ජනපති, අගමැති මන්දිර සහ ලේකම් කාර්යාලය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට

ජනපති, අගමැති මන්දිර සහ ලේකම් කාර්යාලය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට


ජනපති, අගමැති මන්දිර සහ ලේකම් කාර්යාලය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට

(11.06.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අගමැති ලේකම් කාර්යාලය ඇතුළු ඓතිහාසික වටිනාමක් සහිත කොළඹ ගොඩනැගිලි කිහිපයක් සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙලෙස සංචාරක ප්‍රවර්ධනය සහ අනෙකුත් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත මෙම ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රකරගනිමින් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය ලෙස හා ආර්ථික මර්මස්ථාන රැසක් පිහිටි නගරය මෙන්ම දේශපාලන හා සාමාජීය වශයෙන්ද වැදගත් නගරය වන්නේ කොළඹයි.

ඒ අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අගමැති ලේකම් කාර්යාලය ඇතුළු ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි රැසක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් ඉදිකර තිබෙනවා.

කොළඹට කේන්ද්‍රගතව ඇති පරිපාලන නගරය, ශ්‍රී ලංකාවේ අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාම කෙරෙහි 1978 වසරේ සිට විවිධ අවස්ථාවලදී යෝජනා ඉදිරිපත් කෙරුණා.

එම යෝජනාව මේ වන විට යළිත් කරලියට පැමිණ තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමටයි යෝජනා වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විධිමත් සොයබැලීමක් සිදුකර ඊට අදාළ වාර්තාවක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොළඹ උරුම නගරය ව්‍යාපෘතිය යටතේ මෙම සංවර්ධන වැඩපිළිවෙල සිදුකෙරෙනවා.

+

+

+

+

+

+

මහා සුනාමියක අනතුරු ඇඟවීම! අගෝස්තු මේ අයට තීරණාත්මකයි! කන්න කලින් මේදේ කරන්න අනතුරු වලින් ආරක්ෂා කරනවා (12.06.2023)

+


රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ නව පාසල් වාරය අද (12) ඇරඹේ

(12.06.2023 – 07:06 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ (2023) පළමු (1) පාසල් වාරයේ තෙවන (3) අදියර අද (12) ආරම්භ වෙනවා.

මෙම පාසල් සඳහා නිවාඩු දෙනු ලැබුවේ පසුගිය මැයි මස 26 වන දිනයි.

ඒ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පාසල් පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලබන වසර (2024) සඳහා පළමු (1) ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (12) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙහිදී පළමු වරට ආබාධිත දරුවන් පළමු (1) ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන ද මෙවර චක්‍ර ලේඛයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක

(12.06.2023 – 07:17 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 16 වැනිදා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

එම සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජය සමඟ හමුවක් ද පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

පැරිස් සමාජය මීට පෙර සඳහන් කර තිබුණේ, මෙරට ණය අර්බුදය නිරාකරණයට සහ ආර්ථික ස්ථායීතාවයට සහය ලබාදෙන බවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට නවදිල්ලි සංචාරයක් සඳහා ද ඇරයුම් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා ෴


වැඩිහිටි ජනගහණයෙන් හතරෙන් එකකට (¼) අධි රුධිර පීඩනය

(12.06.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට වැඩිහිටි ජනතාවගෙන් හතරෙන් එකකට (¼) අධි රුධිර පීඩනය පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධි රුධිර පීඩන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය උදය රළපනාව පවසනවා.

ඔහු කියා සිටියේ නවතම පර්යේෂණවලින් තරුණ සහ වැඩිහිටි කාන්තාවන්ට අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝග ලක්ෂණ පෙන්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි ෴


මාස 5 ක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය අක්‍රීයයි

(12.06.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මාස 5 ක සිට ක්‍රියාවිරහිත වී ඇති MRI ස්කෑන් යන්ත්‍රය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් රෝගී ජනතාව දුෂ්කරතාවන්ට පත්ව ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික අංශයෙන් MRI පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 ත් 75,000 ත් අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි ජනතාව පවසන්නේ.

පසුගිය ජනවාරි මස 05 වැනිදා සිට මෙම MRI ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇති අතර ඒ වන විටත් 2024 වසරේ මැයි මාසය දක්වා රෝගීන් පොරොත්තු ලේඛනයේ සිටිනවා.

දැනට රජයේ රෝහල් සතුව MRI ස්කෑන් යන්ත්‍ර 13 ක් පවතින අතර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ තිබූ යන්ත්‍රය ද මීට වසර 2 කට පෙර අක්‍රිය වූ බැවින් දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ MRI ස්කෑන් යන්ත්‍ර 11 ක් පමණක් බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියා ෴


මහනුවර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුවේ සෝපානය අක්‍රීයයි

(12.06.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුව සඳහා මීට වසර 75 කට පෙර ඉදිකර ඇති අතින් ක්‍රියාකරන සෝපානය සඳහා යොදාගෙන ඇති කඹය මේ වනවිට දිරාපත් වෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ද කරුණු දක්වා තිබෙනවා.

කඹය දිරාපත්වීම හේතුවෙන් මෙම සෝපානය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් පවතින බවයි වාර්තාවන්නේ ෴


බොරැල්ලේ විශේෂ මෙහෙයුමක් : සැකකරුවන් 35 ක් අත්අඩංගුවට

(12.06.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) බොරැල්ල ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 05 මි.ලි. ග්‍රෑම් 350 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) ද, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මි.ලි. ග්‍රෑම් 15 ක් සමඟ සැකකරුවන් සිවු (4) දෙනෙකු ද, ගංජා ග්‍රෑම් 03 යි මි.ලි. 35 ක් සමඟ සැකකරුවන් පස් (5) දෙනෙකු දෙනෙකු ද, ගංජා මිශ්‍ර මදන මෝදක 91 ක් සමඟ සැකකරුවකු (1) ද, කඩු 02 ක් ළඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) ද, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු (2) හා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් 19 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරනු ලබන රුපියල් 26,75,440 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරනු ලබන රුපියල් 2,15,000 ක් ද සොයා ගත් බව පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය හ යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම කළ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *