සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිට වෙඩි තැබූ හතරක් (4) අත්අඩංගුවට

සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිට වෙඩි තැබූ හතරක් (4) අත්අඩංගුවට


සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිට වෙඩි තැබූ හතරක් (4) අත්අඩංගුවට

(12.06.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ වල්පිට – බටවල ප්‍රදේශයෙන් දී සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපති ඩී.එල්. සමරවික්‍රමට පසුගිය 05 වනදා වෙඩි තබා තිබුණේ, නව තනතුරේ වැඩ භාරගැනීම සඳහා නිවසේ සිට සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදියි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සභාපතිවරයා රෝහල් ගත කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් පත් කර තිබූ අතර, ඒ අනුවයි සිද්ධියට සම්බන්ධ හතරදෙනෙකු (4) වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

++++++++

මීගොඩ වෙඩි තැබීමේ සැකකරුවන් අද (12) අධිකරණයට

(12.06.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා (4) අද (12) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය ප්‍රකාශ කළේ එම සැකකරුවන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බවයි.

මීගොඩ වල්පිට – බටවල ප්‍රදේශයෙන් දී සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපති ලෙස වැඩභාරගැනීමට නිවසේ සිට සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඩී.එල්. සමරවික්‍රම පසුගිය 05 වනදා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුකර තිබුනේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින්.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් පත් කළා. එම විමර්ශනවලට අනුවයි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතරදෙනා (4) අත්අඩංගුවට ගනු ලැබුවේ.

මොවුන් අවුරුදු 32, 45 සහ 37 යන වයස්වල පසුවන හොරණ, කුලියාපිටිය, නෑබඩ සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය, පතොරම් 2 ක් අඩංගු මැගසිනයක් මෙන්ම සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා ෴

+++++++++

මීගොඩ වෙඩි තැබීමේ සුල මුල

(12.06.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

“බස් එකේ ෆිනෑන්ස් එක හිරවෙලා. ඒක ගෙවන්න ගුණේගෙන් සල්ලි ඉල්ලුව ගමන් තමයි වෙඩි තියන්න කන්ට්‍රෑක්ට් එක දුන්නේ.” මේ මීගොඩ ප්‍රදේශයේ පසුගිය පස්වැනිදා (05) රක්ෂණ සමාගමක සභාපතිවරයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුවීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාගේ අනාවරණයයි.

පසුගිය පස්වන (05) දින උදෑසන රක්ෂණ සමාගමක නවක සභාපතිවරයකු නාඳුනන පුද්ගලයෙකු මීගොඩ ප්‍රදේශයේ ඔහුගෙ නිවසින් බැහැරට කාර් රථයෙන් යන අවස්ථාවේ දී වෙඩි තබා බරපතළ තුවාල සිදු කර තිබුණි.

එහෙත් එම වෙඩි තැබීම සිදු කර සාක්ෂි කිසිවක් ඉතුරු නොකර වෙඩික්කරුවන් පලා යාමට සමත් වී තිබුණි.

ඒ අනුව එම පිරිස සෙවීමේ කාර්ය බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලදී.

පොලිස් පරීක්ෂණ ඇරඹේ…

පළමු පියවර ලෙස සීසීටීවී දර්ශන පරීක්ෂාව සිදු කළ ද වෙඩික්කරු දිව යන දර්ශන මෙන්ම කිලෝමීටරයක් පමණ දුරින් නවතා තිබු යතුරු පැදියක නැඟ යන අයුරුද පළමු නිරීක්ෂණය විය.

එහෙත් ඉන් අනතුරුව යතුරු පැදියෙන් අතුරුදන් වූ වෙඩික්කරු පිළිබඳව සොයා ගැනීමේ ගැටළුවකට මුහුණ දීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය.

ඒ කිලෝමීටරයකට දුරින් ඔහු යතුරුපැදියෙන් බැස අතුරුදන් වූ හෙයිනි.

උත්සාහය අත් නොහළ පොලිස් නිලධාරීන් කිලෝමීටර් 5 ක් පමණ දුරකට මාර්ග කීපයක් ඔස්සේ සීසීටීවී දර්ශන පරීක්ෂාවක් නිරත වුණා.

එක් ස්ථානයකදී ඔවුන්ට නිරීක්ෂණය වන්නේ යතුරු පැදියෙන් බැස ගත් වෙඩිකරු ත්‍රීරෝද රථයකට ගොඩ වන අයුරුය.

එහෙත් ත්‍රිරෝද රථයේ අංකය පැහැදිලි නොමැති බැවින් පසුව පොලිස් නිලධාරීන් විවිධ උපක්‍රම භාවිත කරමින් ත්‍රීරෝද රථයේ අංකය සොයා ගත්තේ විමර්ශන නිලධාරීන්ගේ දක්ෂතාවය පිළිබිඹු කරමිනි.

ත්‍රීරෝද රථයේ අංකය පරීක්ෂා කිරීමෙන් හොරණ ප්‍රදේශයේ ලිපිනයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.

හොරණ ප්‍රදේශයේ තිබූ ලිපිනයට ගිය පොලිස් නිලධාරීන්ට එම ලිපිනය සහිත නිවසෙහි මිදුලෙහි ත්‍රිරෝද රථය නවතා තිබෙනු දුටු විට මහත් අස්වැසිල්ලක් විය.

එම නිවස වැටලූ පොලිස් නිලධාරීන් එම නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කලෝය

සැකකරු සියල්ල වමාරයි…

“සර් මම ‘අයිස්’ ගහලා නන්නත්තාර වෙලා හිටියේ. මට කුමාර කතා කරලා වැඩක් තියෙනවා කියලා එන්න කිව්වා. මම ඇවිල්ල වැඩේ බැලුවා. කරන්න පුළුවන් කියලා හිතුනා. මට ඉල්ලපු තුවක්කුව සහ බුලට් හයක් (6) දුන්නා. මම වෙඩි තිබ්බත් ඌ මැරුණේ නැහැ. මම වාහනය ඉස්සරහටම එනකොටම පැනලා වීදුරුවට එක වෙඩිල්ලක් තිබ්බා. වෙඩිපහර කාගෙනම කාර් එක ඉස්සරහට ගියා. මං පන්නලා ගිහිල්ලා තවත් වෙඩි පාරවල් තුනක් ම තිබ්බා.”

යනුවෙන් එතැන සිටි වෙඩික්කරු වූ හිටපු යුධ හමුදා සෙබලා පොලිසියට පැවසීය.

එම නිවසේ සිටි අනෙක් පුද්ගලයා සීසීටීවී දර්ශනවල යතුරු පැදිය පැදවූ පුද්ගලයා විය.

“සර් මට ‘බබා’ කිව්වේ බයික් එක පැදලා ඔත්තු බලන්න කියල. මම වැඩේ කරල දුන්නා.”

මහ මොළකරු සොයා පොලිසිය යයි..

මේ සියලුම කරුණු විශ්ලේෂණය කර පසුව පොලිස් නිලධාරීන් කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයා සොයා යාමට කටයුතු කළෝය.

ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ ඔහු මෙලෙසයි පවසා සිටියේ :

“සර්, ගුණේ මගේ යාළුවා. මට වාහනයට ෆිනෑන්ස් දාන්න ඕන නිසා ගුණයගෙන් සල්ලි ඉල්ලුවාම සැලකිය යුතු මුදලක් දෙන්නම් කියලා මේ වැඩේ කරන්න කියලා බාර දුන්නා. මටත් සල්ලි ඕන නිසා වැඩේ බාරගත්තා සර්. මම නෙමෙයි වැරදිකාරයා මාතර ගුණේ”

පොලිස් නිලධාරීන් ගුණේ සොයාගෙන මාතරට යාමට පිටත් විය.

මාතර ප්‍රදේශයේ නිවසේ දී අත්අඩංගුවට ගත් ගුණේ වෙඩි ප්‍රහාරයට ලක්වූ රක්ෂණ සමාගම් සභාපතිවරයාගේ මාතර ශාඛාවේ කළමනාකාරවරයා සේම හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් බවද පොලිස් නිලධාරීන්ට අනාවරණය වුණා.

“සර් මමයි රක්ෂණ සමාගමේ හිටපු සභාපතියි එකතු වෙලා කරපු හොරකමක් මූ අල්ලලා දුන්නා. ඒ නිසා මම හිටියේ ලොකු කේන්තියකින්. අනිත් එක ඌ තමයි ඊළඟට සභාපති වෙන්න හිටියේ. ඒ නිසාම මරලා දාන්න ඕන කියලා මම කොන්තරාත්තුව දුන්නා. ඒත් මුන්ට ඌව මරා ගන්න බැරි වුණා. මම දුන්නෙ ලක්ෂ එකහමාරයි (1,50,000). මම තමයි උන්ට තුවක්කුව දුන්නේ උණ්ඩ හයකුත් (6) එක්ක. ඒක ගත්තෙත් නැහැ තවම ඒක උන් ළඟ.”

මාතර කළමනාකාර ගුණේ පොලිසිය හමුවේ හඬා වැටෙමින් අකුරක් නෑර පවසා සිටියේ කිරීමට වෙනත් කිසිදු දෙයක් ඉතිරි වී නොමැති හෙයිනි.

පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර සහ උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර හොරණ නිවසක පිටුපස රබර් කැලෑවක මඩුවක වහලයේ ගසා තිබිය දි පිස්තෝල අවිය සහ ඔවුන්ගේ අත ඉතිරිව තිබූ උන්ඩ දෙක (2) සොයාගෙන තිබුණි.

මාතර ශාඛාවේ කළමනාකාර ගුණේ සතුව තිබී බලපත්‍ර සහිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගත්තේය.

වෙඩි තැබීමට පැමිණි පිරිස දින ගණනාවක් මීගොඩ ප්‍රදේශයේ කරක් ගසමින් තොරතුරු සොයා බැලීමට කටයුතු කළ ද ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම ගැන කළමනාකාර ගුණේ සිටියේ නොසතුටිනි.

පොලිස් නිලධාරීන්ගේ කඩිනම් විමර්ශනය හේතුවෙන් නැවතත් අපරාධයකට මුල පිරීමට ඉඩ නොතබා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

[සේයාරූ]

~

එමෙන්ම දෙමටගොඩ මහල් නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයන් 3 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (10) සැකකරුවන් විසින් කාන්තාවට සිදුකළ පහරදීම හේතුවෙන් ඇය බරපතල තුවාල ලබා රෝහල් ගත කළා.

~

මේ අතර, ජර්මනියේ නිෂ්පාදිත අති නවීන රිවෝල්වරයක් සමඟ ‘දෙයියන්දර සුමියා’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව දෙයියන්දර පොලිස් වසමේ සිදුකළ වැටලීමකදියි.

ඊයේ (11) අත්අඩංගුවට ගත් මොහු 44 හැවිරිදි දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්කුඩු අලෙවිය සහ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ලවනවා ෴


අධි වසංගත තත්වයක් වීමට පෙර ඩෙංගු වළක්වාගන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

(12.06.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ දැනට පවතින ඩෙංගු වසංගත තත්වය අධි වසංගත තත්වයක් බවට පත්වීමට පෙර පාලනය කර ගත යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසනවා.

ඇය පවසන්නේ තවමත් එය වසංගත තත්වයේ පවතින බවයි. නැගෙනහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය සහ රෝග මර්දන කටයුතු පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ.

මේ වනතුරුත් ඩෙංගු වසංගතය පාලනයට නතුව පවතින බවත්, එය පාලනයෙන් ගිලිහී යාමට නොදී සියලු පාර්ශව එක්ව ඩෙංගු මර්දනයට දායක වීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පෙන්වා දෙනවා.

මේ අතර ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ තැනින් තැන වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන සටහන් කළේ.

+


අධීක්ෂණ කාරක සභා නිර්දේශ නොතකමින් ටෙලිකොම් විකිණීමේ සූදානමක් ගැන චෝදනා

(12.06.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ජාතික අධීක්ෂණ කාරක සභාව විසින් ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ප්‍රකාශ කර තිබියදී එය නොතකා රජය කටයුතු කරමින් සිටින බවට පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය චෝදනා කරනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විකිණීමට එරෙහිව අදහස් දැක්වීම සඳහා ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවමිනුයි එම මධ්‍යස්ථානය මේ බව කියා සිටියේ ෴


ගජමුතු විකුණන්න වවුනියාවට ගිය දෙදෙනෙකු (2) දැලේ

(12.06.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මාතර සිට ගජමුතු අලෙවි කිරීමට වවුනියාවට පැමිණි තරුණයින් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින්
ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 23 හා 26 වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා (2) මාතර හක්මන සිට වවුනියාවට මෝටර් රථයකින් පැමිණ ගජමුතු හතරක් (4) අලෙවි කිරීමට උත්සහ කළ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයන් දෙදෙනා (2) ගජමුතු හතර (4) අලෙවි කිරීමට සූදානම් වී ඇත්තේ රුපියල් ලක්ෂ පහක (5) මුදලකටය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) වවුනියාව පොලිසිය වෙත බාර දී තිබෙනවා ෴


මැතිවරණ කොමිසමේ ග්‍රාම නිලධාරීන්ට දැනුම්දීමක්

(12.06.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදු කිරීමේදී ඇතැම් ග්‍රාම නිලධාරීන්ගේ කාර්යභාරය නිසි පරිදි සිදු නොවන බව මැතිවරණ කොමිසම චෝදනා කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඒ හේතුවෙන් නියමිත රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරින්ගේ කටයුතුවලටද ඉන් බාධා ඇතිවන බවයි.

සිය රාජකාරි කටයුතු සිදු කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඊයේ (11) කියා සිටියා.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර, ග්‍රාම නිලධාරීන් ගෙයින් ගෙට ගොස් අදාළ පෝරම පිරවීමේ කටයුතු සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවටද තොරතුරු වාර්තාවී ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

***************************************

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *