‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ

‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ


‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ

(11.06.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක වූ නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන්ට වැට බැඳීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ‘හිරු CIA’ අනාවරණයෙන් පසුවයි.

මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපොල වෙත ළඟා වුණා.

මෙරට තුළ විදෙස් මුදල් මිලදී ගැනීම, අලෙවි කිරීම සහ හුවමාරු කිරීම සඳහා අවසරය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍රලාභී බැංකු සහ බලයලත් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණයි.

එවැනි නීති රාමුවක් තිබියදී විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සතු විදෙස් මුදල් හොර පාරෙන් තමන් අතට ගන්නා තැරැව්කරුවන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව සිටින බව ‘හිරු CIA’ තුළින් පසුගිය මැයි 30 වනදා අනාවරණය කළා.

‘හිරු CIA’ අනාවරණයෙන් දින කිහිපයක් ඇතුළත ඒ පිළිබඳව ගුවන්තොටුපොළ බලධාරීන්ගේ අවධානය යොමු වුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම බලධාරීන් මෙම ජාවාරමට වැට බැඳීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබෙනවා.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ගුවන්තොටුපොල ආරක්ෂක අංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධවයි.

විශේෂ CCTV කැමරා පද්ධතියක් හරහා පැමිණෙන සියලුම ගුවන් මගීන්, ඔවුන් පිළිගැනීමට පැමිණෙන පුද්ගලයින් සහ පිළිගැනීමේ පර්යන්තයේදී මගීන්ව හමුවන පුද්ගලයින් පිළිබඳවත් සමීපව නිරීක්ෂණය කෙරෙනවා.

මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපොල වෙත ළඟා වුණා.

නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් පසු විදෙස් මුදල් නීතිවිරෝධීව හුවමාරු කරන තැරැව්කරුවන් ගුවන්තොටුපොළ ආශ්‍රිතව රැඳී සිටින බවට මෙතෙක් කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොමැති බවද ඔවුන් අප සමඟ පවසා සිටියා.

මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සඳහා වැට බැඳීමට හැකි වන අයුරින් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට ‘හිරු CIA’ සමත් වූ අයුරින්ම මෙම ආරක්ෂක වැඩපිළිවෙලේ දෑස් වසා තැරැව්කරුවන් යළි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳවත් ‘හිරු CIA’ අවධානයෙන්.

+


ග්‍රාම නිලධාරීවරුන් කල් ඉල්ලයි

(11.06.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසම විසින් ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය මේ මස 16 වනදායි අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහනුවර අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා තවත් කල් අවශ්‍ය බවයි ෴


ලංගමයේ ටිකට් පත් වෙනුවට ව්‍යාජ ටිකට් පත් නිකුත් කිරීමේ ජාවාරමක්

(11.06.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකර වෙනත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කීරීමට එම මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ මාතර සිට මාකුඹුර දක්වා අධිවේගි මාර්ගයේ ගමන්කළ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තර විසින් මෙලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි.

අදාළ බස් රථයේ ගමන්කළ සියලු මගීන්ට ලබාදී ඇත්තේ ගමනාගමන මණ්ඩලයෙන් නිකුත් කර ඇති ප්‍රවේශපත්‍ර වෙනුවට වෙනත් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගමනාගමන මණ්ඩලයෙන්ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන බවයි එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස කියා සිටියේ ෴


දෙමටගොඩ ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාසයේ සිටි කාන්තාවකට අමානුෂික ප්‍රහාරයක්

(11.06.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවකට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඇය බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇගේ ඥාතීන් චෝදනා කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් කළ මෙහෙයවීමකට අනුව මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරදීම සිදුකර පලා යාමට උත්සාහ කළ සැකකරුවන්ව අසල්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකට පහරදීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ තිබුණේ ඊයේ (10) රාත්‍රියේදීයී.

ෆාතිමා රිස්වාන් නමැති එම කාන්තාව එම නිවාස සංකීර්ණයේ අටවෙනි (8) මහලේ පදිංචිව සිටින අතර, ඇයට දුරකථන ඇමතුමක් දී මෙම ස්ථානයට කැඳවාගෙනවිත්, තියුණු ආයුධවලින් පහර දී තිබුණා.

ෆාතිමාගේ සහෝදරියක් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායමක් විසින් මෙම පහරදීම මෙහෙයවා ඇති බවයි.

ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන්නේ යැයි පවසමින් සිය සහෝදරියට පහරදුන් බවද ඇය සඳහන් කළා.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු ෆාතිමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා (2) එම ස්ථානයෙන් පලා යෑමට තැත් කිරීමේදි අසල්වාසීන් විසින් ඔවුන් අල්ලාගෙන පොලිසියට භාර දී තිබුණා.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙම පුද්ගලයින්ට පක්ෂග්‍රාහීව දෙමටගොඩ පොලීසිය ක්‍රියාකරන බවට එහි සිටි පිරිස චෝදනා කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා.

අනතුරුව පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයකින් රැගෙන ගියා.

+


‘ඩියාගෝ ගාර්ශියා’ දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සියදිවි හානි කරගැනීමට තැත් කරයි

(11.06.2023 – 20:18 +0530 – hirunews.lk/sinhala)

වසර 2 කට ආසන්න කාලයක් ‘ඩියාගෝ ගාර්ශියා’ දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 12 කට ආසන්න පිරිසක් සියදිවි හානි කර ගැනීමට තැත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍යයට අයත් මෙම දූපතේ රඳවා සිටින්නේ විවිධ හේතු මත එම දූපත් ආසන්න මුහුදු සීමාවේ අතරමංව සිටි සංක්‍රමණිකයින්.

එහි ඇති කඳවුරුවල අනුගමනය කරන දැඩි නීතීරීති සහ මුදා හැරීමේ කාලය පිළිබඳ අවිනිශ්චිතතා හේතුවෙන් ලාංකිකයින් පිරිස සියදිවි හානි කර ගැනීමට පෙළඹී ඇති බව සඳහන්.

ඒ අතර සිටි කාන්තාවක් චෝදනා කර තිබුණේ මෙම කඳවුර තුළදී තමන්ව ලිංගික අපයෝජනයකටද ලක්වූ බවටයි ෴


රක්ෂණ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුට වෙඩි තැබූ කල්ලිය අත්අඩංගුවට

(11.06.2023 – 20:30 +0530 – hirunews.lk/sinhala)

රක්ෂණ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකුට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 4 දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම මෙහෙය වූ බවට සැකපිට මාතර දිස්ත්‍රික්ක විවිධ සේවා සමූපකාර සමිති සහාපතිවරයෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි තැබීමට යොදා ගත් මිලි මීටර නමය (9) වර්ගයේ ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ෴


කොරියානු ජාතිකයාගේ ජීවිතය බේරාගත් ශ්‍රී ලාංකිකයින්

(11.06.2023 – 22:35 +0530 – hirunews.lk/sinhala)

අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණදුන් කොරියානු ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගයක් අතරතුර එම අනතුර සිදුව තිබෙනවා.

කොරියාවේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයෙක් අසනීපවීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබුනා.

දකුණු කොරියාවේ නොක්සාන් නුවර ක්‍රිඩාංගණයකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංවිධානය කර තිබු එම තරගාවලිය අතරතුර ඒ ආසන්නයේ නවතා තිබු ලොරි රථයක කාර්මික කටයුත්තක් සඳහා පැමිණ සිටි කොරියානු ජාතිකයෙකුගේ හිස එක්වරම ලොරි රථයේ ඉදිරිපස කොටසේ සිරවී තිබුනා ෴


මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලන්න ජාත්‍යන්තර පුහුණුවක්

(11.06.2023 – 22:39 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය, යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ කලාපීය පුහුණු වැඩසටහනක් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පැවැත්වුනා.

මුහුදු මාර්ගයන් ඔස්සේ කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ මෙම පුහුණු වැඩසටහන සංවිධානය කළා.

මැයි මස 29 වැනි දින ආරම්භ කළ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීහු 6 ක්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 2 ක් සහ නාවිකයෝ 4 ක් සහ බංගලාදේශ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 2 ක් සහ නාවිකයෝ 6 ක් මෙම පුහුණුවට සහභාගි වුනා.

මෙම අවස්ථාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහනේ පුහුණු කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ස්ටුවර්ට් මෙල්විල් සහභාගි වී සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *