වෙළදපොළේ එලවළු, පලතුරු සහ මාළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක

වෙළදපොළේ එලවළු, පලතුරු සහ මාළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක


වෙළදපොළේ එලවළු, පලතුරු සහ මාළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක

(12.06.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ එලවළු, පලතුරු සහ මාළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම වෙළඳුන්ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීමද අඩුවී ඇති අතර මත්ස්‍ය අස්වැන්නද අඩුවී ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ මත්ස්‍ය මිල ගණන් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි පෑලියගොඩ මධ්‍ය මත්ස්‍ය ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ අප කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාවලට අද (12) දිනයේදී එළවළු තොග පැමිණීමේ අඩුවක් පෙන්නුම් කරන බව වාර්තාවනවා.

අද (12) දිනයේදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන්ගේ පැමිණීම ඉතා අඩුවක් පෙන්නුම් කළ බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් ප්‍රකාශ කළේ.

එමෙන්ම වෙළඳපොලේ පළතුරු මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ ඉදි කිරීම සඳහා ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 450 ක මුදලක් අමාත්‍යංශයේ තිබී අතුරුදන්ව ඇති බව මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ වෙළද සංගමයේ ලේකම් රොෂාන් කුරේ සඳහන් කළා.

මේ අතර ඕමානයේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේදී සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළා.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500 ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා (10) දිවයිනට පැමිණි අතර ඒවා අද (12) දිනයේ සිට ගොවිජන මධ්‍යස්ථාන හරහා ලබා දෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් රජය මගින් ටෝකන් පත් මගින් පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ලබාදෙන පොහොර මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව දිඹුලාගල ගොවි ජනතාව චෝදනා කරනවා.

මේ අතර මේ වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනයක් ධන අගයක් ගනු ඇති බව දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා ෴


කොස්ගොඩ දී එක්දරු මවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි

(12.06.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ – ඇටලවත්ත නැගෙනහිර ප්‍රදේශයේදී අද (12) පෙරවරුවේ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

37 හැවිරිදි මෙම එක්දරු මව, දියණිය පාසලට පිටත් කර හැර නිවසේ සිටියදියි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

මියගිය කාන්තාවගේ සැමියා විදෙස් ගතව සිටින අතර ඝාතනය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ ෴


හෙට (13) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක් ජලය නැහැ

(12.06.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු දහයේ (10) සිට පැය විස්සක (20) කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවලපාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴


දහම් පාසල් ගුරු විභාගය ලබන 17 වැනිදා

(12.06.2023 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් නොපැවත්වු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ලබන 17 වැනිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.

එදින පෙරවරු 09:30 සිට දහවල් 12:30 දක්වා විභාග මධ්‍යස්ථාන 25 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අපේක්ෂකයන් 13,671 ක් විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබෙනවා ෴


ආබාධිත දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

(12.06.2023 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මානසික ආබාධයකින් පෙළෙන එකොළොස් (11) හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා.

ටොෆි, චොක්ලට් දෙන බව පවසා රැවටීමකට ලක් කර මෙම දැරිය අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා ෴


කිරුලපන පෞද්ගලික ආයතනයක තිබී ජීව අත්බෝම්බයක් හමු වෙයි

(12.06.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කිරුලපන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප්පයක කුහරයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද (12) කිරුලපන පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන තිබෙනවා.

එම පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් සැකකටයුතු යමක් තාප්ප කුහරයක් තුළ තිබෙන බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කරන ලද සෝදිසියක දී මෙම බෝම්බය සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

එම ප්‍රදේශයට ආරක්ෂාව යොදවා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට කිරුලපන පොලිසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ ෴


පොළොන්නරුවේ ගොවීන්ට හෙට (13) සිට වවුචර්පත්වලට පොහොර

(12.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිලදි ගැනීම සදහා ලබාදි ඇති වවුචර්පත්වලට හෙට (13) සිට පොහොර මිලදි ගත හැකි බව ලංකා සහ කොමර්ෂල් පොහොර සමාගම් පවසනවා.

කොළඹ වරායට පැමිණි යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500 ක් සහිත නෞකාවේ පොහොර ගොඩබෑම අද (12) පස්වරුවේ ආරම්භ කෙරෙන බවයි එම සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා ප්‍රකාශ කළේ.

ඊයේ (11) එම නෞකාවෙන් පොහොර ගොඩබෑමේ කටයුතු සදහා සුදානම් වුවද පැවති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ ෴


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර මනතුංග ජනරාල් ඉල්ලා අස් වෙයි

(12.06.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ, පෞද්ගලික හේතුවක් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඉදිරියේදී කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා ෴

++++++++

+


ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට අපේ 04 ක්

(12.06.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු නම් කර තිබෙනවා.

Asian Scientist යනු සම්මානලාභී විද්‍යා සහ තාක්ෂණ සඟරාවක් වන අතර එය ආසියාවේ විද්‍යා ක්‍රියාකාරකම්වලට අදාළ පුවත් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත වාර්තා කරනු ලබනවා.

සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සිංගප්පූරුවේ මූලස්ථානය වන Wildtype Media Group හි ආසියාවේ ප්‍රමුඛතම STEM සහ සෞඛ්‍ය සේවා මාධ්‍ය සමාගම විසින්.

‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘ ආශා ඩිවෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග ශ්‍රී ලංකාවෙන් එම ලැයිස්තුවට ඇතුළත් වූ විද්‍යාඥයෝ වනවා.

  • ආශා ඩිවෝස් සමුද්‍ර ජීව විද්‍යාඥවරියක්, අධ්‍යාපනඥයෙක් සහ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වනවා.
  • ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර, එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා.
  • චතුරංග රණසිංහ 2022 වසරේ 7 වැනි Sheikh Fahad Hiroshima-Asia Sports Medicine and Science Award ලබා ගත්තා. මෙම සම්මානය වසර හතරකට (4) වරක් ආසියාවේ වෛද්‍ය විශේෂඥයකුට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබනවා.
  • කාර්මික සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් අශානි සවින්ද රණතුංග 2022 OWSD-Elsevier පදනමේ සම්මානයෙන් පිදුම්ලබා තිබෙනවා ෴

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

(12.06.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින්.

මෙලෙස පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරුවරුන් වන්නේ සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණයි.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

එම නඩුව ලබන 19 වනදා කැඳවීමට නියමිතයි.

පසුගිය වසරේ මැයි මස 09 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා පහරදී ඝාතනය කෙරුණේ නිට්ටඹුව නගර මධ්‍යයේදීයි ෴


උරගස්මංහන්දියේ වෙඩිතැබීමක්

(12.06.2023 – 18:03 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අත්අඩංගුවට ගැනීමක් අතරතුර වෙඩිතැබීමක් සිදු වී තිබෙනවා.

ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමඟ පොරබැදීමක් සිදුවීමෙන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර සැකකරු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *