විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්


විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

(12.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3% ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ජූලි මස පළමුවන (01) දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ගාස්තු සංශෝධයන් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත්කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ගාස්තුව අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

මීට අමතරව ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8 කින් ද, ඒකක 61 සිට 90 දක්වා විදුලි ගාස්තුව සියයට 7.2 කින්ද, ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4 කින්ද පහත දමා තිබෙනවා.

මීට අමතරව විදුලි ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3 කින් අඩු කරනු ලබනවා.

ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2 කින් පමණ අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව ද සඳහන්.

කෙසේවෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6 කින් පහත දැමෙන බවද මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා ෴


අලුත් සතිය ආරම්භයේ රන් මිලෙහි සිදු වූ වෙනස

(12.06.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියට සාපේක්ෂව අද (12) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (12) දින රන් මිල :

රන් අවුන්ස (Gold Ounce) Rs.580,611

කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 20,490

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams (1 Pawn) Rs.163,850

කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.18,790.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams (1 Pawn) Rs.150,300

කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.17,930.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams (1 Pawn) Rs.143,450


නිවෙස්වලට ඇතුළු වී ගිනි අවි පෙන්වා මුදල් සහ රන් බඩු කොල්ලකාලා

(12.06.2023 – 11:41 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්වලට ඇතුළු වී ගිනි අවි පෙන්වා කොල්ලකෑම් සිදුකළ සිදුවීම් දෙකක් (2) ඌරුබොක්ක සහ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

ඌරුබොක්ක පොලිස් වසමේ ව්‍යාපාරිකයකුගේ නිවෙසට පැමිණි ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනකු (2) නිවැසියන් කාමරයකට දමා රුපියල් ලක්ෂ 98 ක් මුදල් හා ලක්ෂ තුනකට (3) අධික රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා.

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ ගැටහැත්ත ග්‍රාමයේ නිවෙසකට ගිනිඅවි රැගෙන ඇතුළු වූ පුද්ගලයන් සිවු (4) දෙනකු රුපියල් ලක්ෂ දෙකකට (2) අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන දෙකක් (2) හා කැමරාවක් ද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා ෴


දස (10) හැවිරිදි පාසල් සිසුවෙකු නිවසේ වැසිකිලිය තුලදි සියදිවි හානි කරගනි

(12.06.2023 – 12:24 +0530 – hirunews.lk/sinhala)

දස (10) හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති පාසල් සිසුවෙක්.

නිවසේ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවා වැසිකිලිය වෙත ගොස් ලි දණ්ඩයක් වැසිකිලියේ කවුළුවේ රදවා රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩිදුර පරික්ෂණය පවත්වන බව බගවන්තලාව පොලිසිය පවසනවා ෴


සැකකරුවකු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි

(12.06.2023 – 12:27 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරමින් තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති සැකකරුවකු දැනට පදිංචි ප්‍රදේශය හැර ගොස් සැඟව සිටින බව පොලිසිය පවසනවා.

එම පුද්ගලයාගේ ඡායාරූපයක් සහ විස්තර සඳහන් කරන පොලිසිය ඔහු සම්බන්ධ කිසියම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ නම : පුෂ්පරාජ් විග්නේෂ්වරන්
උපන්දිනය : 1995-06-26
වයස අවුරුදු : 27
ජා.හැ.අ. : 951783420v
ස්ථිර ලිපිනය : අංක 131/47/47, ජම්පටාවීදිය, කොළඹ 13
රැකියාව : මාළු වෙළෙඳාම
විශේෂ ලක්ෂණ : දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියකුගේ මුහුණක රූපයක් ආකාරයේ කැටයමක් පච්ච කොටා තිබෙනවා.

දුරකතන අංක :
අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1735
ස්ථානාධිපති/විමර්ශන ඒකක 1 : 071 859 6503


කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වහයි

(12.06.2023 – 12:32 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස පවසනවා.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇති.

මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක (3) ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා.

මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස පවසනවා ෴


තුල්හිරියේ අනතුරකින් පියා, මව සහ පුතු මරුට – පැය විසි හතරක් (24) තුළ රිය අනතුරු මරණ අටක් (8)

(12.06.2023 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු (3) ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 40 හැවිරිදි පියා, 39 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුත්‍රයා බවයි.

රඹුක්කන – කොටවැල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්. අනතුර සම්බන්ධයෙන් 39 හැවිරිදි ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ගතවූ පැය විසි හතරක (24) කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් අටදෙනෙකු (8) ජීවිතක්ෂයට පත්ව තිබුණා.

දෙහිඅත්තකණ්ඩිය, පොල්ගස්ඕවිට, කටුබැද්ද, වේයන්ගොඩ සහ පැල්ලන්දෙණිය ප්‍රදේශවලදියි මෙම අනතුරු සිදුව ඇත්තේ.

මෙම අනතුරුවලින් මියගිය අය අතර, පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු, කාන්තාවන් තුන්දෙනෙකු සහ 13 හැවිරිදි ළමයෙකු වනවා ෴


මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් වන ලකුණු

(12.06.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2023) අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (11) සවස දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකථනයන් සිදු කළද, පසුගිය වසරේ (2022) ද එම පුරෝකථනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි.

මෙම වසරේ (2023) ද ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය ‘සෘණ 4.2’ ක අගයක් ගන්නා බව පැවසෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර තුළ ‘සෘණ 3.0’ ක් වනු ඇති.

එසේම මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය ‘සෘණ 2-3’ අතර අගයක් ගනු ඇත.

කෙසේ වෙතත් සියලු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ අනුව මෙම වසරේ (2023) අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා ෴


ආර්ථික අර්බුදය සමඟ ළමා ශ්‍රමිකයින් වැඩිවීමේ අවදානමක්

(12.06.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

රටේ වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය තත්වය හමුවේ ළමයින් වැඩි වශයෙන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමේ අවදානම් තත්වයක් උද්ගතව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එමෙන්ම පාසල් හැර යන තත්වයන් උද්ගත වීම, අඛන්ඩව පාසල් නොයැවීම වැනි තත්වයන්ද ඉහළ යාමේ හැකියාව පවතින බවයි ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ.

රටේ පවතින නීතියට අනුව අවුරුදු 16 ත් 18 ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ සදාචාර වර්ධනයට අනතුරුදායක නොවන සේවයන්හි පමණක් ළමයින් යෙදවිය හැකි අතර, එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි යෙදවීම නීතිවිරෝධී වනවා.

කෙසේ වෙතත් පවතින ආර්ථික පීඩනය හමුවේ මුදල් ඉපයීම සඳහා ළමයින් අකමැත්තෙන් හෝ යෙදවීමේ ප්‍රවණතාවක් පවතින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

විශේෂ අව්‍යශ්‍යතා සහිත දරුවන් සඳහා ප්‍රතිකාර පිණිස ආරම්භ කර ඇති ආයති ළමා සුරැකුම් මධ්‍යස්ථානය අනුමත පුණ්‍ය ආයතනයක් බවට පත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධානය යොමුවී තිබෙනවා.

ඒ එම සංසදය පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

මේ අතර මෙරට පුද්ගලයන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර ගැටළුවකට මුහුණදී සිටින බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එය මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33 ක් බව සඳහන්.

එමෙන්ම එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 68 කට ආසන්න සංඛ්‍යාවක් උද්ධමනය හමුවේ සිය ආහාර රටාව වෙනස් කරගෙන ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *