ඊ-ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් (2) ඇතුළත – බන්දුල ගුණවර්ධන

ඊ-ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් (2) ඇතුළත – බන්දුල ගුණවර්ධන


ඊ-ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් (2) ඇතුළත – බන්දුල ගුණවර්ධන

(12.06.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස දෙකක් (2) ඇතුළත ඊ-ටිකටින් ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (11) කොළඹ දී පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ ඒ තුළින් වංචනික ක්‍රියා හරහා ලංගමයට අහිමිවන ආදායම යළි ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

කටුබැද්ද සංචාරක ඩිපෝවට අයත් සුඛෝපබෝගී බස් රථයක් මාතර සිට මාකුඹුර දක්වා ධාවනය කිරීමේ දී ගමනා ගමන මණ්ඩලය මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා ලබා දී තිබූ ටිකට් යන්ත්‍රය භාවිත නොකර වෙනත් ප්‍රවේශපත් පොතකින් මගීන්ට ටිකට්පත් නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ පෙරේදා (10) අනාවරණ කරගෙන තිබුණා.

ඒ නාරාහෙන්පිට මධ්‍යම පරීක්ෂක නිලධාරීන් විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) පැමිණිලි කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ෴


සිත් තැවුලට පත් නාවික හමුදා සෙබළෙක් දිවි තොර කරගෙන

(12.06.2023 – 09:08 +0530 – hirunews.lk/sinhala)

අනියම් පෙම අහිමි වූ හේතුව නිසා සිත් තැවුලට පත් වූ නාවික හමුදා සෙබළකු ඊයේ (11) ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

සිය දිවි හානි කර ගත් නාවික සෙබළා දෙදරු පියකු වන අතර ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යාබද නිවෙසක කාන්තාවක් සමඟ පවත්වන ලද අනියම් සම්බන්ධතාවය සිය බිරියට ආරංචි වීමෙන් අනතුරුව ඇය ද දරුවන් සමඟ නිවෙසින් පිටව ගොස් තිබෙනවා.

ඉන්පසුව අනියම් පෙම්වතිය ද විරසක වී ඇති අතර එම හේතූන් නිසා සෙබළා දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු වේ?

(12.06.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින්, නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙනව් ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදි තීන්දුවකට පැමිණ තිබෙනවා.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711 ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා.

මහ නගර සභා 24 ක් ,නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිනවා ෴


විදේශ රටක සිට වවුනියාවට පැමිණි දෙදෙනෙකුට (2) ඒඩ්ස් රෝගය වැළදිලා

(12.06.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

වවුනියා ව මහ රෝහලේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී එච්.අයි.වී (HIV)වයිරසය ශරීරගත වූ රෝගීන් දෙදෙනෙකු (2) 11 දා හමු වී තිබෙනවා.

මේ දෙදෙනා (2) ම විදේශ රටවල සිට වවුනියාවට පැමිණි පිරිමින් දෙදෙනෙකු (2) වන අතර වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව ඔවුන් රෝහලේ එච්.අයි.වී. සායනය වෙත යොමුකොට තිබෙනවා.

2003 වසරේ සිට මේ දක්වා වවුනියාව රෝහලෙන් එච්.අයි.වී (HIV) වයිරසය ශරීරගත වූ පුද්ගලයින් තිස් (30) දෙදෙනෙකු හමු වී ඇති අතර ඔවුන් සියළු දෙනාම රෝහලේ වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබනවා ෴


ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී එකම පවුලේ තිදෙනෙකු (3) මරුට

(12.06.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී අද (12) අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම අනතුරින් එකම පවුලේ පියා, මව සහ පුතු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40, 39 සහ 13 ක් වන එකම පවුලේ සාමාජිකයන් ෴


විදෙස් ප්‍රේෂණ 75% කින් වැඩි වෙයි

(12.06.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

මැයි මාසය තුළ ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය වසරේ (2022) මැයි මාසය හා සැසඳීමේ දී එය ඩොලර් මිලියන 175 ක වැඩිවීමක්.

එමෙන්ම මේ වසරේ (2023) ගතවූ මාස පහක (5) කාලසීමාව තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,346.9 ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා සඳහන් කළා.

පසුගිය වසරේ මුල් මාස පහ (5) තුළ ලැබුණු ඩොලර් මිලියන 1,335.6 ක ආදායමට සාපේක්ෂව එය 75.7% ක වර්ධනයක් ෴


‘දෙයියන්දර සුමියා’ අත්අඩංගුවට

(12.06.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ජර්මනියේ නිෂ්පාදිත අති නවීන රිවෝල්වරයක් සමඟ ‘දෙයියන්දර සුමියා’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව දෙයියන්දර පොලිස් වසමේ සිදුකළ වැටලීමකදියි.

ඊයේ (11) අත්අඩංගුවට ගත් මොහු 44 හැවිරිදි දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්කුඩු අලෙවිය සහ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ලවනවා ෴


තැන තැන මාරක රිය අනතුරු

(12.06.2023 – 10:07 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටීම වළක්වා ගැනීමට යාමේදී‍ මාර්ගය අයිනේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) සමග ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් (1) පුද්ගලයකු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිර්‍රිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ අරලගංවිල දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටීම වළක්වා ගැනීමට යාමේදී‍යි.

අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.

ත්‍රිරෝද රථයේ රියැදුරු බීමත්ව සිට ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිඅත්තකණඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

~

මේ අතර කහතුඩුව පොල්ගස්ඕවිට – කොට්ටාව මාර්ගයේ ද වෑන් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය පදාවාගෙන පැමිණි කාන්තාව ඇතුළු කාන්තාවන් සිවු (4) දෙනෙකු සහ ගැහැනු ළමයකු (1) බරපතළ තුවාල ලබා වෑතර රෝහලට ඇතුළු කර තිබෙනවා.

පසුව ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් (1) මිය ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 51 හැවිරිදි පානදුර මොරවින්න ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

~

මොරටුව, කටුබැද්ද හන්දිය අසලදී බස් රථයක සිටි මගියකු බස් රථයේ පිටුපස දොරෙන් මාර්ගයට ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ලුනාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි මීටියාගොඩ, තඹගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


දේවාලයක් තුළදී සිසුවියක් අපයෝජනය කල කපුවෙකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි

(12.06.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලයක් තුළදී එම සිසුවිය අපයෝජනය කල කපුවෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලීසිය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ සිරුර තුළ තිබෙන බව කියන භූත ආත්මය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද ඇයට මුහුණ දීමට නොහැකිව තිබෙනවා.

එම බලවේගය ඉවත් කර දෙන බවට කොකාවැව අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු පොරොන්දු වීමෙන් අනතුරුව මෙම දැරිය සිය මවුපියන් සමඟ එම ස්ථානයට ගොස් තිබෙනවා.

දේවාලය තුළට තනිවම ගෙන්වා ගත් දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර එම අවස්ථාවේ දැරිය කිසිවක් පවසා නැති බව පොලිසිය පවසනවා.

නිට්ටඹුවෙ නිවසට පැමිණීමෙන් පසුව තමන්ට වූ කරදරය දෙමව්පියන්ට පවසා තිබෙනවා.

පසුව ඇය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නිට්ටඹුව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සඳහා කොකාවැව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

මේ වන විට කැලෑබද ප්‍රදේශයක සැඟව සිටින කපුවා සොයා කොකාවැව පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා ෴


දුම්රියේ ගැටී විදුහල්පතිවරයෙක් ජිවිතක්ෂයට

(12.06.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේදි (11) දින බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

එදින පස්වරු 03:30 ට පමණ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් (අවු.52) යන අයයි.

පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීමට ප්‍රථම 11 වන දින පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා ඔහු පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.

අනතුර සිදු වීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර, දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම දැක ඒ පිලිබදව නානුඔය දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පැය 2½ ක් ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේ පැය 3½ ක් ද බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය මගි ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ පැය කිහිපයක් ද නතර කර තිබිම නිසා එම දුම්රියන් වලින් ගමන් ගත් මගින් දැඩි පිඩාවට පත් ව සිටියා ෴


සිසුන්ට මත්කරල් විකිණු පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.06.2023 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසනවා.

සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.

එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත්, එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය පවසනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *