපියල් බිලියන 225 ක මුදලක් කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දුන්නේ රට තුළ යළි මුදල් සංසරණය වේගවත් කිරීම තුළින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිම සඳහා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ යම් භාණ්ඩයක් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවූ පසු එම මිලටම එම භාණ්ඩය අලෙවි කළ යුතු බව සඳහන් කළ එම උපරිම මිල සාධාරණීකරණය කිරීම වෙනුවෙන් අදාළ ආයතනය සතුව ඊට අදාළ ලියකියවිලි පැවතිය යුතු අතර, අවශ්‍යතාවයකදී ඒවා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ඉදිරිපත් කළ යුතු බවයි.

ඉදිරි වසර 5 ක කාළය තුළ රජය මහා පරිමාණයේ ඉදිකිරීම් ආශ්‍රිත ව්‍යාපෘති දියත් නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා පවතින ආර්ථික තත්ත්වය යටතේ නිසි ප්‍රයෝජනයක් නොමැති එවැනි ව්‍යාපෘති කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නවතා දැමූ බවද සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ, අඩු පිරිවැය සහිත අමුද්‍රව්‍ය තුළින් සිදු කරන ඉදිකිරීම් සුළභ කිරීමටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටි‍යා.


කුලී පදනම මත වාහන ලබා ගෙන උගස්කර කැසිනෝ ක්‍රීඩා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.06.2023 – 18:48 +0530 – hirunews.lk/sinhala)

කුලී පදනම මත වාහන ලබා ගෙන ඒවා විවිධ පුද්ගලයන්ට උගස්කර කැසිනෝ ක්‍රීඩා කළ පුද්ගලයෙකු පන්නල පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් වාහන 7 කට අධික ප්‍රමාණයක් මෙලෙස කුලී පදනම මත ලබා ගෙන ව්‍යාජ ලේඛන සකසා උගස් තබා මුදල් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ද විමර්ශන සිදුකළ ඇති අතර එම ඒකකයට ද වාහන උගස් තැබීම් කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන සිදු කරයි.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු ව්‍යාජ ලේඛන සකසා උගස් කර තිබූ වාහනයක් වාරියපොල ප්‍රදේශයේ කාන්තාවකට ලක්ෂ තිහකට (30) උගස් කර තිබියදී සොයාගෙන ඇත.

සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ එම කාන්තාව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි ෴


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම්

(12.06.2023 – 19:44 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිරිසකට පිළුණු බත් කවා හිංසනයට ලක්කළ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දෙවැනි (2) වසරේ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

පන්ති තහනමට ලක්වූ සිසුන්, පීඨයට ඇතුළු වූ නවක සිසුන් කණ්ඩායමක් පසුගිය 05 වැනිදා නේවාසිකාගාරයකට රැගෙන ගොස් ඔවුන්ට නරක් වූ හා පිළුණු වූ බත් කෑමට දී පරුෂ වචනයෙන් බැණවැදී පහර දී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

පන්ති තහනම තාවකාලිකව පෙරේදා (10 දා) සිට ක්‍රියාත්මක කළ බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සඳහන් කළා ෴


යග්ගපිටියේදී වාහන 04 ක් එකිනෙක ගැටේ

(12.06.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යග්ගපිටිය ප්‍රදේශයේ අද (12) පස්වරුවේ පෞද්ගලික මගී බස් රථයක්, බවුසරයක්, ත්‍රී රෝද රථයක් සහ කුඩා වෑන් රථයක් එකිනෙක ගැටී පස්වරුවේ අනතුරක් සිදුවුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ එක් (1) අයෙකු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


ඩොලරයේ වාසිය දරුවන්ට නැද්ද?

(12.06.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

රුපියල ශක්තිමත් වීම සහ ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය පාසල් දරුවන්ට ලබාදීමට රජය කටයුතු කළ යුතු බව දෙමාපියන් චෝදනා කරනවා.

මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති පී.කේ. වනිගසිංහද කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පාසල් උපකරණවල මිල තවමත් පහළ දැමීමට කටයුතු නොකිරීම හේතුවෙන් දෙමාපියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ෴


කිලිනොච්චි විද්‍යාලයෙන් පළමු වෛද්‍යවරිය බිහි වෙයි

(12.06.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි කනිෂ්ඨ විද්‍යාලය පසුගිය යුද සමයෙහි බෙහෙවින් අමිහිරි මතකයන් ලැබූ පාසලක්.

නමුත් දැන් ඒ සියල්ල වෙනස්ව තිබෙනවා.

2009 අවුරුද්දෙන් පසුව ඒ විදුහලට යහපත් කාලයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

අද වන විට ඒ පාසලේ දරුවෝ සතුටින් ඉගෙනුම ලබා ඉහළම තැන්වලට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් මෙම විද්‍යාලයෙන් බිහි වූ පළමු වෛද්‍යවරිය පිළිබඳ පුවත පසුගිය දා අසන්නට ලැබුණා.

හර්ෂි නම් ඇය පසුගිය සෙනසුරාදා (10 දා) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති බවටයි වාර්තා වී ඇත්තේ ෴


ඉදුරුවේදී එක්දරු මවක් ඝාතනය කෙරේ

(12.06.2023 – 20:15 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ ඉදුරුව – ඇටලවත්ත නැගෙනහිර ප්‍රදේශයේදී එක් දරු මවක් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

37 හැවිරිදි මෙම කාන්තාව, සිය දියණිය පාසලට පිටත් කර හැර නිවසේ සිටියදී අද (12) උදෑසන මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මියගිය කාන්තාවගේ සැමියා විදෙස් ගතව සිටින අතර ඝාතනය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ ෴


උපකාරක පන්තියෙන් ගිය විනෝද චාරිකාවේදී දියේ ගිලී සිසුවෙකු මරුට

(12.06.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති සිසුවකු ලග්ගල තෝරපිටිය වැවේ නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ ආර්.පී. ගයාන් මදුෂාන් නැමැති සිසුවෙකි.

මෙම විනෝද චාරිකාවට සිසු සිසුවියන් සමඟ උපකාර පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකු සහ එම දරුවන්ගේ මවුපියන් කිහිප දෙනකු ද ගොස් ඇති බව‍යි පොලිසිය පවසන්නේ.

දියේ ගිලී මිය ගිය මෙම සිසුවා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටි අයෙකි ෴


කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

(12.06.2023 – 23:15 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පවසනවා.

පානදුර, වාද්දුව, හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ගණනාවකින් රෝගීන් වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශකයෙක් සදහන් කළේ රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන අතර එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරයින් පත්කර ඇති බවයි.

සම මතුපිට හැගීම් නොදැනෙන ලප දක්නට ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමුවන ලෙසත් ලාදුරු රෝගය නිට්ටාවට සුව කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *